සතුට ඇත්තේ කොතැන ද?

(ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

මිනිසෙකුගේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙනස්  කළ හැකි දුම්කොළ හා ඇල්කොහොල් අඩංගු ඕනෑම ද්‍රව්‍යයක් මත්ද්‍රව්‍ය ලෙස හදුන්වනු ලැබේ. එසේම හෙරොයින්, අබිං, බාබුල්, මර්ජුවානා, බ්‍රවුන් ෂුග වැනි දේ පමණක් නොව මෝට්‍රැමඩෝල් වැනි වේදනා නාශක පෙති ද මත්ද්‍රව්‍ය ගණයෙහි ලා සැලකේ.

මේ වන විට  මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නන්ගේ  සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතියි. එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන ප්‍රශ්න අමතක කර දැමීමට මත්ද්‍රව්‍යවලට හැකියාව පවතින බවට සමාජය තුළ පවතින අසත්‍ය මතවාදය මේ සඳහා හේතුවක් වී තිබේ. මේ නිසාම ‍‍ බොහෝ පුද්ගලයෝ  ප්‍රශ්න අමතක කර දැමීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටිති.

එපමණක් නොව‍ යම් කෙනෙකු‍ගේ සිතේ සතුට ඇති කිරීමට මත්ද්‍රව්‍යවලට හැකියාවක් පවතින බවට සහ මත්ද්‍රව්‍යවලින් යම් විනෝදයක් ලබා ගැනීමට හැකි බවට පවතින අසත්‍ය මතවාද ද ඒ සඳහා බලපායි. මේ මතවාද අද සමාජයේ මුල් බැස ගනිමින් මිනිස් ජීවිත දස දහස් ගණනින් මරා දමන බව රහසක් නොවේ.

බොහෝ දෙනා මත් ද්‍රව්‍යවලට සෘජුව ම ඇබ්බැහි වීමට මුලික අඩිතාලම වැටී ඇත්තේ පාසල් කාලයේ හෝ තරුණ කාලයේ දීය. එහි දී ඔවුන් මුලින්ම අත්හදා බලා ඇත්තේ බියර් වීදුරුවකි. එසේත් නොමැති නම් සිගරැට්ටුවකි. ක්‍රමයෙන් ‍‍ඊට ඇබ්බැහි වී වෙනත් මත්ද්‍රව්‍යවලට  යොමුව ඇත. මෙසේ වසර ගණනාවක් ඊට ඇබ්බැහි වීම නිසා ඔවු‍ගේ  සිරුරු මත්ද්‍රව්‍ය නැතිව  බැරි තැනට පත්වෙයි. එයින් පැවසෙන්නේ ඔහු හෝ ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවකි. ‍මෙසේ මත්ද්‍රව්‍යවලට යම් පුද්ගලයෙක් ඇබ්බැහි වන්නේ ඒවායේ අන්තර්ගතව පවතින  නිකොටීන් ඇතුළු ඇබ්බැහි කාරක රසායනික සංගටක හේතුවෙනි.

මෙසේ දිගු කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයන් ලෙස  එම පුද්ගලයා කායික මෙන් ම මානසික පරිහානියට පත්වෙයි. එපමණක් නොව ආර්ථික වශයෙන් ද සමාජීය වශයෙන් ද  පිරිහීමට ලක් වන්නේ බලා සිටියදීය.

මත්ද්‍රව්‍යය භාවිත කළ කාල පරිච්ඡේදය භාවිත කළ ප්‍රමාණය අනුව පුද්ගලයා වෙත වන බලපෑම් ද වෙනස් වෙයි. ඇතැම් බලපෑම් ක්‍ෂණිකය. කෙටි කාලීනය. දිගු කාලයක් පුරා මත්ද්‍රව්‍ය පරිහරණය කර තිබීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ ගැටලු පැන නගියි. ඇතැමි බලපෑම් තාවකාලිකය. එම බලපෑම් රඳා පවතින්නේ මත් ද්‍රව්‍ය භාවිත කරන කාලය තුළ දී පමණි. අනෙක් අතට තවත් සමහර ද්‍රව්‍ය භාවිතය අතහැර දමා තිබීමෙන් පසුව වුව ද යළිත් උද්ගත වන්නට ඉඩ තිබේ.

