සර්ප දෂ්ටණයෙන් බේරෙන්නේ මෙහෙමයි

(කිලිනොච්චි මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍ය ලහිරු කල්පගේ මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ලංකාවේ සර්ප වර්ග කොපමණ ප්‍රමාණයක් ජීවත් වන බවට හඳුනා ගෙන තිබෙනවා ද?

දැනට ලංකාවේ (ලංකාව වටා මුහුද+භූමිය) කුල 12කට සහ ගණ 49කට අයත් සර්ප විශේෂ 104ක් පමණ හඳුනා ගෙන තිබෙනවා. මේ අතරින් විශේෂ 15ක් සාගරය ආශ්‍රිතව ජීවත් වෙනවා.

මේ අතරින් විෂ සහිත සර්ප විශේෂ මොනවාද ද?

අපි සාම්ප්‍රදායිකව කතා කරන විෂ වර්ගීකරණයට අනුව ගොඩබිම් ප්‍රදේශ ආශ්‍රිතව උග්‍ර විෂ සර්පයන් පස් දෙනෙක් හමු වෙනවා. ඒ තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ නාගයා.  ඊට අමතරව සාගරයේ ඉන්න විශේෂ 15ම ස්නායු විෂ සහිත උග්‍ර විෂ සර්පයන්. නමුත් එම සර්පයන් දෂ්ට කිරීම් පිළිබඳ වාර්තා නොවන නිසා අපි ඒ පිළිබඳ කතා කරන්නේ නෑ. ඒ නිසා නිතර දෂ්ට කිරීම් සිදුවන ගොඩබිම වාසය කරන සර්පයන් පස් දෙනා පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.

ගොඩබිම වාසය කරන සෙසු සර්පයන් විෂ නැද්ද?

ඉතිරි සර්ප විශේෂ අතර මධ්‍යස්ථ විෂ සහිත සර්ප විශේෂ 5ක් සහ සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් ඉන්නවා. ම්ධ්‍යස්ත විෂ, සුළු  විෂ හා ගොඩබිම වාසය කරන උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 5 සහ මුහුදේ වාසය කරන උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 15 හැරුණු විට සෙසු සර්ප විශේෂ විෂ රහිත අහිංසක සර්ප විශේෂ ලෙස හඳුන්වන්න පුළුවන්.

එසේ නම් කිසියම් සර්ප විශේෂයක් මරාන්තික විෂ සහිත යැයි වර්ග කිරීම සාධාරණ ද?

මෙලෙස වර්ගීකරණ සඳහා යොදා ගන්නේ මීයන් යොදා කළ පරීක්ෂණවල ප්‍රතිඵල. ඒ ඒ සර්ප විෂ මීයාට බලපාන ආකාරයට මිනිසාට ද බලපානවායැයි කියලා අපි උපකල්පනය කරනවා. එහෙත් ඒ ඒ සර්පයාගේ විෂ නිර්මාණය වෙලා තියෙන්නේ ඌ ලබා ගන්නා ගොදුරු අනුවයි. ඒ නිසා එක්තරා සර්ප විශේෂ කිහිපයක් මිනිසාට මරාන්තික විෂ සහිත කියලා වර්ග කිරීම තර්කානුකූල නෑ. මොකද මීයාට බලපාන විෂ මිනිසාගේ සිරුරට  ඒ ආකාරයටම බලනොපාන්න පුළුවන්.

සර්පයකු දෂ්ට කිරීම මාරාන්තික වීමට බලපාන එකම හේතුව සර්ප විෂ ද?

නැහැ කොහෙත්ම නෑ. සර්පයා දෂ්ට කළ ස්ථානය, දෂ්ට කිරීම නිසා පටකවල කෙතරම් ගැඹුරට විෂ ඇතුළු වී තිබේද, දශ්ඨණයට පසුව ප්‍රථමාධාර ලබා දුන්නේ ද, රෝහල්ගත කිරීමට කොපමණ කාලයක් ගත වුනිද, රෝහලේ දී ප්‍රතිවිෂ ඖෂධ ලබා දුන්නේ ද, පුද්ගලයාගේ නිදන්ගත රෝග තිබුනේද ආදි බොහෝ සාධක ඊට බලපානවා. වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයන් වර්ගීකරණය කියන සංකල්පය වැදගත් වන්නේ ඒ නිසායි.

වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයන් කියන්නේ කුමක් ද?

මෙය යම් සර්ප විශේෂයක් සිදුකරන දෂ්ටණවල සුලබතාව, එම සර්ප විශේෂයේ ව්‍යාප්තිය, එම සර්ප දෂ්ටණ නිසා සිදුවන මරණ ප්‍රමාණය සහ එම සර්ප විෂට ප්‍රතිවිෂක් තිබේ ද නැද්ද යන කරුණු පදනම් කරගෙන නිර්මාණය කළ සංකල්පයක්. රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය අංජන සිල්වා මහතා මේ පිළිබඳ පෙන්වා දී තිබෙනවා.

