ඇදුම රෝගීන් නොකළ යුතු දේ ගැන ඔබ දැනුම්වත් ද?

(ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරිණි චමරි ශ්‍යාමා නිලන්තිකා විතානගේ මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

සත්වයෙකුට පරිසරයේ ඇති  ඔක්සිජන් වායුව පෙනහලු කරා රැගෙන යාමට ශ්වසන මාර්ගය පිහිටා ඇත. මෙම මාර්ගය ඇහිරීම, පටුවීම, භ‍්‍රාසයට පත්වීම නිසා ශ්වසන අපහසුතාව සමග ඇති වන දිගුකාලීන රෝග තත්ත්වයක් ලෙස ඇදුම හැඳින්විය හැකිය. කැස්ස හෝ ශ්වසන අපහසුතාවේ තිව‍්‍රතාව, ඇදුම රෝගයේ උත්සන්න බව පෙන්නුම් කරයි. බොහෝ විට කුඩා කාලයේ දී ඇති වන ඇදුම තත්ත්වය නිසි ප‍්‍රතිකාරවලින් සුව කර ගැනීමට හැකියාව පවතින නමුදු වැඩිහිටියන්ට ඇති වන ඇදුම තත්ත්වය පාලනයට කාලීන ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

එක් එක් පුද්ගලයා අනුව ඇදුම තත්ත්වය වැඩි වීමට බලපාන හේතු සාධක  විවිධාකාරය. දුහුවිලි අංශු, මල් පරාග, සීත සුළං, සිගරට් දුම්, වාහන දුම්, සතුන්ගේ ලොම්, විලවුන් වර්ග ආදිය ඉන් කිහිපයක් ලෙස දැක්විය හැකිය. මේවා මඟින් ශ්වසන මාර්ගයේ උත්තේජනයක් හෝ අසාත්මිකතාවක් ඇති වීම සිදුවේ. සමහර අවස්ථාවල දී මානසික ආතතිය (Stress) උද්භාරය (Depression ) වැනි තත්ත්වය ද අපහසුතා වැඩි වීමට හේතුවක් වෙයි.

ඇදුම සඳහා ප‍්‍රතිකාර ක්‍රම ලෙස ශ්වාසනාල විස්ථාරක හෙවත් ඉන්හේලය (Bronchodilators) හා ප‍්‍රති අසාත්මික ඖෂධ (Steroids) ලබා දීම සිදු කෙරේ. ගිලින ඖෂධ මෙන් ම උරන ඖෂධ ද මෙම රෝගය පාලන සඳහා යොදා ගනී. වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධ කාණ්ඩ දෙක ම හෝ එකක් හෝ ප‍්‍රතිකාර ලෙස පාවිච්චි කිරීමට හැකිය. වෛද්‍යවරයා නියම කරන නියමිත මාත‍්‍රාව නියමිත කාලයේ දී නිර්දේශ කරන මාර්ගයෙන් (ගිලින ඖෂධ හෝ උරන ඖෂධ) ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

මෙහි දී උරන ඖෂධ කුඩා මාත‍්‍රාවකින් වැඩි ප‍්‍රතිඵල ලබා ගත හැකි වීම, කාර්යක්ෂමතාව, ආරක්ෂිත බව හා දිගුකාලීන භාවිතයේ පහසුව ආදී කරුණු නිසා වඩාත් ජනප‍්‍රිය වේ. සමහර විට ස්ටරොයිඩ අඩංගු උරන ඖෂධ නිසා ස්ථානීය අතුරු ආබාධ ඇති විය හැකි හෙයින් එම ඖෂධ භාවිතයෙන් පසු උගුර හා මුඛය සේදීම මඟින් එම අතුරු ආබාධය අවම කර ගත හැකිය.

අද වෙළෙඳපොළේ උරන ඖෂධ ප‍්‍රතිකාරය සඳහා විවිධ මාදිලියේ උපකරණ හඳුන්වා දී ඇත. සෑම විට ම එම උපකරණය පාවිච්චියේ දී ඒ සමග ඇති පත‍්‍රිකාවේ උපදෙස් අනුගමනය කළ යුතුය. බොහෝ අවස්ථාවල දී ඖෂධ නියම කරන වෛද්‍යවරයා හෝ  ඖෂධ නිකුත් කරන ඖෂධවේදීන් හෝ මෙම උපකරණ භාවිතය පිළිබඳ උපදෙස් ලබා දෙනු ඇත. රෝහලක දී නම් හෙදිය ඒ පිළිබඳ උපදෙස් ලබා දී සහය වෙයි.

උපකරණ භාවිතයට දක්වා ඇති  අනුපිළිවෙළ අනුගමනය කිරීම, ඖෂධ උරා ගන්නා තෙක් නියමිත වේලාව රඳවා තබා ගැනීම වඩාත් වැදගත්ය. උරා ගැනීමට අපහසු කුඩා ළමුන්ගේ හෝ වයෝවෘද්ධ රෝගීන්ගේ ආශ්වාසකය (Inhaler), ආග‍්‍රහණකයකට (Spacer) සවි කිරීමෙන් එය පහසු කර ගැනීමට වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත. එවන් විටෙක විනාඩි දෙකක් හෝ තුනක් පමණ එම උපකරණය මුවට තබා ආශ්වාස කිරීමෙන් ඖෂධ ශරීරගත වේ.

