වඳ නොවී ඉන්න දැනගෙන කන්න

අජිනමොටෝ

ඇතැම් ආපනශාලාවල “MSG අඩංගු නැත” යනුවෙන් ලොකු අකුරින් ලියූ පුවරු ප්‍රදර්ශනය කරනු දැකිය හැකිය. ඔවුන් මේ ඔස්සේ පාරිභෝගික ජනතාවට කීමට උත්සාහ කරන්නේ සිය ආහාරවල Mono-sodium glutamate (MSG) අජිනමොටෝ අන්තර්ගත නොවන බවය. එම ව්‍යාපාරිකයෝ තමන් ආහාර සඳහා අජිනමොටෝ එකතු නොකරන බව ද ඒ වෙනුවට අහවල් සුප් පවුඩර් වර්ගය භාවිත කරන බව ද ආඩම්බරෙන් කියති. එහෙත් එම සුප් පවුඩර් වර්ගවල ද අජිනමොටෝ ඇතුළත් බව බොහෝ දෙනා නොදනිති.

ජීවන රටාව සහ ආහාර රටාව

මේ වන විට කාර්යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනා නිවසේ ආහාර සකස් කර ගනු වෙනුවට පිටතින් ආහාර ගැනීමට පුරුදු වී සිටිති. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ආප්ප ආදිය ඒ අතර ප්‍රමුඛ වෙයි. මෙම ආහාරවල බෙහෙවින් අන්තර්ගත වී ඇත්තේ පිටි, ලුණු, තෙල්, සීනි, රසකාරක, කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය ආදියයි. අපේ රටේ සාතිශය බහුතරයකගේ උදේ ආහාරය එක එක රසට සැකසූ තිරිඟු පිටි නිෂ්පාදනය. අඩු වැඩි වී ඇත්තේ තෙල්, ලුණු හා සීනි ඇතුළත් වන ප්‍රමාණයයි.

පාන්පිටි කෑම

තිරිඟු පිටිවලට යොදන විරංජනකාරක (සුදු පැහැ ගැන්වීමේ රසායන) ගැන බොහෝ දෙනා දැනුම්වත් නැත. තිරිඟු පිටිවල සුදු පැහැය ලබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කෙරේ. ඒ සඳහා භාවිත ක්ලෝරීන් වායුව භාවිත කිරීමේ අතුරු ඵලයක් ලෙස Alloxan නම් අතුරුඵලය නිෂ්පාදනය කෙරේ. එය තිරිඟු පිටි සමග මිශ්‍ර වෙයි. Alloxan අතුරුඵලය ඉතාම පහසුවෙන් මුක්ත ඛණ්ඩක (Free radicals) නිර්මාණය කර ගෙන අග්න්‍යාශයේ බීටා සෛල විනාශ කළ හැකිය. මිනිස් සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ අග්න්‍යාශය නිසා වැඩිපුර තිරිඟු පිටි ආහාරයට ගැනීම යනු  දියවැඩියාවට අත වැනීමකි. විරජංනකාරක යෙදූ තිරිඟු පිටි සහ දියවැඩියාව අතර සම්බන්ධය මේ වන විටත් විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කොට තිබේ.

හෘදයාබාධ කොලෙස්ට්‍රෝල්

අද ලොව භයානකම මිනිස් ඝාතකයා හෘදයාබාධයි. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව අපේ රටේ මරණවලින් 26%කට හේතුව කිරීටක හෘදයාබාධය. ලෝකයේ හෘදයාබාධ නිසා වැඩි පුරම මිනිසුන් මිය යන රටවල් අතර 31 වෙනි ස්ථානය ලංකාවට හිමි වී තිබේ. මේ හෘදයාබාධවලට මූලික හේතුව කොලෙස්ට්‍රෝල්ය.

