බෝ වන ඇස් රෝග ගැන ඔබ දැනුම්වත් ද?

(මුල්ලේරියාව මූලික රෝහලේ වෛද්‍ය පී. මහානාම මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඇස් කියන්නේ ලෝකය සුන්දරව දකින්න තිබෙන ප්‍රධාන සම්පතක්. මේ සම්පත අන්ධ වුණු දවසකට හෝ රෝගයක් වැළදුණු දවසකට හිතට දැනෙන්නේ අපමණ දුකක්. ඊට හේතුව ජිවත් වෙන්න පෙනීම අවශ්‍ය නිසයි. තව කෙනෙකුගේ කනවැල අල්ලාගන්නවාට වඩා තමන්ට තමන්ගේ සියලු දේ කරගන්න තිබෙනවා නම් එය බොහෝසෙයින් වටිනවා. එනිසා හැමෝම තමන්ගේ ඇස් එහෙම නැතිනම් අක්ෂි පරිස්සම් කරගන්න එක වැදගත්. මේ ඇස් රෝග ගැනයි.

ඇස් රෝග කියන්නේ මොනවාද ද?

සාමාන්‍යයෙන් ඇස් රෝග, බෝවන ඇස් රෝග සහ බෝ නොවන ඇස් රෝග වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද ඇති වීම, ඇසේ පීඩනය වැඩි වීම (ග්ලුකොමා), දියවැඩියාව නිසා ඇති වන ඇස් රෝග, අවිදුර දෘෂ්ටිකත්වය සහ දුර දෘෂ්ටිකත්වය වැනි රෝග බෝ නොවන ඇස් රෝග වශයෙන් හඳුනා ගන්න පුළුවන්.

බෝ වන ඇස් රෝග වශයෙන් හඳුන්වන්නේ කුමනාකාරයේ රෝගී තත්ත්වයක් ද?

බෝ වන ඇස් රෝගයක් හට ගත්විට එය රෝගියාගෙන් වෙනත් නිරෝගී පුද්ගලයකුට බෝ වෙන්න පුළුවන්. මෙසේ බෝවන ඇස් රෝග  දිගු කාලීනව පවතින්නේ නෑ. සාම්ප්‍රදායික ඇස් රෝගය වැළඳුනහම සති දෙකක් වගේ් කාලයක් ඇසේ අමාරුව පවතින්න පුළුවන්. මෙය ශීඝ්‍රයෙන් අන් අයට පැතිරීමේ අවදානම පවතිනවා.

බෝ වන ඇස් රෝග වැළඳෙන්නේ වෛරස්, බැක්ටීරියා හෝ දිලීර මගින්. එහි දී ඇස්වලින් කබ ගැලීම, කඳුළු ගැලීම, ඇස් පිහාටු මදක් ඉදිරියට ඇදලා බැලූ විට ඇතුළතින් රතු පැහැ ගැන් වී තිබීම වැනි රෝග ලක්ෂණ ඇති මතුව තිබෙනවා. මෙවන් රෝග ලක්ෂණ පහළ වූ විට තමාට ඇස් රෝග මතු වී ඇතැයි නිගමනය කර ගන්න හැකියාව තියෙනවා.

බෝ වන ඇස් රෝගයක් වැළඳුණු විට ඉර එළිය දිහා බැලීම අපහසු වෙනවා. අධික වේදනාව, ඇස් වටේට දරුණු ලෙස ඉදිමීම, උණ, ඇස්වල දැවිල්ල හට ගැනීම, ඇස්වල රත් පැහැය දින කිහිපයක් පැවැතීම ආදී රෝග ලක්ෂණ පැවැතුණහොත් එය බෝවන ඇස් රෝගයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එහෙත් මෙහි දී ඇසේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමෙන් පැවැතිය හැකියි. පැය 24කට වැඩිය මේ ලක්ෂණ පැවැතුනහොත් එය බෝවන ඇස් රෝගයක්. එවැනි අවස්ථාවල ප්‍රතිකාර සදහා යොමු වීම වැදගත්. ඒ වගේම ජනතාව ගැවසෙන තැන්වල සිටීම නොකළ යුතුයි. ඇස් ස්පර්ශ කර වෙනත් පිරිස භාවිතා කරන ද්‍රව්‍ය නොඇල්ලිය යුතුයි. ඒ මගින් තවත් කෙනෙකුට බෝ වීම වළක්වා ගැනීමට පුළුවන්.

