දෙයියන්ගේ ලෙඩට දියනෑම අගුණ ද?

(වේයංගොඩ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය වෛද්‍ය හේමානි රණවීර මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

දෙයියන්ගේ ලෙඩ ලෙස සාමාන් ව්යවහාරයේ හැඳින්වෙන රෝගී තත්ත්ව මොනවා ද?

බොහෝ දෙනා අතීතයේ පටන් දෙවියන්ගේ ලෙඩ නමින් හදුන්වන රෝග කිහිපයක් දැකිය හැකියි. මෙම රෝගී තත්වයන් වෛද්‍ය විද්‍යානුකුලව හඳුනා ගැනෙන්නේ පැපොල (Chickenpox), සරම්ප (measles) හා කම්මුල්ගාය (mumps) යන රෝග විදිහටයි.

එම රෝග සඳහා හේතු වන රෝග කාරක මොනව ද?

මෙම රෝගී ත්‍රිත්වයම වෛරස ආසාදන වන අතර පැපොල රෝගය සඳහා හේතු වන රෝග කාරක වෛරසය varicella zoster virus  , සරම්ප රෝගය සඳහා හේතු වන රෝගකාරක වෛරසය measles virus , කම්මුල්ගාය සඳහා හේතු වන රෝග කාරක වෛරසය mumps virus යන නම්වලින් ද හැඳින්වෙනවා.

මෙම රෝග “දෙයියන්ගේ ලෙඩ“ ලෙස අතීතයේ පටන් හැඳීන්වීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක් ද?

මෙම රෝගවල එකිනෙකට ආවේනික මෙන්ම බාහිරින් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි රෝග ලක්ෂණ දැකගත හැකියි. බොහෝ විට ගැමියන් ඒවා අසාමාන්‍ය ලක්ෂණ ලෙස දකින්නට ඇති. එමෙන්ම හිටිහැටියේ රෝගාතුර වීම, ටික දිනකින් රෝග ලක්ෂණ සමනය වීම සහ ඇතැම් අතුරු විපාක නිසා ඔවුන් මෙම රෝග අදෘශ්‍යමාන බලවේග නිසා ඇති වන බව සිතන්නට ඉඩ තිබෙනවා. ඒ වගේ ම ඔවුන් මේ රෝග සඳහා විවිධ ප්‍රතිකර්ම අත්හදා බලන්නත් කටයුතු කරන්න ඇති.

මෙම රෝග තුනෙහි රෝගී ලක්ෂණ වෙන වෙනම සදහන් කළ හැකි ද?

පැපොල රෝගය (chicken pox)

විඩාබර ගතියක් සමග සමේ බුබුළු මතුවීමට පටන් ගන්නවා. ඒවා ඉක්මනින් රෝස පැහැ පාදමක වතුර වැනි පැහැදිලි දියරයක් පිරි බුබුළු බවට පත් වී අනතුරුව සැරව බවට පත් වී පිපිරී යයි. ඊ ළඟ දින කිහිපය තුළ එම තුවාල සුව වන අතර ඇතැම් විට කැළැල් ඉතිරි විය හැකිය. මෙම බුබුළු පොදි ලෙස හට ගන්න අතර බොහෝ විට කසන සුළු වේ. ඒවා සිරුරේ කඳ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන අතර අත් පාවල අඩුවෙන් දක්නට ලැබේ. උණ ගතියක් පැවතීමට හෝ නැතිවීමට පුළුවන.

සරම්ප රෝගය (measles)

උණ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇස් රතු වීම යන ලක්ෂණවලින් ආරම්භ වේ. මුඛයේ ශ්ලේෂ්මලය තුල koplik’s spots නම් වූ රතු පැහැ මායිමක් සහිතව අල්පෙනිති තුඩු ප්‍රමාණයේ සුදු පැහැ ලප ද දැකිය හැකියි. දින කීපයකින්  පසුව රතු පැහැ දහදිය බිබිලි වැනි පළු ශරීරයේ දක්නට ලැබෙනවා.

කම්මුල් ගාය (mumps)

පැරෝටිඩ් ඛේට ග්‍රන්ථි වේදනාකාරී ලෙස ඉදිමීම සමග ආහාර සැපීම, මුඛය ඇරීම අපහසු වේ. කම්මුල් ඉදිමීම බොහෝ විට දෙපැත්තේම සිදු වන අතර ඇතැම් විට එක පැත්තක පමණක් ඉදිමීම ද දැකිය හැකියි. මේ සමගම උණ සහ හිසරදය ඇති වේ.

