මව් කුස සිට සිගරට් බොන ළමයි

(මාලදෙනිය රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

දුම්පානය අහිතරක ඇයි?

දුම්පානය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයට විශාල සෞඛ්‍ය, සමාජ සහ ආර්ථික ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන පරිදි 20 වෙනි සියවස තුළ ලොව පුරා දුම්පානය නිසා හට ගත් රෝගාබාධවලින් මිලියන 100කට අධික පිරිසක් මිය ගොස් තිබේ. මෙම දුම්පානය අඛණ්ඩව සිදු වුවහොත් 21 වෙනි සියවස අග භාගය වන විට එම සංඛ්‍යාව බිලියනය දක්වා වර්ධනය වනු ඇත.

මේ වන විට විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳපොළට නිකුත් වන සිගරට් වර්ග සහ දුම්කොළ නිෂ්පාදන මිලට ගැනීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව දිනකට රුපියල් කෝටි 23කට ආසන්න මුදලක් වැය කරති.

ලෝකයේ දුම්පානය කරන සෑම පුද්ගලයන් දෙදෙනකු අතරින් ම එක් අයකු දුම්පානය නිසා ඇති වන රෝගාබාධවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ පමණක් දිනකට දුම්පානය ආශ්‍රිත ආශ්‍රිත ආසාදන නිසා 50-60ත් අතර පිරිසක් මිය යති. ඒ අනුව වසරකට දුම්පානය නිසා ලාංකිකයන් 20 000කට අධික පිරිසකට ජීවිත අහිමි වෙයි.

දුම්පානය යටතට ගැනෙන්නේ මොනවා ද?

දුම්පානය යටතට ගැනෙන ද්‍රව්‍යයවල මුල් අවස්ථාව දුම්කොළයි. දුම්කොළවලින් නිෂ්පාදනය කරන සිගරට්, බීඩි, සුරුට්ටුවලට අමතරව මරිජුවානා, හෂීෂ්, හෙරොයින්, කොකේන් වැනි නිෂ්පාදන රාශියක් ද ඇත. වර්තමානයේ දී තරුණ පිරිස් බහුලව යොමු වී ඇති ගංජා නම් මත් ද්‍රව්‍ය මරිජුවානා නිෂ්පාදන විශේෂයට අයත් වේ. ශ්‍රී ලංකාවේ බෙහෙවින් භාවිත කරන දුම්පානය වන සිගරට් නිෂ්පාදන හා අලෙවි කටයුතුවල සියලු හිමිකාරීත්වය දරන්නේ ලංකා දුම්කොළ සමාගමයි (CTC).

දුම්පානයේ දී ශරීරය තුළ සිදු වන්නේ කුමක් ද?

දුම්පානයේ දී ශ්වාසනාලය, අනු ශ්වාසනාල ඔස්සේ පෙණහැලි තුළට ගනු ලබන දුමෙහි ඇති නිකොටින් වැනි රසායන ද්‍රව්‍ය නිසා පෙණහැල්ලේ සෛල තුළ වෙනස් වීම් ඇති වේ. එනම් ඒවායේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමක් සිදු වේ. මේ නිසා නිතර ශ්වසන අපහසුතා ඇති වේ. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ක්‍රමානුකූල ව සිදු නොවන නිසා රුධිරයේ රසායනික සංයුතිය වෙනස් වෙයි. ඒ නිසා රුධිරයේ හිමෝග්ලොබින් තත්ත්වය වෙනස් වීම ආදී ගැටලු රාශියක් උද්ගත වේ. ඒ නිසා බොහෝ රෝගාබාධ ඇති වෙයි.

සිගරට්ටුවක ඇතුළත් රසායනික සංඝටක මොනවා ද?

දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4000කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඉන් 43ක් පිළිකා කාරක වේ. පුද්ගලයෙකු දුම්පානයට ඇබ්බැහි වීමට බලපාන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය නිකොටින්ය. මෙය දුම්කොළවල අඩංගු ප්‍රධානතම සංඝටකය ද වේ. එසේ ම 1763 වසරේ සිට එය කෘමි නාශකයක් ලෙස ද භාවිත කරනු ලැබේ.

