ඔබ කබලෙන් ළිපට දමන ආතරයිටීස් බෙහෙත්

(දොම්පේ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය සම්පත් කුලතිලක මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාක් ඇසුරිනි.)

ආතරයිටීස් යනු කුමන රෝග තත්ත්වයක් ද?

ආතරයිටීස් යනු සිරුරේ ඇති සන්ධි සහ සන්ධි ආශිත පටකවල ඉදිමුම නිසා ඇති වන රෝගී තත්ත්වයකි. ශරීරයේ ප්‍රතිදේහ පද්ධතිය ශරීරයට එරෙහිව කටයුතු කිරීම සහ වෛරස් බැක්ටීරියා විෂබීජ ආසාදන මෙම රෝගයට හේතු වේ. ශරීරය පුරා පැතිරුණු සන්ධි අතුරින් ශරීර බර දරන සන්ධි සඳහා ආතරයිටීස් සෑදීමට වැඩි ඉඩක් පවතී.

ආතරයිටීස් වර්ග සහ ස්වභාවය

ආතරයිටීස් වර්ග කිහිපයකි. ඒ අනුව බාල, තරුණ, මහලු ආදී විවිධ වයස් මට්ටම්වල පුද්ගලයින්ට බලපාන ආතරයිටීස් වර්ග වෙනස් විය හැකිය. උදාහරණ ලෙස  ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය සන්ධි ගෙවී යාමෙන් ඇති වන නිසා බොහෝ විට බලපාන්නේ වැඩිහිටි පුද්ගලයන්ටය.

ජුවනයිල් ඉඩ්යොපත් ආතරයිටීස් බහුලව බලපාන්නේ කුඩා දරුවන්ට ය. ඒ අතරින් වැඩි ප්‍රමාණයකට බලපාන රෝග තත්ත්වය වන්නේ රුමැටොයිඩ් ආතරයිටීස්ය. මෙය සන්ධි ගණනාවකට බලපාන අතර වසර ගණනාවක් දිගු කාලීන ලෙස පැවතිය හැකිය. මේ සඳහා නිවැරදි ව ප්‍රතිකාර නොකළහොත් සන්ධි ඇද වීමට ද ලක් විය හැකිය.

ආතරයිටීස් රෝගයේ දී පිටතින් ඉදිමුමක් පමණක් පෙණුන ද ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රින්ට ද හානි සිදුවේ. විශේෂයෙන් වකුගඩුවලට, පෙණහලුවලට සහ අක්මාවට ඉන් බලපෑම් සිදුවිය හැකිය.

ආතරයිටීස් ඇති වීමට හේතු

මෙම රෝග තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක් බලපායි. මූලික හේතුව සිරුරේ බර වැඩි වීමය. වයස් ගත වීමත් සමඟ උකුල, දණහිස වැනි සිරුරේ බර දරන සන්ධිවල කාඩ්ලේජ ගෙවී යාම, දිගු කල් පවතින ස්ථුල බව, දිගු කලක් දණ හිස් නමා ගෙන වැඩ කිරීම, දවසේ පැය ගණනක් ඇවිදීම ආදී හේතු ඒ අතර වේ.

සාපේක්ෂ ව බැලූ කල පිරිමින්ට වඩා කාන්තාවන්ට බහුල ව ආතරයිටීස් වැළඳිය හැකිය. සාමාන්‍යෙයන්  වයස 40-45 ඉක්ම වූ කාන්තාවන්ගේ මාස ශුද්ධිය නතර වීමට ආසන්න සමයේ ඊස්ටජන් හෝමෝන අඩු වීම ද ඊට හේතුව විය හැකිය.

තව ද සිරුරේ කිසියම් සන්ධියක් අනතුරකට ලක් වීමෙන් හෝ කාඩ්ලේජයකට කිසියම් හානියක් සිදුවීමෙන් ඕනෑම වයස් මට්ටමක දී ආතරයිටීස් ඇති වීමට හැකියාව පවතී.

මෙම මූලික හේතූවලට අමතරව සිරුරට විෂ බීජයක් ඇතුළු වී සන්ධියක් ආශ්‍රිත ව තැන්පත් වීමෙන් සහ චිකන් ගුන්යා, ඩෙංගු වැනි රෝග සුව වූ පසු කෙටි කලක් පවතින ආතරයිටීස් තත්ත්ව ද ඇති විය හැකිය.