මෙම රෝග බෝ වනවා ද?

ඔව්. මෙම රෝග තුනෙහි ම රෝග කාරක වෛරස රෝගියෙකුගේ සිට නිරෝගි පුද්ගලයෙකුගේ ශරීරයට ශ්වසන මාර්ගය ඔස්සේ ඇතුළු විය හැකියි. වෛරසය ශරීරගත වූ දිනයේ සිට රෝග ලක්ෂණ ඇති වීම දක්වා කාලය එක් එක් රෝගය සඳහා වෙනස්වේ.

ඒ ඒ වෛරස ශරීරගත වීමට සහ රෝග ලක්ෂණ ප්‍රකට කිරීමට ගත වන කාලය දැක්විය හැකිද?

පැපොල – වෛරසය ශරීරගත වී දින 14-16 ක කාලයකට පසු රෝග ලක්ෂණ ඇති වේ.

සරම්ප – වෛරසය ශරීරගත වී දින 7- 14 ක කාලයකට පසු රෝග ලක්ෂණ ඇති වේ.

කම්මුල් ගාය – වෛරසය ශරීරගත වී දින 16- 18 ක කාලයකට පසු රෝග ලක්ෂණ ඇති වේ.

මෙම රෝග නිසා ඇති විය හැකි සන්කූලතා මොනවා ද?

පැපොල – නිව්මෝනියාව, සමේ ඇති වූ තුවාල ආසාදනයට ලක් වීම , මොලේ උණ , විජලනය ආදිය ඇති විය හැකිය. ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට විශේෂයෙන් හානිදායක වේ.

සරම්ප රෝගය – නිව්මෝනියාව, කනේ ආසාදන, ඇස් ලෙඩ ඇති විය හැකි අතර කුඩා දරුවන්ට අධික උණ ගතිය සමග අපස්මාර තත්ත්වය ඇති විය හැකි ය.

කම්මුල් ගාය රෝගය – වැඩි විය පැමිණෙන වයසේ පිරිමි දරුවෙකුට වැළදුන විට වෘෂණ කෝෂ  ආසාදනයක් ඇති විය හැකිය. මොලේ උණ , බිහිරි බාවය ආදිය ද  මෙම රෝගය නිසා ඇති විය හැකියි.

මෙම රෝග සඳහා දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මොනවා ද?

රෝගය වැළදීමට ප්‍රථම,

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ MMR එන්නත වයස මාස 09 න් සහ අවුරුදු 3 න් දෙනු ලැබේ. එමගින් සරම්ප, කම්මුල් ගාය යන රෝගකාරක සඳහා අදාළ ප්‍රතිශක්තිය ලබා දෙයි. පැපොල සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත මෙම වැඩසටහනට ඇතුලත් නොවන අතර වෛද්‍ය උපදෙස් පරිදි පෞද්ගලික අංශයෙන් එන්නත ලබා ගත හැකිය.

රෝග ලක්ෂණ පවතී නම්,

වෛද්‍යවරයෙකු හමු විය යුතු අතර රෝගියාගේ තත්ත්වය  (ගර්භණී / ප්‍රතිශක්ති ඌනතා / බරපතළ රෝගී ලක්ෂණ ආදිය) පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඖෂධ අවශ්‍ය නම් පමණක් නියම කෙරෙනු ඇත.

මෙම රෝග වැළඳුණු විට ස්නානය නතර කළ යුතු ද?

මෙම රෝග වැළඳුණු විට ස්නානය නුසුදුසු බවට මිත්‍යා  මතයක් ජනතාව අතර තිබෙනවා. එහි කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. උණ තත්වයක් නොපවතී නම් ස්නානය සිදුකළ හැකියි.

රෝගියා රැක බලා ගත යුත්තේ කෙසේ ද?

    • රෝගියා නිවසේ අන් අයගෙන් වෙන්ව තබා ගත යුතුයි. (isolation)
    • විජලනය වැළැක්වීමට පානය සදහා දියර  වර්ග හොදින් ලබා දිය යුතුයි.
    • කෑම පාලනයක් සිදු නොකළ යුතු අතර රෝගියාට හොද පෝෂණයක් ලබා දිය යුතුයි.
    • පැණි රස කෑම වර්ග වැඩිපුර ලබා දීම සුදුසුය.

උපදෙස්
වෛද්‍ය හේමානි රණවීර
ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය
වේයන්ගොඩ

සටහන – උදානි නෙත්මිණි