ඇස් රතු වීමක් පමණක් තිබීම බෝවන ඇස් රෝගයක් යැයි පවසන්න පුළුවන් ද?

ඇසට විවිධ රසායන ද්‍රව්‍ය එක්වීම, රොඩු යාම, ඇසකට පහරක් වැදීම, විවිධ ආහාර හෝ වෙනත් හේතු නිසා ඇතිවන අසාත්මිකතා, වැලි විසිවීම හෝ කුඩා සතුන් ඇසට යාම, ඖෂධ භාවිතය, සිවි කාච (Contact Lenses)  භාවිතය ආදී විවිධ හේතු නිසා ඇස් රතු වෙන්න පුළුවන්. මේ නිසා ඇසක් රතු වූ පමණින්, තමාට බෝවන ඇස් රෝගයක් වැළඳී ඇතැයි විශ්වාස කරන්න බැහැ.

වර්තමානයේ පැතිර යන ඇස් රෝගය ගැන කුමක් ද?

ඒක අක්ෂි ප්‍රදාහය (Conjunctivitis) ලෙස හැඳින්වෙනවා. මේ ඇස් රෝගය ඉතා ශීඝ්‍ර වශයෙන් පැතිරෙමින් පවතිනවා. එය වැළඳෙන්නේ එක් ඇසකට පමණයි.

මේ ඇස් රෝගය කෙසේ ඇති වූවක් ද?

දින හතරක් හෝ පහක් පමණ පවතින මේ ඇස් රෝගය වෛරසයක් නිසා ඇති වූවක්. සති දෙකක් පමණ පවතින සාමාන්‍ය ඇස් රෝගයට වඩා මෙය වෙනස් වූවක්.

මේ ඇස් රෝගය සහ කල් පවතින ඇස් රෝගය අතර ඇති වෙනස මොකක් ද?

මෙය බැක්ටීරියාවක් නිසා ඇති වන එකක්. එහි දී ඇස් රතු වෙනවා. අධික ලෙස කබ ගලනවා. ඇස කෙවෙනවා. ඇස් පිහාටු ඉදිමීම, කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණ පවතිනවා. මේ සමඟම සමහරවිට උගුරේ අමාරුව, උණ ගතිය ඇති වන්න පුළුවන්.

මේ රෝගය වැළඳුණු පසු ආහාරවලින් ප්‍රවේශම් වෙන්න කොහාම ද?

ආහාර සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නෑ. තමන් සාමාන්‍ය පරිදි ගෙන යන ජීවන රටාව, ආහාර පුරුදු වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ නෑ.

දිනපතා නෑම අහිතකර ද?

කොහෙත් ම නෑ. ඇස් පිරිසිදුව තබා ගැනීම කළ යුතුයි. නෑවා කියා රෝගියාට හානියක් වන්නේ නෑ.

ගම්බඳ අය පුරුද්දක් විදිහට ඇස් රෝගයක් වැළඳුණාට පස්සේ එක එක කොළ වර්ග තම්බලා ඇස් හෝදනවා. එහෙම කිරීම අවශ්‍ය ද?

අපි අනුමත කරන්නෙ පිරිසුදු ඇල් වතුරෙන් සේදීම පමණයි. ඇස් රෝග වැළඳුන විට සමහරු ඇල් වතුර භාවිතයෙන් ඈත් වෙලා උණු වතුරින් පමණක් ඇස් සෝදනවා. උණු වතුරවලට වඩා ඇල් ජලය මගින් ඇස්වල තිබෙන කබ පහසුවෙන් සහ ඉක්මණින් සේදිලා යනවා. මේ නිසා ඇල් ජලය භාවිතය සුදුසුයි. ඒත් උණු වතුරෙන් සේදීම අහිතකර වන්නේ නෑ.

