ඉස්හොරි මට්ටු කරන්නේ මෙහෙමයි

(කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය සි. ජේ. කඹුරාපොළ මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඇතැමුන් හිස පීරන විට ඇදුම සහ උරහිස පුරා සුදු පාට කැබලි වැටෙයි. සමහරු එම සුදු පාට කැබලි උරහිසට වැටේය යන බියෙන් කවුරුන් හෝ සමග කතා කරන විට හිස කැසීමට පවා බිය වෙති. නමුත් සෑම විට ම හිසේ කැසිල්ලය. මේ පිළිබඳ බොහෝ නොයෙකුත් අවස්ථාවල මැසිවිලි නගනු ඇසෙයි.

ඉස් හොරි ප‍්‍රශ්නයෙන් පීඩා විදින බොහෝ දෙනා සම්මුඛ සාකච්ඡා වගේ විවිධ වැදගත් කටයුතු සඳහා සහභාගි වීමට පවා මැලිකමක් දක්වයි. කවුරුන් හෝ සමග කතා බහ කරන විට ඔවුන්ගේ අවධානය ඔබගේ උරහිස දෙසට යොමු වේ නම් ඔබ අපහසුතාවට පත් වනු නො අනුමානය.

මේ නිසා ඉස් හොරි කරදරයෙන් මිදෙන්නට බොහෝ දෙනා නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බලති. නමුත් බොහෝ දෙනෙක් තවමත් ඉස් හොරි ප‍්‍රශ්නයෙන් පීඩා විඳිති.

වියළි සම, තෙල් සහිත සම, හිස් කබල මත දිලීර වර්ධනය වීමට හේතුවේ. අපි ඉස් හොරි ලෙසින් හඳුන්වන්නේ හිස කසන විට මතු වන සුදු පාට කැබලි විශේෂයකටය. ඉස් හොරි සෙබොරීක් ඩර්මටයිටිස් (සෙබොරීක් නම් වූ සමේ ආසාදනය) ලෙසින් හඳුන්වයි. ඉස් හොරි ඇති වීමට හේතු ගණනාවක් තිබේ.

අපේ සිරුරේ මෙන් ම හිසේ ද සම තට්ටු දෙකකින් සමන්විතය. පිටතින් අපිචර්මය ඊට පසු චර්මය ද පිහිටයි. අපිචර්මය සැකසී ඇත්තේ මළ සෛල කට්ටුවකිනි. පහළ චර්මයේ තෙල් නිපදවන ග‍්‍රන්ථි, දහඩිය ග‍්‍රන්ථි, කෙස් මුල් (රෝම කූප) වගේ ම ජනනය වන අලුත් සෛල ද පවතියි. එම අපිචර්මය තට්ටු ගණනාවකින් තැනුණු සෛල සමූහ කිහිපයකින් සමන්විතය.

මේ අපිචර්මයේ මළ සෛල තට්ටුවට නිරතුරුව ම පහළ චර්මයෙන් අලුත් සෛල එකතු වන අතර එම සෛල ක‍්‍රමයෙන් හැලී යන නිසා සති 4 සිට 6 දක්වා අතර කාල චක‍්‍රයක් තුළ සම්පූර්ණයෙන්ම හැලී ගොස් අලුත් සෛල තට්ටුවක් සැකසෙයි.

නිතරම මෙලෙස සිදු නොවන අතර සමහර අවස්ථාවල දී තෙල් ග‍්‍රන්ථි අධි ක‍්‍රියාකාරී වී තෙල් ස‍්‍රාවය වැඩිපුර නිපදවීමක් සිදුවීමට ද ඉඩ ඇත. එසේ නැතිනම් නිෂ්පාදන ක‍්‍රියාවලියේ අසමානතාවක් ඇති වී මළ සෛල වැඩිපුර ප‍්‍රමාණයක් හැලි යාම සිදු වේ. එසේ නැතිනම් සෛල කිහිපයක් එකට ඇලී, කැටි ගැසී පොතු හෙවත් කොරළ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. මේ ලෙසින් සෛල ගැටිති ද ඉහිල් වී හැලී යනු ඇත.

එලෙස ඇති වන කොරළ වැඩි ප‍්‍රමාණයක් හිසේ පවතින විට යීස්ට් ගණයේ ක්ෂුද්‍ර ජීවීන් ඒ වෙත ආකර්ෂණය වෙයි. ඉස්හොරි ඇති කිරීමට හේතුකාරක වන ප‍්‍රධාන විත්තිකරු වන්නේ මෙම ක්ෂුද්‍ර ජීවින්ය. හිස වසා ඇති මුළු සම පුරාම මෙවැනි සෛල කැටිති පැවතිය හැකි අතර එයින් හිස කැසීමට පෙලඹීමක් ඇති කරවයි. කෙස් පුරා තැන තැන දැකිය හැකි වන සුදු කැබලි ඇති වන්නේ හිස කසන විට ගැලවී යන මෙම ශල්ක හෙවත් කොරළ කැබලිය.

බොහෝ දෙනෙක් හිසේ තෙල් ගැල්වීම නිසා ඉස් හොරි නැති වන බවට විශ්වාස කරති. තෙල් හිසෙහි ගැල් වීම නිසා ඉස් හොරි නොපෙනී ගියත් ශල්ක හට ගැනීම එලෙස ම සිදුවෙයි. ඉස් හොරි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ තරුණ වයසේදීය. ඉස් හොරි හැදෙන්න තවත් හේතු කිහිපයක් බලපායි. වියළි ස්වාභාවයකින් යුත් ශීර්ෂ චර්මයක් තිබීම, හිසේ විවිධ අපවිත්‍ර තෙල් වර්ග ගැල්වීම සහ හිස සේදීමට ගන්නා ඇතැම් සබන් හා ෂැම්පු වර්ග, අනුන් පාවිච්චි කරන පනා භාවිතය, මානසික ආතතිය, සොරයිසීස් නම්  සමේ රෝගය ඒ අතර වෙයි.

ඉස් හොරි ඇති අය සෑම විට ම ජලය පානය කළ යුතුයි. ඒ සමට හා ශීර්ෂ චර්මයට හොඳින් තෙතමනය ලැබීම සඳහායි. එමෙන්ම බිත්තර කහ මදය, පීකුදු, කිරි, සෝයා බෝංචි, බාර්ලි ආදිය තුළ අඩංගු බයොටින් ඉස්සොරි නැති කිරීමට උදව් වෙයි. ඇතැමුන් තෙල් ස‍්‍රාවය වැඩිපුර නිපදවේය යන බියෙන් තෙල් ආහාර ගැනීමෙන් වැළකී සිටින නමුත් හිස කෙස් වර්ධනයට තෙල් ආහාර අවශ්‍ය වේ.

ඒ වගේ ම ඉස් හොරි තිබෙන බොහෝ දෙනෙකුට භාවිත කළ යුතු ෂැම්පු වර්ගය කුමක් ද යන්න ගැටලුවකි. ඉස් හොරි පාලනය සඳහා වෛද්‍ය උපදෙස් ගෙන කෙටෙකනසෝල්, සෙලේනියම් අඩුංගු ප‍්‍රති–හිස්සොරි ෂැම්පු වර්ග භාවිත කළ හැකිය. කෙසේ  නමුත් ඉස් හොරි දිගින් දිගට ම පවතියි නම් වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගත යුතුය.

උපදෙස්
වෛද්‍ය සි.ජේ. කඹුරාපොළ‍ෛ
කෑගල්ල මහ රෝහල
සටහන – ප්‍රසාදිකා ජයවර්ධන