දහදිය ගඳට විසඳුම් තියෙනවා

(වරකපොල, මූලික රෝහලේ කායික වෛද්‍ය චරිත් නුගවෙල මහතා සහ වෛද්‍ය දමිත බාලසුරිය මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

දහදිය යනු මොනවා ද?

අචලතාපී සත්ත්වයෙකු වන මිනිසාගේ ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා සම මතුපිට ඇති ස්වේද ග්‍රන්ථි (Sweat Glands) විසින් නිර්මාණය කරනු ලබන ස්‍රාවය දහදිය ලෙස කෙටියෙන් නිර්වචනය කළ හැකියි. ප්‍රධාන වශයෙන් දහදියෙහි ලවණ හා ජලය අඩංගු වන අතර එය සම වියළීම අඩු කරයි. එසේම බහිස්‍රාවීය ද්‍රව්‍යයක් ලෙස ද වැදගත් වේ.

දහදිය හා දහදිය ගඳ ඇති වන්නේ ඇයි?

පෙර කී ආකාරයට ශරීර උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගැනීම උදෙසා දහදිය ඇති වන අතර ඉන් දහදිය ගඳ ඇති වේ. වැඩි වශයෙන් අපට දහදිය දමන්නේ හිස, කිහිලි, ඉකිලි වැනි ආවරණය වූ ඉන්ද්‍රියන් ආශ්‍රිතවය. එනම්, ශරීරයේ කෙස් හෝ රෝම නිසා එකී ඉන්ද්‍රියන් ආශ්‍රිතව නිර්වායු බැක්ටීරියා රැඳීම හා ක්‍රියාකාරීත්වය ඉහළ යාම නිසා දහදිය ශරීරයේ රැඳී තිබීමෙන් දහදිය ගඳ හටගනියි. මෙහිදී අප සැලකිය යුතු ප්‍රධානතම කරුණ වනුයේ දහදිය දැමීමේ ප්‍රමාණය හා දහදිය ගඳ නික්මීම ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වන බවයි.

අධික ලෙස දහදිය දමන්නේ නම් කුමක් සිදු කළ යුතු ද?

දහදිය යනු මිනිස් ශරීරය පරිසර උෂ්ණත්වයට අනුවර්තනය කරන්නකි. පෙර කී ලෙස එය පුද්ගලානුකූලව වෙනස් වන්නකි. ඇතැම් අයකුට අධික ලෙසත්, තවත් අයෙකුට මද වශයෙනුත්, දහදිය දැමීම සිදු විය හැකිය.

නමුත් ශරීරයට අධික අපහසුතාවක් ඇතිවන ආකාරයට දහදිය දැමීම සිදු වන්නේ යැයි යම් අයකුට හැඟුනහොත් ඔහු ප්‍රථමයෙන් තමන් අධිතයිරොයිඩතාව (Hyperthyroidism) රෝගයෙන් පෙළෙන්නෙකුදැයි වෛද්‍යවරයකු ලවා තහවුරු කරගත යුතුය. ඔහු එම රෝගයෙන් පෙළෙන්නෙකු නම් ඊට අදාළ ප්‍රතිකාරවලට යොමු වීම අනිවාර්ය වෙයි. ඔහුට එම රෝගය නොමැති නම් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ. මක්නිසාද යත් අධික දහදිය ප්‍රමාණයක් ඇති වීමට ස්වේද ග්‍රන්ථි වැඩි ප්‍රමාණයක් ශරීරයේ පිහිටීම ද හේතු වන බැවිනි.

දහදිය ගඳ පාලනයට ගත හැකි පියවර මොනවා ද?

දහදිය ගඳ නික්මීම වැළකීමට නම් ශරීරයේ දහදිය රැඳී තිබීම අවම කර ගැනීම වැදගත් වේ. ඒ අනුව ඉහත සඳහන් කළ පරිදි ශරීරයෙන් ඉතා අධික දහදිය ප්‍රමාණයක් පිට වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය හැකි අතර ඊට අමතරව සාමාන්‍ය වශයෙන් ඇති කරගත යුතු යහ පුරුදු කීපයක් පහත දැක්වේ.

 

  • දහදිය ශරීරයේ රැඳී තිබීම අවම කරගැනීමට ශරීරය නිතර පිරිසිදුව තබා ගැනීම
  • සැර අඩු සබන් (Baby Soap) භාවිතය
  • උෂ්ණත්වය වැඩි දිනවලදී අධික ලෙස දහදිය දැමීමට හේතු වන තද පැහැ ඇඳුම් ඇඳීමෙන් වැළකීම
  • වැඩියෙන් ජලය පානය කිරීම

උපදෙස්
වෛද්‍ය චරිත් නුගවෙල සහ වෛද්‍ය දමිත බාලසුරිය
මූලික රෝහල
වරකපොල.
සටහන
නවෝදා දියාලගොඩ