තරබාරුකම මට්ටු කරන්න පුළුවන්

(මාලදෙනිය රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

අධිරෝග කාරක ආහාර රටාවේත් ක්‍රියාශීලි නොවන ජීවන රටාවේත් ප්‍රතිඵලය තරබාරුකම හෙවත් ස්ථුලතාව බව කෙටියෙන් කිව හැකිය. සාමාන්‍යයෙන්, යම් පුද්ගලයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 25ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවෙන් පෙළෙන්නෙකු ලෙස හඳුනාගත හැකිය. ස්ථුලතාව වයස් සීමාවකින් තොරව ඇති වන තත්ත්වයකි. එසේම, බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක මුල් පියවර ස්ථුලතාව බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

යම් පුද්ගලයෙක් ස්ථුලතාවෙන් යුතු කෙනෙක් දැයි තීරණය කරනු ලබන්නේ ඔහුගේ/ ඇයගේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI (Body Mass Index) හා ඉණෙහි වට ප්‍රමාණය අනුවය. ශරීර ස්කන්ධ දර්ශකය යනු යම් පුද්ගලයෙකුගේ උසට සරිලන බර තිබේදැයි පරීක්ෂා කරනු ලබන ක්‍රමවේදයකි. එහිදී යම් පුද්ගලයෙකුගේ උසෙහි වර්ගය (උසxඋස) මීටරවලින් ගණනය කොට එයින් බර (kg) ප්‍රමාණය බෙදු විට එන අගය එම පුද්ගලයාගේ BMI අගය වේ.

එම අගය 18.5ට අඩු නම් එය අඩු බර ද, 18.5-24.9 අතර නම් ප්‍රමාණවත් බර ද, 25-29.9 අතර නම්, අධි බර ද යන්න තීරණය කල හැකිය. යම් හෙයකින් ශරීර ස්කන්ධ දර්ශකය 25ට වැඩි නම් එම පුද්ගලයා ස්ථුලතාවෙන් පෙළෙන්නෙකි. සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකු සැහැල්ලුවෙන් සිටින විට නාභිය හරහා ඉණ වට ප්‍රමාණය පිරිමියකුගේ 90cm (අඟල් 36)කට ද ගැහැණියකගේ 80cm (අඟල් 32)කට ද අඩු විය යුතුය.

වර්තමානය වන විට ස්ථුලතාව වයස් සීමාවකින් තොරව ව්‍යාප්ත වන්නක් බවට පත්ව ඇත. මෙහි ඇති භයානකම තත්වය වන්නේ මීට ගොදුරු වන ළමුන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබීමයි. ඒ අනුව අවු. 6–18 දක්වා වැඩෙන වයසේ සිටින දරුවන් අධි බර හා ස්ථුලතාවට පත්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.

ජිවිතයේ මුල් අවුරුදු කිහිපය තුළ දරුවා සායනවලට (Well Baby Clinic) යොමු කර බර නියමාකාරයෙන් පරීක්ෂා කර සටහන කරනු ලබයි. ඒ සඳහා දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනක් (Child Health Development Record) පවා පවත්වාගෙන යනු ලබයි. පාසල් විය ආරම්භ වූ පසු ද මෙය ක්‍රියාත්මක වේ.

නමුත් කාලයත් සමඟ දරුවාගේ වර්ධනය වීමට සමඟාමීව හටගන්නා තරඟකාරී අධ්‍යාපන රටාවත්, මවුපියන්ගේ කාර්යබහුල ජීවන රටාවත් තුළ දරුවන්ගේ ආහාර රටා, ක්‍රියාශීලි බව, වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කිරීම, සොයා බැලීම හා ඒ පිළිබඳව දෙමව්පිය අවධානය යොමු වීම ඉතාමත් අල්පය.

වැඩෙන වයසේ දී විවිධ රස වර්ග සොයන දරුවන්ගේ ආහාර වේල් සඳහා සොසේජස් වැනි මස් නිෂ්පාදන, පැණි බීම වර්ග, පාන් පිටිවලින් සාදා භාවිත කළ ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග, විවිධ රසකාරක අඩංගු සීනි සහිත කෑම වර්ග අධිකව එකතු කිරීම මෙකී ළමා ස්ථුලතාවට බලපාන ප්‍රධාන හේතු අතර වේ.