කිසිම ශාඛ තෙල් වර්ගයක කොලෙස්ට්‍රෝල් නොමැති අතර සත්ව තෙල්වල කොලෙස්ට්‍රොල් අඩංගු වෙයි. ඒවා මිනිස් ශරීරය තුළම නිෂ්පාදනය කෙරේ. පොල් තෙල් නොව ඕනෑම තෙල් වර්ගයක් වැඩිපුර ආහාරයට ගැනීම සිරුරේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාමට හේතුවකි. එසේම බෙහෙවින් තිරිඟු පිටි ආහාරයට ගැනීම ද සිරුරේ කොලෙස්ට්‍රෝල් නිෂ්පාදනය කිරීම ඉහළ යාමට හේතුවකි. වෛද්‍ය විද්‍යාවේ දී de novo lipogenesis (අමතර කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත්වීමේ ක්‍රියාවලිය) යනුවෙන් හඳුන්වන්නේ එම ක්‍රියාවලියයි.

කෙසේ වුව ද අපේ ශරීරයේ වැදගත් කටයුතු කිහිපයක් සඳහා ම කොලෙස්ට්‍රෝල් උවමනා වෙයි. සෛල ව්‍යුහය පවත්වා ගැනීම, හෝමෝන ක්‍රියාකාරීත්වය, මේද සහ විටමින් අවශෝෂණය, ආහාර ජීර්ණය ඒ අතර ප්‍රමුඛ වෙයි. එහෙයින් වැදගත් වන්නේ සිරුරේ පැවතිය යුතු මට්ටමට වඩා කොලෙස්ට්‍රොල් නිපදවීමට හේතු වන ආහාර පුරුදුවලින් අත්මිදීමය.

පිළිකාකාරක Trans Fat

තෙල් පිළිබඳ කතා කිරීමේ දී Trans Fat පිළිබඳ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. වරක් පිසූ හෝ බැද්ද තෙල්වලින් නැවත ආහාර සකස් කිරීමේ දී තෙල්වල CIS ව්‍යුහය trans බවට පත්වෙයි. Trans Fat මිනිස් සිරුරට හිතකර ද්‍රව්‍යයක් නොවන අතර ඉන් අමුතු සුවඳක් වහනය වෙයි. නිවසේ අලුත් තෙල්වලින් යමක් බදින අවස්ථාවට වඩා වැඩි සුවඳක් වෙළෙඳාම සඳහා වඩේ බදින ස්ථානයකින් යන විට අපට දැනෙන්නේ මෙම Trans Fat නිසාය. එම ස්ථානවල තෙල් කිහිප වරක් භාවිත කරන නිසා Trans Fat නිෂ්පාදනය වීම ඊට හේතුවයි.

එසේම එම වෙළෙඳසැල්වල බදින කෑම වර්ග වැඩි කාලයක් තබා ගැනීමට ද හැකිය. මෙම Trans Fatවලට ද පිළිකාකාරක විය හැකි මුක්ත ඛණ්ඩ නිපදවීමේ හැකියාවක් තිබේ. එහෙයින් මෙම ආහාර හැකි පමණ ආහාරය මග හැරීම නුවණට හුරුය.

පමණට බත් කන්න

පැරණි සමාජයේ මෙන් නොව අද කය වෙහෙසා වැඩ කිරීම බෙහෙවින් අඩුය. එවැනි පසුබිමක කාබෝහියිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීම නිසා ශරීරයට එකතු වන ශක්තිය වෙනත් ස්වරූපවලට හැරෙයි. එම නව ස්වරූප මිනිස් සිරුරට අහිතකරය. එහෙයින් බත් වුව පමණ දැන කෑම යහපත්ය.

