සතුටින් ඉන්නේ මෙහෙමයි

(රත්නපුර පළාත් මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

වර්තමාන සමාජ ක්‍රමය මිනිසා ආතතියට ගොදුරු කරන සාධකවලින් පිරුණු තැනකි. පාසල් අධ්‍යාපනය, රැකියාව, විවාහය ආදි අපේ යහපත සඳහා ම නිර්මාණය කරගත් දෑ පවා අවසන අප හිංසාවට ආතතියට ලක් කරයි. ඉන් මිදී සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන ආකාරය පිළිබඳ අපි අවධානය යොමු කරමු.

ආතති තත්ත්වයට පත් නොවී අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සමබර ලෙස කර ගෙන යාමට කළ යුත්තේ කුමක් ද?

වර්තමාන තරගකාරී ජීවන රටාව නිසා අප සියලු දෙනාට ම සෑම අවස්ථාවක ම කිසියම් අනතුරුදායක ස්වරූපයක් ගත් පරිසරයක ජීවත් වීමට සිදුව තිබෙනවා. මේ සමාජය අප ඉදිරියේ නිරතුරුව තර්ජන නිර්මාණ කරනවා. එය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පොදුයි.

ඉපදිලා මාස ගණනක සිට ආතතියට හේතු වන අනතුර සහ තර්ජනය අප ලුහුබැඳ එනවා. ළමයාට ඉතා ම කුඩා කාලයේ සිට ම තරඟ විභාගවලට මුහුණ දීමට සිදු වෙනවා. විභාගය යනු එක්තරා ආකාරයකින් අප විනිශ්චයට ලක් කිරීමකි. ඉන් අසමත් වීම හෝ අඩු ලකුණක් ගැනීම සමාජ අවමානයට හේතුවක්. අනාගත දියුණුවේ මං ඇහිරීමට හේතුවක්. එය තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්.

අපේ රටේ පවතින මේ තරගකාරී අධ්‍යාපන රටාව සමාජයේ බොහෝ දෙනා ආතති තත්ත්වයට පත්වීමට මූලික හේතුවක්. ඒ නිසා දරුවා කුඩා කාලයේ ම ආතතියට බිලි දෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.

මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් නොවුණොත් විය ඇති විය හැකි තත්ත්වය කුමක් ද?

වර්තමාන තරගකාරී අධ්‍යාපන ක්‍රමය කුඩු වසංගතයටත් වඩා භයානකයි කියලා මම මනෝ වෛද්‍ය විශේෂඥයෙක් විදිහට විශ්වාස කරනවා. ඒ ඔස්සේ දරා ගත නොහැකි තරම් පීඩනයක් දරුවාට ලබා දෙනවා. එකිනෙකා අතර අනවශ්‍ය තරගයක් නිර්මාණය කරලා දරුවා ආතතියට ඇද දමනවා. මේ නිසා දෙමාපියන්ට අකීකරු, කල්ලි ගැහෙන, සමාජ අපරාධකාරයන් බිහි වී සමස්ත සමාජය ම පුපුරා යන ව්‍යසනයක් නිර්මාණය වීම නො වැළැක්විය හැකියි. ඒ වගේ ම කුඩා ළමුන් කෝච්චියට පනින, කුඩා ළමුන් ගෙල වැල ලා ගන්නා තත්ත්වයට එහි ප්‍රතිඵල විනාශකාරී වීම අනිවාර්යයි. අවුරුදු 3-4 කුඩා ළමුන් පවා සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්විය හැකියි. මෙහි මූලික ලක්ෂණ අපේ වෘත්තිය ජීවිතය තුළ දැනටමත් අප අත්දකිමින් සිටිනවා.

මේ සඳහා විසඳුම කුමක් ද?

අපේ සමාජය සමාජ ව්‍යසන විදිහට හඳුනා ගෙන ඉන්නේ කුඩු ගංජා ඇතුළු මත් ද්‍රව්‍යයි. මේ සියලු ව්‍යසන සඳහා ආතතිය හේතු වෙනවා. ඒ ආතතිය නිර්මාණය කරන වර්තමාන අධ්‍යාපන ක්‍රමය ඒ සියල්ලට වඩා භයානකයි. ඒ සඳහා අප දැන් සිට ම ක්‍රියාත්මක විය යුතුයි.

