අකලට හිස කෙස් සුදු වීම වළක්වන්න පුළුවන්

(දොම්පෙ, දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය සම්පත් කුලතිලක මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

හිස කෙස් යනු කෙනෙකුගේ පෙනුමට මෙන් ම පෞර්ෂත්වයට වැදගත් වන්නකි. හිස කෙස්වල පැහැය ලැබෙන්නේ මෙලනින් වර්ණක සෛල මඟිනි. මෙම වර්ණක ප්‍රමාණයෙන් වැඩි වන විට හිස කෙස්වල පැහැය වැඩි වන අතර අඩු වන විට එහි පැහැය අඩුවේ.

වයස්ගත වීමත් සමඟ හිස කෙස් සුදුවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය සිදු වන්නේ හිස කෙස්වල පැහැයට මූලික වන මෙලනින් වර්ණය නිපදවන සෛලවල ක්‍රියාකාරීත්වය වයස්ගත වීමත් සමඟ දුර්වල වීම නිසාය.

නමුත් නිසි වියට පෙර හිස කෙස් සුදු වීම අසාමාන්‍ය තත්ත්වයකි. මෙම තත්වය අකලට හිස කෙස් පැසීම ලෙසින් හැඳින්වේ. අකලට හිස කෙස් පැසීම ඇතැම්විට කුඩා දරුවන්ගේ පවා කුඩා වියේ දී ම හිස කෙස් පැසීම දක්නට හැකිය.

අකලට හිස කෙස් සුදු වීම නිසා වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති කරයි. මෙය තරුණ තරුණියන් මානසිකව පීඩාවට පත් කරනා ගැටලුවකි.

අකලට හිසකෙස් සුදුවීමට බලපානා හේතු මොනවාද?

ජානමය හේතු – බොහෝ විට දරුවකුගේ හිස කෙස්වල පැහැය සහ ස්වභාවය සිය පවුලෙන් හිමිවන ජානමය උරුමයකි. එබැවින් හිසකෙස් අකලට පැසීම ද ජානමය ලෙස සිදු විය හැකිය. මවගේ හෝ පියාගේ අකලට හිසකෙස් පැසී ඇත්නම් සිය දරුවන්ගේ ද හිස කෙස් අකලට පැසීම සිදු විය හැකිය. මෙය හුදෙක් පරම්පරික ජානමය හේතු නිසා සිදු වන්නක් මිස සෞඛ්‍ය තත්වයෙහි අසාමාන්‍යතාවක් නොවේ.

පෝෂණ ඌණතාව – හිස කෙස් වර්ධනයටත් මෙලනින් සෛල නිපදවීමට සහ මනා පැවැත්ම සඳහාත් බලපාන විටමින් බී12, විටමින් ඊ, යකඩ අඩුබව නිසා ද හිස කෙස් අකලට සුදු විය හැකිය.

මතට ඇබ්බැහි වීම – දුම් බීම, මත්පැන් පානය, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය ද හිස කෙස් පැසීමට බලපායි. නමුත් මතට ඇබ්බැහි වීම හිස කෙස්වලට පමණක් නොව සමස්ත සිරුරටම හානිකර බව ද පැවසිය යුතුය.

කෘත්‍රිම ආලේපන භාවිතය – විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ප්‍රමිතියකින් තොර ව නිපදවන ලද තෙල් වර්ග, ෂැම්පු, හෙයා ජෙල්, හෙයා ස්ප්‍රේ භාවිත කිරීම හිස කෙස්වල සාරවත් බව විනාශ වීමට ප්‍රධානතම හේතුවකි.

නොසැලකිලිමත් බව‍ – දූවිලි, දහඩිය තැම්පත් වුණු පසු හිසකෙස් මනාව නොසේදීම. හිස් කබලට සහ කේෂ මූලයට පෝෂණීය තෙල් සත්කාරයක් නොකිරීම.

ක්ෂණික ආහාර – කිසිදු ගුණාත්මක බවකින් තොර රසකාරක අඩංගු ක්ෂනික ආහාර බහුලව ආහාරයට ගැනීම.

පීනස – දීර්ඝ කාලීනව පවතින පීනස රෝග තත්වය ද අකලට හිස කෙස් පැසීමට බලපායි.

ඖෂධ – වෙනත් රෝග සඳහා දිගු කාලීනව භාවිත කරන ඖෂධවල අතුරු බලපෑමක් ලෙස ද අකලට හිස කෙස් සුදු විය හැකිය.

මානසික ආතතිය – එසේම දැඩි මානසික ආතතියෙන් පීඩා විදීම ද මේ සඳහා බලපායි.

රූපලාවන්‍ය කටයුතු – තාවකාලික ප්‍රතිඵල ගෙනෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය පමණ ඉක්මවා පාවිච්චි කිරීම.

අකලට හිස කෙස් පැසීම වළක්වා ගන්නේ කෙසේ ද?

      • වෛද්‍ය උපදේශ මත මෙලනින් වර්ණය නිපදවන සෛල වර්ධනය කරවන විටමින් භාවිත කිරීම
      • යකඩ, ප්‍රෝටීන් අඩංගු මනා පෝෂදායී ආහාර දිනපතා ලබාගැනීම
      • දුම් බීමෙන්, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
      • නැවුම් පලතුරු සහ පලා වර් ග නිරන්තරයෙන් ආහාරයට ගැනීම
      • කෘත්‍රිම ආලේපන වෙනුවට ස්වාභාවික ශාකසාර ඇසුරින් නිපදවන පොල් තෙල්  හෝ තැඹිලි තෙල් හිස ගැල්වීම
      • පීනස රෝගයෙන් පෙළෙන්නේ නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම

    උපදෙස්

    වෛද්‍ය සම්පත් කුලතිලක
    දිස්ත්‍රික් රෝහල දොම්පෙ
    සටහන – රසී විතානගේ