මේවා මානසික හා කායික බලපෑම් යනුවෙන් දෙවර්ගයකට වෙන් කර හඳුනා ගත හැකිය. මතක ශක්තියට හානි පැමිණීම, සම්පූර්ණ සිහි බූද්ධියට හානි පැමිණීම, කෙටි කාලීනව අමතක වන සුලු ගතිය, විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම, සංවේදනාවලට බාධා පැමිණීමෙ, අභිප්‍රේරණ ගැටලු මතු වීම, ආක්‍රමණශීලි ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම, තදින් කලබල වීම, නොසන්සුන්කම, නොරිස්සුමි ගතිය, ආවේගශීලීත්වය, නිතර කෝපයෙන් හා තරහින් පසු වීම, නින්දට බාධා ඇති වීම, අදහස් විරහිත බව, සිත එක එල්ලයක තබා ගැනීමේ අපහසුතාව, ඉචිඡාභංගත්වයට පත් වීම, මානසික පීඩනය, මානසික රෝග උද්ගත වීමේ අවදානම, හුදකලා වීම, දුරස් වීමට ප්‍රිය කිරීම වැනි මානසික ගැටලු ඇති විය හැකිය.

එසේම අක්මාව, වකුගඩු හා මොළය ආශ්‍රිතව බලපෑම් ඇති වීම, හෘදය හා පෙනහලු ආශ්‍රිත රෝග ශ්වසන රෝග, ඒඩ්ස් හා හෙපටයිටීස් බී අවදානම, කෑම අරුචිය, විකාරයෙන් නන් දෙඩවීම, ලිංගික අප්‍රාණිකත්වය ආදි කායික දුබලතා ඇති විය හැකිය.

එපමණක් නොව මත්ද්‍රව්‍ය භාවිත කරන් පුද්ගලයින් සමාජයට එල්ල කරන අනිසි බලපෑම සුළු පටු නැත. ලැජ්ජා භය නොමැති වීම, ආත්ම ගෞරවය නොමැති වීම, පවුලේ සාමාජිකයින් අතර පවතින සබඳතා දුරස් වීම, පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම, පවුලේ සාමාජිකයන් නො සලකා හැරීම, අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම, ආර්ථික ප්‍රශ්න නිසා ගේ දොර අඬ දබර බහුල වීම, නිවස තුළ කායික හා ලිංගික ප්‍රචණ්ඩත්වය පැන නැඟීම, දරුවන් හිංසනයට ලක්වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීම් ආදිය ඒ අතර ප්‍රධාන වෙයි.

මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අතිශය හානිකර නිසා මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කි‍රීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් නේවාසික ‍ප්‍රතිකාර සේවා හා පුනරුත්ථාපන සේවා ක්‍රියාත්මක කරනු ලැබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ‍මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූවන්  සඳහා ප්‍රතිකාර  මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක කරයි. එම මධ්‍යස්ථාන කොළඹ, (තලංගම) නුවර, ගාල්ල, ඌරාපොල (නිට්ටඹුව) යන ප්‍රදේශවල පිහිටා ඇත. පහත සඳහන් දුරකතන අංක ඔස්සේ එම මධ්‍යස්ථාන සම්බන්ධ කර ගත හැකිය. තලංගම – 011 2788090,  නුවර – 081 2315504,  ගාල්ල – 091 2224443, නිට්ටුඹුව – 033 2283060

උපදෙස් වෛද්‍ය සමන්ත කිතලවආරච්චි
ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්යාංශය