ආතරයිටිස් සඳහා ඉක්මන් ප්‍රතිකාර නැද්ද?

(සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් විජයරත්න මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ආතරයිටිස් කියන්නේ කුමන රෝග තත්ත්වයක් ද?

ආතරයිටිස්‌ කියන්නේ සිරුරේ තිබෙන හන්දි ඇතුළත ඇති සිනිඳු කොටසක්‌ වන හන්දි පටලය ඉදිමුම නිසා ඇති වන රෝග සමූහයක් හඳුන්වන පොදු නාමය. බොහෝ දෙනෙකු මෙම ආතරයිටිස්‌ රෝගවලින් පීඩා විඳිනවා.

ආතරයිටීස් ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?

ආතරයිටිස්‌ ඇති වීමට බලපාන සාධක අතර ශරීරයේ ප්‍රතිදේහ පද්ධතිය ශරීරයට එරෙහිව කටයුතු කිරීම(Auto Immune Disease) ප්‍රධාන හේතුවක්. ඊට අමතරව වෛරස්‌, බැක්‌ටීරියා සහ ස්‌පටිකවල (Crystal) බලපෑම නිසාත් ආතරයිටිස්‌ රෝගය ඇති වෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ම ඇති වෙන්න පුළුවන්.

ආතරයිටිස්‌ රෝගය නිට්‌ටාවට සුව කරන්න පුළුවන් ද?

ආතරයිටිස්‌ රෝගය කියලා බොහෝ දෙනෙක් අඳුන ගන්නේ සන්ධියක වේදනාවක්‌ හෝ ඉදිමුමක්‌ මතු වීමයි. එය නිවැරදි රෝග විනිශ්චයක් නෙමෙයි. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී වැළඳී ඇති රෝගය කුමක්‌ද රෝගය පවතින අවස්ථාව කුමක්ද කියා නිවැරදිව හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

ආතරයිටිස්‌ රෝගය මතු වූ මුල් අවස්‌ථාවේ දී ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය පැතිරීම පාලනය කරගන්න වගේ ම මතු විය හැකි සංකූලතා වළක්‌වා ගන්නත් පුළුවන්. උදාහරණයක්‌ විදිහට රූමැටොයිඩ් ආතරයිටිස්‌ රෝගය උත්සන්න වීම නිසා හෘදයට පෙනහලුවලට, ස්‌නායුවලට සිදුවිය හැකි හානි වළක්‌වා ගැනීමට එම රෝගයට මුල් අවස්‌ථාවේ දී ම නිසි ප්‍රතිකාර කරන්න ඕන.

ආතරයිටිස්‌ රෝගය සඳහා වර්තමානයේ අති නවීන ඖෂධ වර්ග (Biologics) තියෙනවා. මෙම ඖෂධ මගින් ආතරයිටිස්‌ රෝගය නිසා මතු වන අපහසුතා ඉතා ඉක්‌මනින් පාලනය කරන්න පුළුවන්.

ආතරයිටිස්‌ රෝගයට දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර කරන්න ඕන කියලා කතාවක් මතයක් තියෙනවා?

ආතරයිටිස්‌ රෝගයේ දී හන්දි පටල ඉදිමෙන නිසා එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිප්‍රදාහ (Anti Inflammatory) ඖෂධ දීමට අවශ්‍ය වෙනවා. ඒ වගේ ම ශරීරයේ ඇති ප්‍රතිදේහ ශරීරයට එරෙහිව ක්‍රියා කිරීම පාලනය සඳහාත් ඖෂධ ලබා දෙන්න ඕන. මෙම ඖෂධ ප්‍රතිකාරවලින් ප්‍රතිඵල ලබා ගැනීමට අඩු ම තරමින් සති තුනක්‌වත් ගත වෙනවා. ආතරයිටීස් රෝගයට කිසියම් කාලයක් ප්‍රතිකාර කිරීමට සිදු වන්නේ ඒ නිසායි.

ආතරයිටිස්‌ රෝගය සඳහා ගනු ලබන ඖෂධ නිසා වකුගඩුවලට හානි සිදු විය හැකි ද?

ආතරයිටිස්‌ රෝගය නිසා මතු වන සන්ධි පටල ප්‍රදාහය ක්‌ෂණිකව පාලනය සඳහා ප්‍රතිපදාහ ඖෂධවලට වඩා ක්‍ෂණිකව ක්‍රියා කරන පෙඩ්‍රිසිලෝන් නමැති ස්‌ටිරොයිඩ් ඖෂධ ලබා දෙනවා. මීට අමතරව අති නවීන ඖෂධ ද (Biologics) ලබාගන්න ඕන. මෙම ඖෂධ මගින් අතුරු ආබාධ ඇති වීමට ඉඩ තිබෙනවා.

නමුත් වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා එම ඖෂධ නිසා යම් රෝගියකුට කිසියම් අතුරු ආබාධයක්‌ මතු විය හැකි දැයි පහසුවෙන් හඳුනා ගත හැකි පරීක්‍ෂණ තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරු ආතරයිටිස්‌ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන විට අතුරු ආබාධ මතු විය හැකි දැයි සොයා බැලීම සඳහා රෝගීන් රුධිර පරීක්‍ෂණවලටත් යොමු කරනවා.  එම පරීක්‍ෂණ අනුව යම් රෝගියකුට අතුරු ආබාධයක්‌ මතු වීමේ අවදානමක්‌ ඇත්නම් වහාම එම ඖෂධ ලබා දීම නතර කරන්න පුළුවන්.

ආතරයිටිස්‌ රෝගීන් බහුතරයක්‌ පවසන්නේ ඖෂධ ගැනීම නිසා බඩ දැවිල්ල මතු වන බව. එම අපහසුතාව සඳහා විසඳුමක් තිබේ ද?

ආතරයිටිස්‌ රෝගයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් බොහෝ දෙනෙක්‌ බඩ දැවිල්ල, වමනය යාම, අධික කුසගින්න, බඩ පුරවා දැමීම ආදී අපහසුතා ඇති වන බව පවසනවා. ඊට ඇති විසඳුම තමයි දවසේ ප්‍රධාන ආහාර වේල් සමග ඖෂධ ගැනීම.

එසේම ආතරයිටිස්‌ රෝගයට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන මග හරින්න හොඳ නැහැ. ඒ ප්‍රධාන වේල් අතර කාලය බඩගින්නක් ඇති වුණොත් සුළු ආහාරයක් ගන්න ඕන. තම ආහාර වේලට මිරිස්‌ තුනපහ යෙදීම අඩු කරන ඕන.

ආතරයිටිස්‌ රෝගයට ගොදුරු වීම බහුලව දකින්න ලැබෙන වයසක් තිබෙනවා ද?

වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසු වන අය අතර ආතරයිටිස්‌ රෝගය බහුලව දක්‌නට ලැබෙනවා. ආතරයිටිස්‌ රෝගය කලක දී උත්සන්න වී ප්‍රතිකාර ගන්නා විට යළි යටපත් වී නැවත උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ අඛණ්‌ඩව නියමිත කාලය පුරා ගැනීම කළ යුතුයි.

උපදෙස්
සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ලලිත් විජයරත්න
ජාතික රෝහල
කොළඔ