රිය අනතුරකට ලක් වූ අයකු මෙහෙම ඔසවන්න

(කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය පී.කේ.අයි. විජේගුණවර්ධන මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

මාර්ග අනතුරු අද ඉතාම බහුලය. දිනකට ලංකාවේ සියයකට අධික රිය අනතුරු සිදුවන අතර ඉන් 7 දෙනෙකුට ජීවිත අහිමි වෙයි. විශාල පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයට වෙයි. හෙට දින ඔබ ඉදිරියේ ඔබේ සමීපතමයෙකු හෝ වෙනත් අයෙකු හෝ රිය අනතුරකට ලක් වුව හොත් අනුගමනය කළ යුතු ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳ දන්නවා ද? මේ ඒ පිළිබඳ ඔබ දැනුම්වත් කරන ලිපියකි.

එවැනි අවස්ථාවක ඔබ අනුගමනය කළ යුතු මූලික කරුණු ඉංග්‍රීසි හෝඩියේ A , B , C යන අනුපිළිවෙළට දැක්විය හැකිය. මෙම අනුපිලිවෙල සකසා ඇත්තේ රෝගියාගේ ජීවිත අවදානම සැලකිල්ලට ගෙනය.

A – Airway and cervical spine (ශ්වසන මාර්ගය සහ ගෙල ප්‍රදේශයේ කශේරුව)

ඔබ ඉදිරියේ කිසිවකු අනතුරකට පත් වූයේ නම් පළමුව සැලකිලිමත් විය යුත්තේ ඔහුගේ ශ්වසන මාර්ගය හා ගෙල පිළිබඳවයි. නාසය හා මුඛය පරීක්ෂා කොට අවහිරතා ඇත්නම් පරිස්සමෙන් ඉවත් කළ යුතුයි. එමෙන්ම ගෙල ප්‍රදේශයේ කශේරුකාවට හානි වී ඇති ද යන්න සොයා බැලීමත් වැදගත්. තුවාලකරුගේ ගෙල ප්‍රදේශයේ හිරිවැටීමක හෝ වේදනාවක ලක්ෂණ පෙන්නුම් කරයි නම් සිහි මද ගතියක් පෙන්නුම් කරයි නම් ගෙල ප්‍රදේශය නොසෙල්වා ඍජුව පවත්වා ගැනීම අතිශයින් වැදගත්.

B – Breathing (හුස්ම ගැනීම)

දෙවනුව රෝගියා හුස්ම ගන්නවා ද නැද්ද යන්න පිළිබද සැලකිලිමත් විය යුතුය. එහි දී රෝගියාගේ ශ්වසනය සිදුවන්නේ දැයි පහත සඳහන් ආකාරයට රෝගියා පරික්ෂා කර “බලා අසා දැන” තහවුරු කර ගත හැකිය.

රෝගියා හුස්ම නොගන්නේ නම් කෘත්‍රිම ශ්වසනය ලබා දීමට කටයුතු කරන්න. ඔබ කෘත්‍රිම ශ්වසනය පිළිබඳ දැනුමක් ඇති අයකු නම් කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකිය. එසේ නොමැති නම් දැනුවත් අයෙකුගේ උදව් ඉල්ලා සිටිය යුතු වේ.

C – Circulation (රුධිර සංසරණය)

C – තෙවනුව රුධිර සංසරණය පිළිබඳ සැලකිලිමත් වන්න. බාහිර රුධිර වහනයක් සිදු වේ දැයි පරිත්ෂා කොට අධික ලෙස බාහිර රුධිර වහනයක් වේ නම් පීඩනයක් යෙදීමෙන් (උදා. රෙදි කඩකින් වෙලීම) රුධිර වහනය අවම කිරීමට උත්සාහ කරන්න. නමුත් ඉතා ඉහල පීඩනයක් ඇති වන සේ වෙලීම නොකළ යුතුයි.