සායම් වර්ග හා නිය ඔප දැමීමට භාවිත කරන අවර්ණ වාෂ්පශීලී ද්‍රව්‍යයක් වන ඇසිටෝන් හා බැර ලෝහ ගණයට අයත් ශරීරයෙන් ඉවත් කිරීමට අපහසු වන ලෙස පටක තුළ තැන්පත් වන ආසනික් යන රසායනික ද්‍රව්‍යය ඇතුළු පහත දැක්වෙන අධි විෂ සහිත රසායන ද්‍රව්‍ය සිගරට්ටුවක ඇතුළත් වේ.

  • කාබන්මොනොක්සයිඩ්
  • ෆීනෝල්
  • හයිඩ්රොජන් සයනයිඩ්
  • නැප්තලීන්
  • කැඩ්මියම්

දුම්පානයට මිනිසා ඇබ්බැහි වන්නේ ඇයි? දුම්පානය නිසා ඇති වන රෝගාබාධ හා සමාජ ප්‍රශ්න මොනවා ද?

දුම්පානයට මිනිසා ඇබ්බැහි වීම සිදු වන්නේ පෙර සඳහන් කළ පරිදි නිකොටින් නම් රසායන ද්‍රව්‍යය නිසාය. එහෙයින් දුම්පානයට ඇබ්බැහි වූවෙකු ඉන් මුදවා ගැනීම අතිශය අසීරුවේ. දවසේ වැඩ කටයුතු, රැකී රක්ෂා කටයුතු හමාර කර ගතේ වෙහෙස නිවා ගැනීමට, කාලය ගත කිරීමට, රාත්‍රී රැකියා සඳහා යම් සහනයක් ලබා ගැනීමට, ආශාව නිසා, සිය පෞරුෂත්වය සමාජයට පෙන්වීම වැනි අභිප්‍රාය නිසා මිනිසුන් දුම්පානයට යොමු වෙයි. දුම්පානයට ඇබ්බැහි වීම රෝගාබාධ රාශියක ආරම්භය වේ. මෙහි භයානක ම තත්ත්වය වනුයේ පිළිකා හට ගැනීමයි. ඒ අනුව පෙණහැලි, ස්වරාලය, මුඛය, උගුර, ගලනාලය, මුත්‍රාශය, අග්න්‍යාහශය, අක්මාව, ගැබ් ගෙල, ගුද මාර්ගය වැනි බොහෝ ඉන්ද්‍රියවල පිළිකා හට ගැනීම සිදු වේ.

මුඛ සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන දුම්පානය විදුරු මස් රෝග, දත් දිරා යාම, දත් වැටීම, මුඛය දුගඳ වීම වැනි ගැටලු රැසකට ප්‍රධාන ලෙස හේතු වේ. මිට අමතරව හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය, ඇදුම, නියුමෝනියාව, ක්ෂය රෝගය, ස්නායු පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග, ආහාර රුචිය නැති වීම, ප්‍රතිශක්තිය අඩු වීම, රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු වීම වැනි රෝගාබාධ රැසක මූලාරම්භය දුම්පානය වේ.

එසේම දුම්පානය කරන පුරුෂයන්ගේ ලිංගික අවයව ප්‍රාපණවත් නො වීම, වෘෂණ පිළිකා ඇතිවීම මෙන් ම ලිංගික බෙලහීනතාව  සහ වඳ භාවය ඇති වීම ද සිදු වේ. එසේම හුස්ම, කෙස්, සම සහ ඇඳුම්වලින් දුර්ගන්ධය හැමීම, දත් දුර්වර්ණ වීම, තොල් සහ මුහුණ අවපැහැ වීම වැනි සෞඛ්‍යමය ගැටලු හට ගැනීම නිසා පවුල් සංස්ථා කඩා වැටීම්, රණ්ඩු සරුවල්, ආර්ථික අපහසුතා, ලිංගික බෙලහීනතාව  නිසා ඇති වන ගැටලු, සමාජය තුළ අපවාදයට ලක්වීම වැනි සමාජ ප්‍රශ්න ද දුම්බීම නිසා හට ගනී.

