ඉඳහිට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හොඳ ද?

(වතුපිටිවල මූලික රෝහලේ කායික රෝග වෛද්‍ය ශාන්ත කුමාර අබේසිංහ මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

සෙම්ප්‍රතිශ්‍යාව අද සමාජයේ බහුල ව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. බොහෝ දෙනා සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවයක් දැනුණු වහා ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා. නමුත් උණ සෙම්ප්‍රතිශ්‍යාව ගැන නිවැරදි අවබෝධයක් ඇත්නම් අනවශ්‍ය කලබලයක් ඇති කරගන්නේ නැහැ. උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක් විතරයි. සිරුර ඇතුළේ තිබෙන කුමක් හෝ රෝගයක් පිළිබඳ යම් සංඥාව උණක් ලෙස ප්‍රකාශයට පත් වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව ලෙස හඳුන්වන්නේ වෛරසයක්. නාසයෙන් සොටු දියර ගැලීම, උගුරට සෙම ස්වභාවයක් දැනීම සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණයි. ඒ වගේ ම ඇතැම් අවස්ථාවල සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ වැළඳිය හැකියි. සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයක් නිසා උණ සමග වැළඳෙන්නත් පුළුවන්. කෙසේ වුවත් සාමාන්‍යයෙන් වැළඳෙන උණ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක දී ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. එය දින කිහිපයකින් සුවපත් වෙනවා. ‍

දුහුවිල්ල, සීතල ආහාර, රාත්‍රි ස්නානය වැනි දේ නිසා ඉක්මනින් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙනවා. එවැනි දෑවලින් ඈත්ව සිටීමෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගන්න පුළුවන්. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව උග්‍ර වී කැස්ස දක්වා වර්ධනය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යාම සුදුසුයි.

සෙම්ප්‍රතිශ්‍යාව ලෙස හඳුන්වන්නේ ශ්වාසනාලයේ (හුස්ම ගන්නා නාල පද්ධතියේ) ඉහළ කොටසේ ආසාදන තත්ත්වයක්. කැස්ස ඇති වන්නේ මේ ආසාදන තත්ත්වය ශ්වාසනාලයේ පහළට ව්‍යාප්ත වීම නිසායි.

කැස්ස සමග කහ පැහැති සෙම යනවා නම් එය බැක්ටීරියා ආසාදනයක් වන්න පුළුවන්. එවිට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. එනම් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක දී ප්‍රතිකාර අනවශ්‍ය වුවත් කැස්ස දක්වා වර්ධනය වුවහොත් ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් වැළඳෙන්නේ කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිය අඩු අයටයි. කුඩා දරුවන්ගේ ශ්වාසනාල සිහින් ස්වභාවයක් ගැනීම නිසා අවහිර වීමේ හැකියාව වැඩිය. ප්‍රතිශක්තිය අඩු අය වශයෙන් සැලකෙන්නේ දියවැඩියාව, පිළිකා වැනි රෝගීන් සහ වියපත් අයයි. ඒ අය කළ යුත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පාලනයට ‍ඖෂධ ගන්නවාට වඩා තමන්ට ඇති රෝග තත්ත්වය පාලනයට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදී ගැනිමයි.

ඉඳහිට හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හොඳයි කියලා ජනතාව අතර මතයක් තියනවා. එවිට පුද්ගලයා නිරෝගී වන බවයි පැවසෙන්නේ. නමුත් එය බැහැර කළ යුතු වැරදි මතයක්. ඒ වගේම විටමින් සී භාවිතයෙන් සෙම්ප්‍රතිශ්‍යාව පාලනය වනවා වාගේ කරුණුත් මිනිස්සු අතර ඇති විහ්වාසයන් මිස විද්‍යාත්මකව තහවුරු කළ දේ නෙවෙයි.

පීනස කියන්නෙත් සෙම්ප්‍රතිශ්‍යාව සමග එකට කියවෙන රෝග තත්ත්වයක්. පීනස අපේ ජීවන පැවැත්මේ වැරදි නිසාත් පරම්පරාගත රෝග තත්ත්වයක් ලෙසත් වැළඳෙන්නට පුළුවන්. ඒ අනුව පැහැදිලි වන්නේ මේ බොහෝ රෝග තත්ත්ව වැරදි ජීවන පුරුදු සහ වැරදි ආහාර රටා නිසා ඇති බව බවයි.

එයින් කියවෙන්නේ මේවා ප්‍රතිකාරවලට යා යුතු ‍ඖෂධ මත ලබා ගත යුතු රෝග තත්ත්ව නොවන බවයි. උණක් වැළඳුණු විට සාමාන්‍යයෙන් පැරසිටමෝල් ගත යුතුයි. එය වෛද්‍ය උපදෙස් මත නිසි මාත්‍රාවට භාවිත කළ යුතුයි. කුඩා දරුවෙක් නම් පැරසිටමෝල්වලට අමතරව තෙත රෙදිවලින් සිරුර තෙත මාත්තු කිරීම වැනි ඇඟ සිසිල් කරන සත්කාර කිරීම හොඳයි.

වර්තමානයේ පවතින විවිධ රෝග තත්ත්ව නිසා උණක් වැළඳුණු විගස රුධිර පරීක්ෂාවක් කර ගැනීම වඩාත් සුදුසුයි. එහෙම නැතිව රුධිර පරීක්ෂණයකින් තොර ව ඩෙංගු වැනි රෝග තත්ත්වයක් වැළඳී ඇති ද යන්න තහවුරු කළ හැකි ක්‍රමයක් නැහැ. දින දෙකකට වඩා වැඩියෙන් උණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි. එහෙත් සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇති වන උණ තත්ත්වය පැරසිටමෝල් භාවිතයෙන් සුව කර ගන්න පුළුවන්.

උපදෙස්
කායික රෝග වෛද්‍ය ශාන්ත කුමාර අබේසිංහ
මූලික රෝහල වතුපිටිවල
සටහන – ප්‍රමිලා ඩී. ධර්මසිරි