වර්තමානයේ පවතින අක්ෂි ප්‍රදාහ රෝගය පැතිරීම පාලනය කර ගන්න පුළුවන් කොහොම ද?

මෙය වාතය සමඟ මුසු වීමෙන් බෝවන රෝගයක් නෙමෙයි. මේ රෝගය පැතිරෙන්නෙ ඒ කෙරේ දක්වන සැලකිල්ල, අවධානය, ආරක්ෂාව අඩු වීම නිසයි. පවුලේ සාමාජිකයන්ට පැතිරීම වළක්වා ගැනීම සඳහා රෝගියා භාවිත කරන තුවාය, කොට්ට උර, ඇඳ ඇතිරිලි ආදිය පොදුවේ භාවිතයෙන් ඈත් වෙන්න වෙනවා. සිප වැළඳ ගැනීමෙන් වැළකිය යුතුයි. ඇස පිස දැමීමට ගන්නා ලේස්සු, ටිෂු වැනි දේ පාවිච්චියෙන් පසු විනාශ කර දමන්න.

ඒ වගේ ම මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකී සිටීම සුදුසුයි. විශේෂයෙන් ම උත්සව අවස්ථා, මංගල උත්සව, අවමංගල උත්සවවලට යාමෙන් වැළකී සිටීම වැදගත්. දුම්රිය බස් රිය වැනි පොදු වාහනවල යන විට ඇස් කැසීමෙන් වැළකිය යුතුයි. ඇස ඇල්ලීමට පෙර සහ ඉන් පසු අත් දෙක සබන් ගා හොඳින් සේදිය යුතුයි. රෝගියාගේ කබ සහ කඳුළුවල මේ වෛරස තිබිය හැකි නිසා ඒවා නොගෑවෙන පරිදි සිටීම වැදගත්. බස් රිය දුම්රිය හා වෙනත් පොදු ස්ථානවලදී මේ දේවල් නොගෑවෙන පරිදි කටයුතු කළ යුතුයි. හැම විටෙකම ලේන්සුවක් පාවිච්චි කිරීම සුදුසු ක්‍රියාවක්. මේ ඇස් රෝගය වැළඳුණු අය නිතර නිතර ඇඟිලි තුඩුවලින් ඇස් ස්පර්ශ නොකළ යුතුයි.

මෙම ඇස් රෝගය නිසා වෙනත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් ද?

කළු ඉංගිරියාවට මෙය පැතිරුණොත් සුදු පුල්ලි (Keratitis) හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් සුව කරන්න කල් ගත වෙනවා. පෙනීමට බාධා ඇති විය හැකියි. ඒ වගේ ම කළු ඉංගිරියාවේ ලප ඇති වෙන්න පුළුවන්. ඒවා හැදුනොත් යවන්න බෑ. කළු ලප යැව්වත් ඒවා කාලෙන් කාලෙට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම කළු ඉංගිරියාවේ තුවාල ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබටත් මේ රෝගය වැළඳුනා නම්, හැකි ඉක්මනින් ප්‍රතිකාර ගන්න. අනෙක් අයට බෝවීමට ඉඩ තියන්න එපා. රෝගය හැදිලා සුව වූ කෙනෙක් නම්, ළඟම පිහිටි රෝහල වෙත හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් අතුරු ආබාධ ඇති වී තිබේද කියා පරීක්ෂා කර ගන්න. එසේ වී ඇත්නම් අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේ ම ඇහේ රත දින තුනකට වඩා පවතී නම් හා පෙනීම අපැහැදිලි නම්, වහාම දිවයිනේ පිහිටි රෝහලකට ගොස් ප්‍රතිකාර ගන්න.

උපදෙස්

වෛද්‍ය ප්‍රමිත මහානාම
මුල්ලේරියාව මූලික රෝහල