නිවුඩු බත් වඩා හොඳයි

පිටි සහිත ආහාරවලින් රුධිරයට ග්ලුකෝස් එකතුවන ශීඝ්‍රතාව පදනම් කර ගෙන ග්ල්යිසීමික දර්ශකය නිර්මාණය කොට ඇත. ඒ දර්ශකය අනුව සුදු සහලේ සහ රතු සහලේ එම අගයේ විශාල වෙනසක් නොමැත. නමුත් නිවුඩු සහලේ විටමින් B, ජීර්ණය කළ හැකි තන්තු හා හිතකර ශාක තෙල් (Phytosterol) අඩංගු වෙයි. තන්තු සහිත ආහාර මෙන්ම කහට රසැති පළතුරුවල අඩංගු ප්‍රති ඔක්සිකාරක ඔබ මුක්ත ඛණ්ඩ පිළිකා කාරකවලින් ආරක්ෂා කරයි.

සමබල ආහාර වේල

අප ගන්නා ආහාරයෙන් අපට ශක්තිය වගේම සිරුරේ වර්ධනයට හා අලුත් වැඩියාවට සහයක් ලැබෙනවා නම් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වන්නේ නම් එය සමබල ආහාර වේලක් ලෙස සරලව හැඳින්විය හැකියි. මෙහි දී අප ආහාරයට ගන්නා බත් ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. බොහෝ විට එය අපේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය. එසේ නම් එහි ප්‍රමාණය අඩු කළ යුතුය. එසේ ම මස් මාළු කරවල බිත්තර හෝ වෙනත් ප්‍රෝටීන ප්‍රභවයක් ආහාරයට එකතු කර ගැනීම මෙන්ම නැවුම් එළවලු පළතුරු යහමින් ආහාර වේලට එකතු කර ගැනීම වැදගත්ය.

ආහාර සහ කෘෂි රසායන

ආහාරවල කෘෂි රසායන ඇතුළත් වීම ද ගැටළුවක් බවට පත්ව ඇත. අපේ රට කෘෂි රසායන අවභාවිතයේ ඉහළින් ම සිටින රටකි. අප මෙ පමණ හෝ එම බලපෑමෙන් මිදී සිටින්නේ අප ආහාර පිසින උෂ්ණතවය සහ කුළු බඩු නිසාය. එහෙත් ඉහළ උෂ්ණත්වයක ආහාර පිසීම එම ආහාරයේ ඇති සිරුරට අහිතකර බොහෝ රසායනික පමණක් නොව සිරුරට අවශ්‍ය බොහෝ විටමින් වර්ගත් විනාශ වෙයි. අප ආහාර සඳහා එකතු කරන කුළුබඩු වට්ටෝරුව යනු ඖෂධ ගබඩාවකි.

කුළුබඩු

නමුත් මෑතක සිට කුළුබඩු බාල කිරීම ගැන අපට නිතර අසන්නට ලැබිණි. එය විශාල අපරාධයක් බව කිව යුතුමය. ඒ නිසා විශ්වසනීය තැනකින් හැර කුළුබඩු මිලට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුය. ඔබට හැකි නම් ඉඩකඩ හා කාල වේලාව කළමනාකරණය කර ගත හැකි නම් ගෙවත්තේ කුළු බඩු වර්ග වගා කරගැනීම මගින් ඔබට නියම කුළුබඩු ආහාරයට එකතු කර ගත හැකි අතර එය සාක්කුවටත් වාසියකි.

එසේ ම හැකි සෑම විටක ම නිවසින් ආහාර ගැනීමත් පිටතින් අහාර මිල දී ගැනීමේ දී වඩාත් විශ්වසනීය තැනකින් ආහාර මිලට ගැනීමටත් කල්පනාකාරී වීම වැදගත්ය. අධික තෙල්, ලුණු, සීනි අඩංගු ආහාර සහ තිරිඟු පිටි ආහාර ගැනීම පාලනය කරන්න. එය ඔබ මිහිපිටින් වඳ වීම ප්‍රමාද කරනු ඇත.

සංජන රවිඳු

කෘෂිකර්ම ඩිප්ලෝමාධාරී සහ ආහාර තාක්ෂණ උපාධිධාරි