දේශපාලන බල අධිකාරිය, අධ්‍යාපනඥයෝ, ගුරුවරු, දෙමාපියෝ ඇතුළු රටේ සියලු පුරවැසියන් මැදිහත් වී වහාම මේ ගැටලුවට විසඳුම් සෙවිය යුතුයි. පාසල් පෙළ පොත් සරල කළ යුතුයි. විභාගවල තරගකාරීත්වය සමනය කළ යුතුයි. අවුරුදු 12 වඩා අඩු දරුවන්ට තමන් මුහුණ දෙන තරගවල දී ස්ථානයක් ලබා දීම වෙනුවට කිසියම් පරිසාධන මට්ටමක් ඉක්ම වූ අයට සහතිකයක් ලබා දෙන ක්‍රමයක් මීට ටික කලකට පෙර යෝජනා වුණා. එවැනි ක්‍රම ඉතා ම හොඳයි. එසේ නොවුණොත් මුල් ස්ථාන තුන සඳහා සියලු ළමයි විශාල ආතතියක් නිර්මාණය කර ගෙන තරග කරනවා.

වෙන රටවල පන්තියේ පළමු දෙවන තෙවන ස්ථාන තෝරන්නේ නෑ. ළමුන්ට ලැබෙන්නේ තමන් පෙනී සිටින විෂය සඳහා කිසියම් සාමාර්ථයක්. දරුවා විෂය හයකට පෙනී සිටියොත් සාමාර්ථ හයක් ලැබෙනවා. සෙසු සිසුන් අතර දරුවා සිටින ස්ථානය විමසන්නේ නෑ. දරුවා පොලඹවන්නේ ඒ ඒ විෂය සඳහා හොඳ සාමාර්ථයක් ගැනීමට පමණයි. දරුවන් අතර තරගයක් නෑ. එවිට තරගය නිසා ඇති වන ආතතියත් නෑ. ඒ ආකාරයට අධ්‍යාපනය නිසා හට ගන්නා ආතතිය අවම කළ හැකියි.

තරගය නැති වුණා ම දරුවන්ගේ උනන්දුව නැති වෙයි කියලා අදහසක් තියෙනවා?

තරගය කියන්නේ දරුවා තුළ උනන්දුව ඇති කළ හැකි එක ම ක්‍රමය නෙමෙයි. ඒ තරගය නිසා දරුවන් පමණක් නෙමේ දෙමාපියන් පවා දැඩි පීඩනයකට ලක්වෙනවා. ඒ නිසා අප ගෙවිය යුතු පෞද්ගලික සහ සමාජ වන්දිය ඉතා ම ඉහළයි. තරගය ඔස්සේ උනන්දුව ඇති කළත් එහි අතුරු  ප්‍රතිඵල දරුවාටත් සමාජයටත් අහිතකර නම් අප එය තව දුරටත් පවත්වා ගෙන යා යුතු ද කියලා සිතා බැලිය යුතුයි.

ඒ නිසා දරුවන්ගේ උනන්දුව ඇති කිරීමට අප වෙනත් ක්‍රම වෙත යා යුතුයි. උදාහරණයක් විදිහට අපට කිසියම් විෂය කරුණක් පිළිබඳ සිසුන් දෙපිරිසක් අතර විවාදයක් සංවිධානය කරන්න පුළුවන්. එවිට ළමයි ඒ විෂය කරුණට අදාළ තොරතුරු සොයනවා. දැනුම ලබා ගන්නවා. එකිනෙකා අතර දැනුම හුවමාරු කරගන්නවා. තර්ක කරනවා. පුද්ගල ජයග්‍රහණයට වඩා සාමූහික ජයග්‍රහණය කෙරෙහි විශ්වාසය තබනවා. ඔවුන් ආසාවෙන් එහි නිරත වෙනවා. එහි දී පරාජිතයන් ජයග්‍රාහකයන් නිර්මාණය කිරීමට වඩා සියලු දෙනාට දැනුම ලබා දීමේ කාර්ය සිදුවෙනවා. එමගින් ළමයි වැඩ බැරි, වැඩ පුළුවන්, දක්ෂ, අදක්ෂ කියලා වර්ග කිරීම්වලින් ඔබ්බට ගිය විෂය දැනුම සහිත දැනුම සොයා ගෙන යන සාමූහික හැඟීම් සහිත පරපුරක් නිර්මාණය කළ හැකියි. එය එකවර කළ නොහැකියි ඒ සඳහා අපි සමාජයක් විදිහට ප්‍රමාණවත් පරිශ්‍රමයක් දැරිය යුතුයි.

නමුත් අපට සමාජයක් විදිහට එහෙම උත්සාහයක් ගන්නා බවක් දකින්න නැහැ. දිගින් දිගට ම දරුවන් මේ තරගයට යොමු කරවන බවක් තමා දකින්න ලැබෙන්නේ?

