ගැබිනි කාලයේ උදරයේ ඇති වන කැළැල් සුවපත් කළ හැකි ද?

(වෛද්‍ය චන්න අශෝක රත්නායක මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසිරිනි)

 සිරුරේ ඇති වන කැලැල් එහෙම නැත්නම් Stretch mark කියන්නේ කුමන තත්ත්වයක් ද?

සම මත විවිධ ප්‍රදේශවල ඇති වන දිගටි හැඩයෙන් යුතු සලකුණු විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ දී Striae gravidarum හෝ Striae distensae ලෙස ද හඳුන්වනවා. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවක ඕනෑම කෙනෙකුගේ සිරුරේ මේ තත්ත්වය ඇති විය හැකියි. මේවා එක එක අයගේ සම අනුව විවිධ පැහැයන් ගන්නවා. බොහෝ විට සමේ පැහැයට වඩා ලා පැහැයෙන් යුක්තයි.

මෙය රෝග තත්ත්වයක් නෙමේ ද?

නැහැ, මෙය රෝගයක් නොවේ. නමුත් මෙය විවිධ රෝග වලදී රෝග ලක්ෂණයක් ලෙස මතුවිය හැකියි. හොඳ උදාහරණ ලෙස කුෂිං සින්ඩ්‍රොම්, මාර්ෆාන් සින්ඩ්‍රොම් වැනි ජාන සම්බන්ධ රෝග දැක්විය හැකියි.

මෙම තත්ත්වය ගැබිනි මව්වරුන් අතර බහුලයි නේද?

ඔව්, සුලබයි. ගර්භණී කාලයේ 50 – 90% දෙනකුගේ පමණ දක්නට හැකියි. 6 -7 මාසවල සිට පමණ තමයි බහුලව ඇති වන්නේ. ගර්භණී කාලයේ හෝමෝන වෙනස්කම් සමග සීඝ්‍රයෙන් සම  ඇදීමට ලක් වීම මේවා ඇති වීමට හේතු වෙන්න පුළුවන්. ප්‍රසූතියෙන් පසු මේ සලකුණු  බොහෝ විට ඉබේම කෙමෙන් මැකී යනවා.

මෙම තත්ත්වය වැඩි පුර ඇති වන්නේ සිරුරේ කුමන ප්‍රදේශවල ද?

මේවා වඩාත්ම දක්නට ලැබෙන්නේ සිරුරේ බඩ, පපුව, පියයුරු, උකුල, තට්ටම් හෝ කලවා ප්‍රදේශවලයි.

ඇතැම් අයගේ සම පහසුවෙන් මෙම තත්ත්වයට පත් වීමට හේතු මොනවා ද?

කාන්තාවක් වීම, ස්ථුලතාව, ගර්භණීභාවය, ක්ෂණික බර අඩු හෝ වැඩි වීම, සමහර ඖෂධ, පියයුරු වර්ධන ප්‍රතිකාර ක්‍රම සහ සමහර ජානමය රෝග ඒ සඳහා හේතු වෙනවා. මේ තත්ත්වය ඔබේ ඥාතීන් අතර ඇත්නම් එය ඔබට ඇති වීමේ සම්භාවිතාව වැඩියි.

මෙම තත්ත්වය ඇති වීමේ අවදානම අවම කර ගැනීමට හෝ ඇති වූ තත්ත්වය පාලනය කර අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තිබේද?

ක්ෂණික බර වැඩි වීම මෙන්ම අඩුවීම ද නිසා මෙම කැලැල් ඇති විය හැකියි. එහි දී සම ඇදීමට ලිහිල් වීමට භාජනය වීම ඊට හේතුවයි. ගර්භණී කාලයේ එය සිදුවෙනවා. ඒ වගේ ම වැඩිවියට පත් වන කාලයේ කලවා, පියයුරුවල ඇති වන වේගවත් වර්ධනය නිසාත් එම තත්ත්වය ඇති විය හැකියි.

ඒ නිසා ගර්භණී කාලයේ, ළමයින් වැඩිවිය පත්වන කාලයේ මේ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. සිරුරේ බර ප්‍රශස්ත ලෙස පාලනය කර ගැනීම වැදගත්. ගර්භණී කාලයේ දී සතිපතා බර මැනීම හා  ආහාර වට්ටෝරුව ගැලපෙන ලෙස වෙනස් කර ගැනීම වැදගත්.