ආතරයිටීස් රෝග ලක්ෂණ

  • දණහිස්, ඇඟිලි පුරුක්වල ඉදිමුම සහ වේදනාව
  • උදෑසනට සන්ධිවල තද ගතියක් දැනීම
  • ඉඳ ගෙන සිට නැගිට ඇවිදීමේ දී දැඩි අපහසු බවක් දැනීම
  • කකුල පතුලේ සහ මහපට ඇඟිලිවල අස්ථීවල වේදනාව

ආතරයිටීස් සම්පූර්ණයෙන් සුව කළ හැකි ද?

ආතරයිටීස් සඳහා විවිධ වර්ගයේ ප්‍රතිකාර පැවතිය ද එය නිට්ටාවට සුව වන අවස්ථා අඩුය. නමුත් දියවැඩියාව, අධි-රුධිර පීඩනය වැනි රෝග මෙන් මෙය ද පාලනය කළ හැකි රෝගයකි. ඖෂධ මඟින් රෝගය සුව අතට හැරෙන විට ක්‍රමයෙන් ඖෂධ අඩු කළ හැකිය.

ආතරයිටීස් සඳහා වන ප්‍රතිකාර ක්‍රම

ආතරයිටීස් සඳහා වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිඵල දායක ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පැවතිය ද බොහෝ විට රෝගීන් පෙලඹෙන්නේ වේදනා නාශක ඔසු ලබා ගැනීමටය. එමඟින් රෝගියාගේ වේදනාව තාවකාලික ව අඩු වුව ද රෝගය සුව වීමක් සිදු නොවේ.

තව ද දිගු කාලීන ලෙස වේදනා නාශක භාවිතය වකුගඩු සහ ආමාශයට අහිතකර ලෙස බලපෑ හැකිය. මේ නිසා ඔබ ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වඩා යෝග්‍ය වේ. රෝගීන්ට රජයේ රෝහල්වල ආතරයිටීස් සඳහා පැවැත්වෙන සායනවලට ද සහභාගී විය හැකිය.

තවද නවතම ප්‍රතිකාර ක්‍රම වන මෙතොට්‍රෙක්සොත් ප්‍රතිකාරය සහ බයොලොජිකල් ඉන්ජෙක්ෂන් ප්‍රතිකාරය ක්‍රම ඔස්සේ ආතරයිටීස් බොහෝ දුරට පාලනය කර ගත හැකිය.

ආතරයිටීස් හඳුනා ගැනීමට ඇති විශේෂිත වූ පරීක්ෂණ

වෛද්‍යවරයෙකුට පුද්ගලයකු පරීක්ෂා කොට රෝග නිර්ණය කළ හැකිය. එය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා රුධිර පරීක්ෂණ සහ X-ray පරීක්ෂණ සිදු කළ හැකිය.

ආතරයිටීස් රෝගයට ආහාරවල බලපෑමක් තිබේ ද?

රෝගීන් පිළිබඳ ව දැනට සිදු කර තිබෙන පරීක්ෂණවලට අනුව අධික තෙල් සහ ගැඹුරු තෙලේ බැද ගත් ආහාර ආතරයිටීස් රෝගීන් සඳහා හිතකර නොවේ.

ආතරයිටීස් රෝගීන් ව්‍යයාම කිරීම සුදුසු ද?

ආතරයිටීස් රෝගීන් කළ යුතු ව්‍යායාම පද්ධතියක්  තිබේ. රෝහල්වල ඇති භෞතික චිකිත්සක අංශවලින් ඒ සඳහා පුහුණුව සහ උපදෙස් ලබා දෙයි.

ආතරයිටීස් මාරාන්තික ද?

මෙම රෝගය මාරාන්තික නොවේ. නමුත් ආතරයිටීස් රෝග තත්ත්වය පෙනහලු සහ වකුගඩු වෙත බලපෑම භයානක විය හැකිය. ආතරයිටීස් රෝගීන්ට හෘදයාබාධ වැළඳීමට වැඩි ඉඩකඩක් පවතින බව ද සොයා ගෙන තිබේ.

උපදෙස්‍‍ෙ

වෛද්‍ය සම්පත් කුලතිලක
දිස්ත්‍රික් රෝහල
දොම්පේ
සටහන – රසී විතානගේ