සමහර කෑම ඇලජික් වෙන්නේ ඇයි?

(ගාල්ල, කරාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ගෙයකට ආරක්ෂාව සැලසීම සඳහා අපි තාප්පයක් හෝ වැටක් බඳිමු. එසේත් නොමැති නම් බල්ලෙකු ඇතිදැඩි කරමු. මේ සෑම කටයුත්තකින්ම කරන්නේ ගෙදර දොර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාය.

එසේම අපගේ ශරීරය විස බීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ද විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. ඒ අපේ රුධිරයේ පවතින සුදු රුධිරානුය. සිරුරට ආගන්තුක යමක් එක් වූ විට ඊට එරෙහිව රුධිරයේ පවතින සුදු රුධිරාණු සටන් කර අපට ආරක්ෂාව සපයා දෙයි.

මේ ආකාරයට සිරුරට ශ්වසනය මගින් හෝ ආහාර මගින් එක් වන ආගන්තුක  ද්‍රව්‍ය සිරුරට හානියක් නොවන ලෙස ඉවත් කිරීමට පියවර ගැනීමේ ක්‍රියාවලිය අසාත්මිකතාව ලෙස හඳුන්වනු ලැබේ.

ශරීරයට ඇතුලු වන ආගන්තුක ද්‍රව්‍යයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තදින් ක්‍රියාත්මක  වීමේ ප්‍රතිඵලයක් ලෙස සමේ ලප ඇති වීම, රතු පැහැති පලු මතුවීම, කැසීම, ඇස් රතුවීම, කඳුළු ගැලීම, ඇස් කැසීම වැනි ආසාත්මිකතා ලක්ෂණ මතු වෙයි.

අසාත්මිකතා ශ්වසන පද්ධතියට බාධා පමුණුවන අවස්ථා තිබේ. මෙහි දී කිවිසුම් යෑම, හුස්ම ගැනිමේ අපහසුතාව, වමනය, කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ මතු වේ. දරුණු ලෙස අසාත්මිකතාව මතු වූ විට ඒ පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු අතර වහා ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

අපගේ ශ්වසන මාර්ගය අනන්ත අප්‍රමාණ දුවිලි අංශුවලට විවෘත වේ. නාසය තුළ වතුර රැඳී  පවතියි. මෙසේ ආගන්තුක ද්‍රව්‍යයක් නාසය තුළට ඇතුළු වූ විට එය එළියට තල්ලු කර හැරීම සඳහා වතුර පහර එළියට ගමන් කරයි. අපි හෙම්බිරිස්සාව යනුවෙන් හඳුන්වන්නේ  එයයි.

අසාත්මිකතාවට ලක් රෝගියෙකුගේ සුදු රුධිර සෛල සංඛ්‍යාව  ඉහළ යෑම ද නිරීක්ෂණය කළ හැකිය. සුදු රුධිරානු මගින් නිදහස් කරනු ලබන ප්‍රෝටීන ද අසාත්මිකතා ලක්ෂණ ඇති කිරීමට බෙහෙවින් දායක වේ.

වෛරස බැක්ටීරියා, දිලීර, කුඩා කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන්, පරිසරයේ ඇති දූවිලි , මල් රේණු, පරාග, ඇතැම් ආහාර, ඔෂධ, ජලය සමග මුසු වී ඇති රසායනික ද්‍රව්‍යවලට ද අසාත්මිකතාව ඇති විය හැකිය.

ඇදුම, පීනස, රක්තවාතය යන රෝග අසාත්මිකතා නිසා හටගන්නා රෝග වේ. මෙවැනි පුද්ගලයන් පරිසරයේ ඇති වන වෙනස්කම්වලට ඉතා ඉක්මනින් සංවේදී වන අතර ඒ සඳහා ඔවුන් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වයි.

අසාත්මිකතාවට ප්‍රතිකාර කළ යුත්තේ ඇති වූ ආසාත්මිකතාව අනුවය. ඒ නිසා ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. අසාත්මිකතාවට ප්‍රතිකාර ලබා ගැනීමේ දී රෝගියා මීට පෙර අසාත්මිකතාවලට ලක් ව ඇත්නම් ඒ පිළිබඳ සහ එසේ අසාත්මිකතාවය ඇති වූයේ කුමන ද්‍රව්‍ය සඳහා ද යන්න වෛද්‍යවරයාට පැවසීම අනිවාර්ය වෙයි. ඇතැම් පුද්ගලයන්ට පෙන්සිලින් ඖෂධ පවා අසාත්මිකය.

අසාත්මිකතාව ජනගහනයෙන් සියයට 40ක්  වැනි පිරිසකට තිබෙන සුලබ රෝග තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. මීට පෙර අසාත්මිකතාවක් හට නොගත් අයකුට පවා ඕනෑම මොහොතක අසාත්මිකතාවක් ඇති විය හැකිය. එහෙත් මෙය වළක්වාගත හැකි රෝග තත්ත්වයකි.

කෙනෙකු යම් අසාත්මිකතාවකට ගොදුරු වූ පසු වෛද්‍යවරු විසින් ආසාත්මිකතා වළක්වා ගැනීමේ ප්‍රතිකාර සහ අසාත්මිකතාවලට කෙතරම් සංවේදී  ද යන්න සෙවීම සඳහා කෙරෙන පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ.

උපදෙස්
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්ව‍ා
කරාපිටිය රෝහල
ගාල්ල