ඒ වගේම ස්ටීරොයිඩ් හෝමෝන කාණ්ඩයට අයත් ඖෂධ භාවිත කරන අයටත් මේවා ඇති වන්න ඉඩ තිබෙනවා. සමහර කාය වර්ධන ක්‍රීඩකයන් මෙම කාණ්ඩයේ ඖෂධ භාවිත කරනවා. ඒ වගේ ම ඇදුම රෝගීන් සඳහා දිගු කාලීන  ප්‍රතිකාර ලෙසත් ඒවා භාවිත කරනවා. ඒ අයටත්  මෙම තත්ත්වය ඇති විය හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ව්‍යායාමවල යෙදීම මෙම තත්ත්වය පාලනය කිරීමට උපකාරී වෙනවා.

අපේ ආහාර රටාව ඒ සඳහා කරන බලපෑම කුමක් ද?

සමේ නිරෝගී පැවැත්ම සඳහා අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර ගැනීමත් අපේ අවදානයට යොමු විය යුතු කාරණාවක්. උදාහරණයක් විදිහට විටමින් C, D, E, සින්ක් සහ ප්‍රෝටීන සමේ නිරෝගී පැවැත්මට අවශ්‍ය කරනවා.

සිරුරේ කොලැජන් (Collagen) නිෂ්පාදන ක්‍රියාවලියට විටමින් C වැදගත් වෙනවා. කොලැජන් කියන්නේ සමෙහි සහ සම්බන්ධක පටකවල සැකිල්ල සාදන ප්‍රධාන ප්‍රෝටීනයයි. විටමින් C බොහෝ පළතුරු සහ එළවළවල බහුලයි. ආහාර පිළියෙළ කිරීමේ දී ඒවා විනාශ නොවන පරිදි සැකසීම ද වැදගත්.

විටමින් D උදෑසන හිරු එළියට සම නිරාවරණය කිරීමෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සින්ක් කජු සහ වෙනත් මද සහිත ඇට වර්ගවල ද මාළුවල ද අඩංගුයි.

අප පානය කරන ජල ප්‍රමාණය මෙම තත්ත්වය කෙරෙහි බලපාන්නේ කෙසේ ද?

සමට අවශ්‍ය පමණට ජලය ලැබීම මෙම තත්ත්වය පාලනය කිරීමට ඉවහල් වෙනවා. වියළි සම මත මෙම ඉරි ඇති වීම පහසුවෙන් සිදුවෙනවා. ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය හා දියර වර්ග පානය කිරීමත් වැදගත්.

කැෆේන්  අඩංගු කෝපි වැනි දේවලින්  සම වියලීම වැඩි වන බැවින් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසුයි. නිතර කෝපි පානය කරන්නේ නම් ඊට සරිලන ලෙස ජලය හෝ අනිකුත් දියර වර්ග ගැනීම මගින් සමේ තෙතමනය රඳවා ගැනීම වැදගත්.

සිරුරේ තව දුරටත් අලුතින් ඉරි ඇති වන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

අලුතින් ඉරි ඇති වන්නේ නම් ඔබේ වෛද්‍යවරයා ලවා පරික්ෂා කරවා ගෙන ඊට විශේෂිත වූ හේතු තිබේ දැයි දැන ගන්න පුළුවන්. එවිට ඒ අනුව ප්‍රතිකර්ම සකසා ගැනීම කළ හැකියි.

මේ සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා ද?

පෙර සඳහන් කළ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා වඩා සුදුසු ප්‍රතිකර්වලට අමතරව ආලේපන වර්ග භාවිතයෙන් ද යම් තරමකට එම කැලැල්වල පෙනෙන ගතිය අඩු කර ගන්න පුළුවන්.

මේ සඳහා බහුලව භාවිත කරන ආලේපන ඖෂධ වන්නේ රෙටිනොයිඩ කාණ්ඩයේ ක්‍රීම් වර්ගයි. මේවා විටමින් A පාදක කර නිපදවූ ආලේපන වන අතර අතුරු ප්‍රතිඵල සහිත බැවින් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට ගත යුතුයි. විශේෂයෙන් ගර්භණී කාලයේ එම ආලේපන භාවිත කරන්නේ නම් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

මීට අමතරව ග්ලයිකොලික් අම්ල පාදක කරගත් ආලේපන හා ලේසර් ප්‍රතිකාර ද තිබෙනවා. මේ සියල්ල වෛද්‍ය උපදෙස් මත කළ යුතුයි. ඒවා තරමක් මිල අධික ප්‍රතිකාර කියලත් සිහිපත් කළ යුතුයි.

වෛද්‍ය චන්න අශෝක රත්නායක
සටහන : එම්. ජේ. නානායක්කාර