අපට ව්‍යායාම අවශ්‍ය ද?

(දොම්පේ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය සම්පත් කුලතිලක මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

අප ලබන උතුම් ම ධනය වන්නේ නිරෝගීකමයි. එහෙයින් අප කාගේත් පැතුම වන්නේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමය. නමුත් කාර්ය බහුලත්වයත් සමඟ එය අමතක අමතක වන අපට යළිත් නිරෝගිමත් බවේ වටිනාකම හොඳින් ම දැනෙන්නේ කිසියම් රෝගයකින් පීඩා විඳින විටය.

මේ හේතුවෙන් අද ලෝකයේ බොහෝ දෙනා අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආතරයිටීස් ආදී බෝ නොවන රෝගවලින් පීඩා විඳිති. තව ද මෙම රෝග බාල, තරුණ, මහලු ආදී කිසිදු වයස් භේදයකින් තොරව වේගයෙන් ව්‍යාප්ත වීම ද කනගාටුවට කරුණකි.

නමුත් අප අතීත මුතුන් මිත්තන් ඉතා නිරෝගී ලෙස දිගු කාලයක් ජීවත් වූ බව බෙහෙවින් ප්‍රකට කරුණකි. ඔවුන් ඉතා පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය කිරීම හේනේ කුඹුරේ වැඩ මෙන් ම නිවසේ දී වී කෙටීම, පෙළීම, ඇට ඇඹරීම, ළිඳෙන් වතුර ඇඳීම වැනි කය වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නිරත වීම ඊට හේතුවයි.

එහෙත් අප වර්තමානය වන විට දියුණු තාක්ෂණික මෙවලම් සමග සිරුර වෙහෙසන බොහෝ ක්‍රියාකාරකම් තාක්ෂණික මෙවලම්වලට පවරා හමාරය. එහෙත් නිරෝගී ජීවිතයක් සඳහා කය වෙහෙසෙන ක්‍රියාකාරකම්වල යෙදීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සඳහා ව්‍යායාම තරම් හොඳ ඖෂධයක් තවත් නොමැත.

ව්‍යායාම යනු මොනවා ද?

ව්‍යායාම යනු කිසියම් කාලයක් වෙන් කර ගනිමින් නිසි ක්‍රියා පිළිවෙතක් අනුව ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමයි.

ව්‍යායාම කළ යුත්තේ ඇයි?

කය වෙහෙසීමක් නො කෙරෙන රැකියාවල නිරත වන බොහෝ දෙනෙකු තරුණ විය ඉක්මවා යාමටත් පෙර විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වෙති. මෙම කය නො වෙහෙසන දිවි පැවැත්ම හේතුවෙන් ආහාරවල පවතින අධික මේදය සිරුරේ තැන්පත් වී එහි ක්‍රියාකාරීත්වය ව්‍යාකූල කරයි.

එමගින් රුධිරයේ සීනි කොලෙස්ට්‍රෝල් මට්ටම් ඉහළ ගොස් දියවැඩියාව, හෘද රෝග ආදිය ද ස්ථූලතාව වැනි රෝග ද වැළඳෙයි. ස්ථුලතාව ශ්වසන ක්‍රියාවලිය දුර්වල කිරීමට ද අධි රුධිර පීඩනයට සහ මානසික ආතතිය වැළඳීමට ද මූලික හේතුවකි.

මේ නිසා නිතිපතා කය වෙහෙසා කරන ව්‍යායාම හෙවත් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම අප සියලු දෙනාගේ ම නිරෝගීතාව රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.‍

  • ව්‍යායාමවල යෙදීමෙන් අපට අත්වන වාසි
  • ව්‍යායාමවල නිරත වීමෙන් සිරුරේ රුධිර සංසරණනය ක්‍රමවත් වේ
  • සිරුරට අහිතකර අධික මේදය හෙවත් කැලරි දහනය වේ
  • සිරුරේ කොලස්ට්‍රෝල් මට්ටම යහපත් කරයි
  • නිරෝගිමත් හදවතක්, පිරිසිදු පෙනහලු යුගලයක් සහ ශක්තිමත් අස්ථී පද්ධතියක් ලැබෙයි
  • මාංශ පේෂි සහ සන්ධි ක්‍රියාකාරීත්වය වැඩි කරයි
  • මානසික පීඩනය දුරලා මනස ප්‍රබෝධමත් කරයි
  • තරබාරු බව දුරු කොට මනා හැඩැති පෙනුමක් ලබා දෙයි
  • ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

වැඩි ප්‍රතිඵල සහිත සරල ව්‍යායාම

  • ඇවිදීම – සියලු වයස් කාණ්ඩවලට සුදුසු වේ. ඇවිදීමේ වේගයට සාපේක්ෂ ලෙසින් දෑත් ඉදිරියට පිටුපසට චලනය කළ යුතුය. මිනිත්තුවට පියවර සියයක් පමණ තැබිය යුතුය.
  • සෙමින් දිවීම – තරබාරු පුද්ගලයන්ට වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට වඩාත් සුදුසු වේ. හෘද වස්තුවෙහි ක්‍රියාකාරීත්වයට හොඳින් බලපායි.
  • ලණු පැනීම – විනාඩි 8ක් ලණු පැනීම සැතපුමක් දුර දිවීම හා සමාන වේ. වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කළ හැකිය
  • බයිසිකල් පැදීම – පාද, උකුළ, තට්ටම, කොන්ද, දණහිස මෙන් ම වළලුකර යන ශරීරයේ පහළ කොටස් ශක්තිමත් වීමට ඉතා යෝග්‍ය වේ.
  • පිහිනීම – සමස්ත ශරීරයේ ම මාංශ පේෂි හොඳින් ක්‍රියාත්මක වන ශාරීරික ක්‍රියාකාරකමකි.

දෛනිකව කොපමණ කාලයක් ව්‍යායාම සඳහා වැය කළ යුතු ද?

ආරම්භයේ දී විනාඩි 15 -20 ලෙස ද ක්‍රමයෙන් විනාඩි 30-60 දක්වා ද ව්‍යායාමවල යෙදීම සුදුසු වේ.

ව්‍යායාම කිරීම හා සමගාමී ව ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගෙන යන්නේ කෙසේ ද?

  • එදිනෙදා වැඩ සඳහා කෙටි දුර ගමන් පයින් යාම
  • කාර්යාලයේ විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ භාවිත කිරීම
  • වාහනයක යන විට ගමනාන්තයට මදක් දුර තබා වාහනය නතර කර ඇවිද ගෙන යාම
  • මිතුරන් සමඟ බැට්මින්ටන්, ටෙනිස් වැනි කය වෙහෙසෙන විනෝදාංශයක නිරතවීම
  • නිවසේ ගෙවත්තේ වැඩවල නිරත වීම
  • ඇතැමෙක් ව්‍යායාම කිරීමෙන් දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙති. නමුත් එහි නිසි ප්‍රතිඵල ලබාගත හැක්කේ ක්‍රමානුකූල අයුරින් කිසියම් කාලයක් ව්‍යායාමවල යෙදීමෙනි.

තම පවුල, රැකියාව මෙන් ම ව්‍යායාම ද තම ජීවිතයේ කොටසක් බවට පත් කර ගැනීමෙන් ලෙඩ රෝගවලින් දුරස් වී සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීමට අප කාටත් හැකියාව ලැබේ.

උපදෙස්

වෛද්‍ය සම්පත් කුලතිලක
දිස්ත්‍රික් රෝහල
දොම්පේ
සටහන – රසී විතානගේ