සමාජය විදිහට ඒ සඳහා සුදානම් නැත්නම් අපට පෞද්ගලිකව අපේ සහ දරුවාගේ යහපත මෙන්ම ආරක්ෂාව සඳහා කටයුතු කළ හැකියි. මම පෞද්ගලිකව මගේ ළමයින්ට කිසිම විභාගයක් නිසා ආතති තත්ත්වයකට මුහුණ දෙන තැනට පත් වීමට අවස්ථාව ලබා දුන්නේ නෑ. මම මගේ දරුවෝ පහේ ශිෂ්‍යත්වය සඳහා අතිරේක පන්තිවලට යැව්වේ නෑ. එමගින් ළමයින්ට අධ්‍යාපනය වැදගත් නෑ කියලා අදහස් කරන්නේ නෑ.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය ඔස්සේ විභාග ඉලක්ක කර ගෙන විශාල දැනුම ඔළුවට පුරවනවා මිස දැනුම සොයා ගෙන යාමට අවශ්‍ය උනන්දුව ජනිත කරන්නේ නෑ. අප කළ යුත්තේ දරුවා තුළ එම ආසාව ජනනය කිරීමයි. එවිට දරුවා සෙසු කරුණු ඉතා ආසාවෙන් තමන් ම සොයා ගෙන යනවා. උදාහරණයක් විදිහට ඉතිහාස විෂයට අදාළව “අතීතයේ ලංකාවේ දියුණු යකඩ නිෂ්පාදන කර්මාන්තයක් තිබුණා, ඒ වන විට ලොව ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරවල ඒ දැනුම තිබුණේ නෑ, ඒ නිසා එය සුවිශේෂයි” කියලා බෙලිහුල්ඔය වැනි ප්‍රදේශයකට ක්ෂේත්‍ර චාරිකාවක් ගොස් දරුවාට පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඔහු ඒ පිළිබඳ සෙසු කරුණු සොයා ගැනීමට කුතුහලයෙන් යුතුව කටයුතු කරනවා.

එහෙත් අපේ රටේ වෙන්නේ විශාල කරුණු සම්භාරයක් ළමයාට කට පාඩම් කරවලා නැවත විභාගයකින් ඒවා පරික්ෂා කිරීමයි. එය ළමයාට විශාල වදයක්. ඒ වගේ ම අර දැනුමත් කෙටි විභාග සඳහා ලකුණු ගන්න අවශ්‍ය දෙයක් විදිහට ළමයා සලකනවා. මේ ක්‍රමය වහා වෙනස් විය යුතුයි. එමගින් අපේ සමාජයේ මුල් බැස ඇති දිගු කාලීන ආතතියට හේතු වන මූලික සාධකය සමාජයෙන් ඉවත් කළ හැකියි.

අධ්‍යාපන ක්‍රමයට අමතරව අප ආතතියට ලක් කරන සෙසු සාධක මොනවා ද?

අපේ සමාජයේ මුදලට ලැබී ඇති අසීමිත වටිනාකම සහ මුදල පසුපස හඹා යාම නිසා සියලු දෙනා ආතතියට ලක්වෙලා. බොහෝ දෙනා ජීවිතය මුදල් බවට පත් කරගෙන ඒ පිටුපස දුවනවා. අපේ ජීවිත අරමුණු සිමෙන්ති සහ යකඩ බවට පත්වෙලා. අපි අනෙකාගේ සැප සම්පත් දෙස බලමින් අප ළඟ ඇති සම්පත් අවතක්සේරු කරමින් නිරර්ථක තරගයක පැටලිලා. අල්ලපු ගෙදර වාහනේ අපේ එකට වඩා ලොකු නම් ඒක අපට ප්‍රශ්නයක්. අපේ ගෙදරට වඩා අල්ලපු ගෙදර තට්ටු ගණන වැඩි නම් එය අපට ප්‍රශ්නයක්. අපේ සතුට ඇත්තේ මේ සිමෙන්ති සහ යකඩ ගොඩවල්වල ද කියලා අපි හිතන්න ඕන. බොහෝ විට අප තුළ ඇති සතුට නොදැක ව්‍යාජ අරමුණු පිටුපස දුවනවා. අනෙකා සමග තරගයට සිමෙන්ති ලෝහ රැස් කරනවා. ලෝකයට ණය වෙනවා. ඒ නිසා හෙම්බත් වෙනවා. අපේ සාම්ප්‍රදායික සරල අල්පේච්ඡ ජීවන රටාව වෙනුවට ආදේශ වූ පෞද්ගලිකත්වය පදනම් කරගත් පාරිභෝගිකවාදී මේ නව ජීවන රටාවෙන් ඈත් වී අප නැවත ලද දෙයින් සතුටු වන ජීවන ක්‍රමය වෙත යා යුතුයි. එවිට අද අප අත්දකින මේ ආතති තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව ලැබෙනවා.

උපදෙස් විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක‍
පළාත් මහ රෝහල
රත්නපුර