රෝගියා එසවීම

රෝගියා අනතුර සිදු වූ ස්ථානයෙන් ඉවතට ගැනීමත් බොහෝ ප්‍රවේශමෙන් සිදු කළ යුතු ක්‍රියාවලියක් වේ. අනතුරකට ලක්වූ අයෙකු අනවශ්‍ය ලෙස සෙලවීම ඉතා නුසුදුසු කටයුත්තකි. රෝගියා වැරදි ඉරියව් කරා යොමු වීමෙන් විවිධ සංකුලතා  ඇති විය හැකිය. කොටයක් පෙරලන ආකාරයට (log rolling) සෙලවීම් අවම කර වන පරිදි රෝගියා එම ස්ථානයෙන් ඉවත් කර ගත හැකියි. කොඳු ඇට පෙළ සහ ගෙල ඍජුව පවතින ආකාරයට රෝගියා තනි ඒකකයක් ලෙස චලනය කිරීම මෙහිදී සිදු කෙරේ. මේ සඳහා පුද්ගලයන් හතර දෙනෙකුගේ සහාය අවශ්‍ය අතර රෝගියාගේ හිසේ සිට පාද දක්වා ඍජුව තබා ගැනීමට උත්සාහ කළ යුතු වේ.

රෝහලට රැගෙන යාම

රෝගියා රෝහලක් කරා රැගෙන යන පිළිවෙළ ගැන මී ළඝට අවධානය යොමු කරමු. එහි දී රෝගියාගේ කොඳු ඇට පේලිය ඍජුව තිබෙන ආකාරයට යාම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙයි. වෛද්‍ය කණ්ඩායම් මෙවැනි අවස්ථාවක භාවිත කරනුයේ  “spinal board”  නම් වූ පහත රූපයේ  දැක්වෙන උපාංගයයි.

Spinal board එකක් නොමැති නම් ඒ සඳහා ආදේශ කළ හැකි ලෑල්ලක් මත, වෑන් රථයක දිග අසුනක් මත, ලොරි තට්ටුවක් මත වැනි ඍජු මතුපිටක තබා රෝගියා ප්‍රවාහනය කිරීම මගින් කොඳු ඇට පේලියට සිදුවිය හැකි හානි වළක්වා ගත හැකිය. කොන්ද නමා ගෙන සිටින ඉරියව්වක රෝගියා ප්‍රවාහනය නොකළ යුතුය.

රෝද තුන අවදානම්

මෙවැනි අවස්ථාවක ත්‍රී රෝද රථ රියදුරු මහතුන් උපකාර කිරීමට පැමිණීම මෙන්ම බොහෝ දෙන හදිස්සියට ළඟ තිබෙන ත්‍රී රෝද රථයක රෝගියා රැගෙන යාම ද අද බහුලව දක්නට ලැබෙයි. කශේරුවට හානි වී ඇති රෝගියෙකු එලෙස රැගෙන යාම රෝගියාගේ ජීවිත අවදානම ඉහළ දමන අතර නැතිනම් සදාකාලික ආබාධිත තත්වයකට ඇද දමනු ඇත. එවැනි අක්‍රමවත් ප්‍රවාහන මාධ්‍ය නිසා අස්ථි බිදුම් යළි ප්‍රකෘතිමත් කළ නොහැකි තත්වයකට පත් විය හැකි අතර ශ්වසන පද්ධතිය අවහිර වී මිය යාම ද සිදු විය හැකිය.

රිය අනතුරකට මුහුණ පෑ රෝගියකුගේ යහපත උදෙසා ඔබ නොකළ යුතු කටයුතු මෙලෙස සාරාංශ කළ හැකිය.

  • රෝගියා අනවශ්‍ය ලෙස චලනයට  භාජනය නොකළ යුතුය.
  • රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර වන සේ ප්‍රවාහනය නොකළ යුතුය.
  • රෝගියා කොඳු ඇට පෙළ නැමී සිටින සේ ප්‍රවාහනය නොකළ යුතුය.
  • රෝගියාට ආහාරපාන වර්ග ලබා නොදිය යුතුය.
  • අනවශ්‍ය ලෙස තුවාල වූ ස්ථාන ස්පර්ශ නොකළ යුතුය.

උපදෙස්
 වෛද්‍ය පී.කේ.අයි. විජේගුණවර්ධන
හදිසි අනතුරු අංශය
කොළඹ ජාතික රෝහල

සටහන: උදානි නෙත්මිණි