ඖෂධවල අතුරු ආබාධ ලෙස වෙවුලීම හා පපුවේ ගැස්ම ඇතිවිය හැකිය. දීර්ඝ කාලීන ව යම් යම් අතුරු ආබාධ ඇතිවීමේ ප‍්‍රවණතාවක් ද ඇත. මෙහි දී ඇදුම රෝගය පාලනය පිළිබඳ දැනුම්වත් වීම හා ඊට සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍ය කරුණකි.

ඖෂධ ප‍්‍රතිකාරවලට අමතරව ඇදුම රෝගය පාලනය කිරීමේ දී වැදගත් ම කරුණ උත්තේජනවලින් වැළකි සිටීමයි. රෝගය උග‍්‍රවන විට හුස්ම ගැනීම අපහසු වන අතර එක දිගට වාක්‍යයක් පැවසීමට අපහසු වේ. නාඩි වේගය වැඩි වීම, හද ගැස්ම වැඩිවීම හා අධික ලෙස දහදිය දැමීම සුලබව දැකිය හැකි ලක්ෂණය. රෝගය උත්සන්න වූ අවස්ථාවක දී කලබල නොවී වාතාශ‍්‍රය ලැබෙන තැනකට යා යුතුය. හදිසි අවස්ථාවක දී වෛද්‍යවරයා නියම කර ඇති ඖෂධ ප‍්‍රතිකාර සිදු කළ යුතු අතර රෝගියාට වෛද්‍යවරයකු වෙත යොමු කර උපදෙස් ගැනීමට හෝ රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම වැදගත්ය.

ශ්වසන අපහසුතාව උග‍්‍ර වීම මරණය පවා ඇති වීමට හේතු වන නිසා ඒ පිළිබඳ ව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යය. රෝහලේ දී නිහාරිකරණය යොදා ගෙන වඩාත් ඉක්මනින් ශ්වසන මාර්ගය විස්ථාරණය කර, ශ්වසනය කාර්යක්ෂම කිරීම මගින් හා ඖෂධ ලබා දීම මඟින් එම අවදානමෙන් මිදිය හැකිය. එමගින් මොළයේ  සෛලවලට ඔක්සිජන් අඩු වීමෙන් ඇති විය හැකි හානිය අවම කර ගත හැකිය.

ඇදුම රෝග පාලනයේ දී වෛද්‍ය අනුමැතියකින් තොරව කිසිදු ඖෂධ මාත‍්‍රාවක් වැඩි කිරීම, අඩු කිරීම හෝ නවතා දැමීම නො කළ යුතුය. ඖෂධ නිසා වන අපහසුතා වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන්න. රෝගියා වෙසෙන පරිසරය දුහුවිලිවලින් තොරව, දුවිලි රැඳෙන අනවශ්‍ය බඩු භාණ්ඩ, පොත්පත, රෙදි ඉවත් කර වඩාත් පිරිසිදු ස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කිරීම වැදගත්ය.

දුම්පානය නොකළ යුතුය. බල්ලන්, බළලුන් වැනි සතුන්ගෙන් ඈත් විය යුතුය. තවද තම තමන් හඳුනා ගත්  ඇදුම රෝගය උත්සන්න වන සාධකවලින් මිදී සිටීම රෝග පාලනයේ දී වැදගත් වේ. රෝගියාගේ පෝෂණය පිළිබඳ සැලකීමේ දී පෝෂ්‍යදාය ආහාර වේලක් ලබා දීම අවශ්‍ය වේ. සමහර අවස්ථාවල දී අසාත්මිකතා ඇතිවීම නිසා සමහර ආහාර වර්ග ගැනීම රෝගියාට අපහසු වේ. හරක් මස්, අන්නාසි, සැමන් ආදී අසාත්මිකතා ඇති කරවන ආහාර ගැනීමෙන් වැළකී පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබාගත යුතුය. ශ්වසන වේගය වැඩි වීම නිසා ප්‍රාස්වාසයෙන් ශරීරයෙන් පිට වන තරල ප‍්‍රමාණය ද වැඩි වන බැවින් වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍ය වෙයි.

තමා ගන්නා ඖෂධ ප‍්‍රතිකාර ඇතුළත් කාඩ් පතක් නිතර ළඟ තබා ගැනීම හොඳ පුරුද්දක් කර ගන්න. වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන සෑම විටම තමා ඇදුම රෝගියෙක් බව වෛද්‍යවරයාට පැවසීමට වග බලා ගන්න.

උපදෙස් චමරි ශ්‍යාමා නිලන්තිකා විතානගේ
හෙද නිලධාරිණි
ශ්‍රී ලංකා ජාතික රෝහල