අක්‍රීය දුම්පානයට ගොදුරු වීම භයානක අැයි?

දුම්පානය නො කරන යම් පුද්ගලයෙකු, දුම්පානය කරන්නෙකු අසල සිටින විට දුම්පානයේ දී පිට කරන දුම ආග්‍රහනය කිරීමෙන් පමණක් නොව ඔහු අසල සිටින විට පිට කරන හුස්මක පවා ඇති විෂ රසායන ද්‍රව්‍ය ආඝ්‍රාණය වීමෙන් අක්‍රීය දුම්පානයට (Passive Smoking) ගොදුරු වේ. මෙය බොහෝ විට කුඩා දරුවන් මුහුණ පාන ගැටලුවකි. මෙම අක්‍රීය දුම්පානය පිළිකා, ශ්වසන රෝග වැනි පෙර කී රෝග සියල්ල ම පාහේ ඇති කරයි. එසේම ගර්භණී බවට පත්ව සිටින කාන්තාවන්ට සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය නිසා සාර්ථක දරු ඵල ලබා ගැනීමට නො හැකි වන අතර, ඩිම්බ කෝෂ තුළ ඩිම්බ විනාශ වීම, අඩු වයසින් ආර්තවහරණය වීම, හෝමෝන ක්‍රීයාකාරීත්වය අඩපණ වීම, ගබ්සා වීම වැනි භයානක තත්ත්ව රාශියකට මුහුණ පෑමට සිදු වේ. සක්‍රීය දුම්පානය කරන්නාගෙන් පිට වන විෂ රසායන ද්‍රව්‍ය කුඩා අංශු ලෙස ඇඳුම්වල, සම මතුපිට, හිස කෙස්වල තැන්පත් වීම හා වාතයට නිරාවරණය වීමෙන් මෙන් ම එම වාතය දුම් නො බොන්නෙකු ආශ්වාස කිරීමෙන් අක්‍රීය දුම්පානය සිදු වේ

දුම්පානයට ඇබ්බැහි වූ අයකු ඉන් මුදා ගන්නේ ගන්නේ කෙසේ ද?

මෙහි දී ප්‍රධාන වශයෙන් ම සිදු කළ යුත්තේ දුම්පානයට ඇබ්බැහි වූ තැනැත්තා උපදේශන සේවා සඳහා යොමු කිරීමයි. දුම්පානයට ඇබ්බැහි වූ තැනැත්තා අයත් වයස් කාණ්ඩය (උදා:- පාසල් දරුවන්, සේවා නියුක්තිකයන්) හඳුනා ගෙන එම උපදේශන සේවාවලට යොමු කිරීම වැදගත්ය. මව්පියන් තම දරුවන් තුරුණු වියට පා තබන විට ඔවුන් පිළිබඳ ව දැඩි අවධානයකින් සිටීම වැදගත් වන්නේ ඇබ්බැහි වීමට පෙර වළක්වා ගැනීම වඩාත් පහසු හා නිවැරදි ක්‍රමය වන බැවිනි. ඒ සමඟ ම දුම්පානයේ ප්‍රතිවිපාක මෙන් ම දුම්බීම යනු සිය පෞරුෂත්වය හෝ පුරුෂත්වය දක්වන සංකේතයක් නොවන බව පැහැදිලි කිරීමත් විවේක කාලය තුළ දරුවන් නිවැරදි විනෝදාංශ කෙරෙහි යොමු කිරීමත් වැදගත් වේ. දුම්පානයට යොමු වූවන් ඉන් මුදවා ගැනීම සඳහා රජයේ රෝහල්වල මත් ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවා ඇති අතර ADIC වැනි රාජ්‍ය නොවන මත් ද්‍රව්‍ය විරෝධී සංවිධාන ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි.

උපදෙස්:
වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර
රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව
මාලදෙනිය.
සටහන – නවෝදා දියාලගොඩ