එසේම දරුවන්ව ක්‍රීඩාවේ නොයෙදවීම, කය වෙහෙසා කරන ක්‍රියාකාරකම් වෙනුවට පරිගණක ක්‍රීඩා වැනි අසුන්ගත ක්‍රියාකාරකම්වලට දරුවා හුරු කිරීම, දරුවාගේ ආරක්ෂාව පතා දරුවාට එළිමහන් ක්‍රීඩාවල නිරත වීමට ඉඩ සලසා නොදීම වැනි කරුණු ද ළමා ස්ථුලතාව කෙරෙහි බලපායි.

ළමා ස්ථුලතාව අතිශය අවදානම් තත්වයකි. ඒ, එය දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, අක්මාවේ තෙල් බැඳීම (Fatty Liver), අධි-රුධිර පීඩනය වැනි බොහෝ බෝ නොවන රෝග සඳහා පළමු පියවර වන බැවිනි. වර්තමානයේදී බොහෝ පාසල් දරුවන් දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු වීම සුලබ එහෙයිනි.

මෙම තත්වය අවම කිරීම හෙවත් දරුවා ස්ථුලතාවෙන් වළක්වා ගැනීමට ක්‍රියා කළ යුත්තේ ක්‍රමානුකුලවය. මුළින්ම දරුවා ස්ථුලතාවෙන් පෙළේ ද යන්න නිවැරදිව හඳුනා ගත යුතුය. ඒ සඳහා, පවුලේ වෛද්‍යවරයා හමුවී දරුවාගේ උස, බර හා ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ.

වැඩිහිටියන්ගේ ස්ථුල බව ඉහත ක්‍රමයට අනුකූලව පරීක්ෂා කරනු ලැබුව ද ළමයින්ගේ ස්ථුල බව පරීක්ෂා කරනු ලබන්නේ වයස් කාණ්ඩ අනුවය. ඒ දරුවන් වයසත් සමඟ වර්ධනය වන බැවිනි.

නිදසුනක් ලෙස අවුරුදු 11-18 වයසේ පසුවන ළමුන්ගේ ස්කන්ධ දර්ශකය දක්වන පහත රූප සටහන පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වනුයේ, වයස අවුරුදු 15ක ළමයෙකුගේ BMI අගය පැවතිය යුත්තේ 23.5 අගය තුළය. BMI අගය ඊට වැඩි නම් එම දරුවා ස්ථුලතාවෙන් පෙළෙන අයකු ලෙස හඳුනා ගත හැකිය.

කිසිවකු ස්ථුලතාවට ගොදුරු වීම වළක්වා ගැනීමට යහපත් ආහාර පුරුදු ඇති කිරීමත්, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීමත් සිදු විය යුතුය. එහිදී පිටි, මේද හා සීනි අධික ආහාර වර්ග භාවිතය අවම කිරීම හා පැණි බීම, තෙල් ආහාරවලින් දරුවා ඈත් කළ යුතුය. එසේම පහත ආහාර වර්ග ආහාරයට ගැනීමටත්, දිනපතා පිරිසිදු ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීමටත් දරුවා හුරු පුරුදු කිරීම වැදගත් වේ.

  • කෙඳි සහිත ආහාර (කෙසෙල් මුව, කොහිල, වැටකොළු)
  • පළා වර්ග (මුකුණුවැන්න, කතුරුමුරුංගා)
  • එළවළු (වට්ටක්කා, කැරට්)
  • රනිල බෝග (මුං, කවුපි, කඩල)

මීට අමතරව රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතුවලට සමගාමීව ශක්තිය වැය වන, ශරීරය ක්‍රියාශීලී වන කටයුතුවල නිරත වීම වැදගත්ය. එහි දී කුඩා කල සිට ම දරුවාගේ නිසි ප්‍රමාණයේ රඳවා ගැනීමත් ළදරු හා ළමා වියේ දී දරුවා මහත් කරවීමේ සංකල්පයෙන් මව්පියන් මිදීමත් වැදගත් වේ‍ෛ

මිට අමතරව දරුවා කුඩා කළ සිට ම ශක්තිය වැය වන පහත සඳහන් ක්‍රියාකාරකම්වලට යොමු කිරීම වැදගත්ය. වැඩිහිටි අය ද දිනකට පැය භාගයක් හෝ මෙවැනි ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමවල නිරත වීම අවශ්‍යයි.

    • ඇවිදීම
    • ගෙවතු වගාවේ යෙදීම
    • ක්‍රීඩා කිරීම
    • ක්‍රමානුකුල ව්‍යායාම කිරීම
    • පඩි නැඟීම, කඳු නැඟීම
    • පිහිනීම
    • නර්තනය
    • බයිසිකල් පැදීම

උපදෙස්
වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර
රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව
මාලදෙනිය.
සටහන – නවෝදා දියාලගොඩ