ඒ සාධක පදනම් කරගෙන පෙර සඳහන් කළ සර්ප වර්ගීකරණයට වඩා තරමක් වෙනස් ප්‍රායෝගිකව වැදගත් වර්ගීකරණයක් සිදු කර තිබෙනවා. එයට ඇතුළත් වන්නේ තිත්පොළඟා, වැලි පොළඟා, නාගයා, පොළොන්තෙලිස්සා (කුණකටුවා) යන සර්ප වර්ගයි. සාම්ප්‍රදායික විෂ සර්පයන් අතර සිටි මුදු කරවලා හැලිලා පොළොන්තෙලිස්සා කියන සර්පයා මෙයට ඇතුළත් වී තියෙනවා. මෙමගින් සෙසු සියලු සර්ප විශේෂ අවදානම් නැති බවක් කියවෙන්නේ නෑ. නමුත් සාපේක්ෂව මේ සර්ප විශේෂ 5 නිසා සිදුවන හානිය වැඩියි.

එම සර්ප විශේෂ පිළිබඳ අප දැන සිටිය යුත්තේ ඇයි?

වෛද්‍ය විද්‍යාත්මක වැදගත් සර්ප විශේෂ නිසා තමයි අපේ රටේ වැඩි දෂ්ටණ ප්‍රමාණයක් කරන්නේ. අපි ඒ සර්පයන් ගැන දන්නවා නම් අපට එම සතුන්ගෙන් පරිස්සම් විය හැකියි. ඒ වගේ ම මේ සර්ප විශේෂයක් දෂ්ට කළොත් පමා නොවී ළඟම ඇති රෝහලට යා යුතුයි. එවිට රෝගියාට අවශ්‍ය ප්‍රතිවිෂ ලබා දී ඔවුන්ගේ ජීවිත බේරාගන්න පුළුවන්.

වසරකට මෙරට සර්ප දෂ්ටණ කොපමණ ප්‍රමාණයක් සිදු වනවා ද? ඉන් කොපමණ ප්‍රමාණයක් මිය යනවා ද? බහුල ලෙස සර්ප දෂ්ටණ සිදුවන්නේ කුමන ප්‍රදේශවල ද?

ලංකාවේ වසරකට සිදුවන සර්ප දෂ්ටණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නිවැරදි දත්ත නෑ. 2015 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්ෂික සෞඛ්‍ය ප්‍රකාශනය අනුව එම වසරේ දී සර්ප දෂ්ටණ හේතුවෙන් රෝගීන් 36631 දෙනෙක් රෝහල්ගත කර ඇති අතර ඉන් 78ක් මිය ගොස් තිබෙනවා.

එහෙත් සැබෑ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. සියලු සර්ප දෂ්ටණ රෝහල් වෙත වාර්තා වෙන්නේ නෑ. සර්පයන් දෂ්ට කළ පිරිසක් ආයුර්වේද ප්‍රතිකාර වෙත යනවා. තව පිරිසක් පාරම්පරික සර්ප වෙදකමේ පිහිට පතනවා. තවත් පිරිසක් සර්ප දෂ්ටණ නිසා රෝහල්ගත වීමට පෙර මිය යනවා. ඒවා ඇතැම් විට සර්ප දෂ්ටණ නිසා සිදු වූ මරණ ලෙස වාර්තා වෙන්නේ නෑ. ඒ වගේ ම සර්ප දෂ්ටනයට අමතරව වෙනත් හේතු ද සහිතව සිදු වන මරණවල දත්තත් මේ අතර නෑ. ඊට අමතරව සෑම සර්ප දෂ්ටණයක් ම රෝහල් මගින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්වත් කිරීමක් සිදුවන්නෙත් නෑ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත සර්ප දෂ්ටණ ගැටලුව නිසි ලෙස හෙළි කරන්නේ නෑ කීවොත් නිවැරදියි.

මේ ගැන 2015 වසරේ පිරිසක් යොදා ගෙන පරීක්ෂණයක් කළා. ඒ සඳහා සමස්ත රටම ආවරණය වන ආකාරයට නියැදියක් තෝරාගත්තා. ඒ අනුව අපේ රටේ වසරකට සර්ප දෂ්ටණ 80 000ක් පමණ සිදුවෙනවා. ඉන් 400ක් පමණ වසරකට මිය යනවා. මේ අනුව සර්ප දෂ්ටණය යනු සැඟව පවතින තවමත් එතරම් අවධානයට ලක් නොවූ ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බව පැහැදිලි වෙනවා.

සර්ප දෂ්ටණ වැඩිපුර සිදුවන්නේ කුමන ප්‍රදේශවල ද?

සර්ප දෂ්ටණ වැඩිපුර සිදුවන්නේ වියළි කළාපයේ සහ අතරමැදී කළාපයේයි. වියළි කලාපයෙත් උතුරු මැද පළාතේ සර්ප දෂ්ටණ බහුලයි. වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයන් බෙහවින් වියළි කළාපයේ ව්‍යාප්ත වී සිටීම වගේ ම එම කලාපයේ ජනතාව බෙහෙවින් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමත් මේ සඳහා හේතු වී තිබෙනවා.

සර්ප දෂ්ටණයක් වළක්වා ගන්නේ කෙසේ ද?

  • බොහෝ සර්ප දෂ්ටණවලට හේතුව අපේ නොසැලකිල්ල සහ අප අවට පරිසරයේ අපිරිසිදුකමයි. උදාහරණයක් විදිහට නිවසේ කසල ගොඩවල් කුණු ගොඩවල් තියෙනවා නම් ඒ ආශ්‍රිතව ජීවත් වන මීයන් වැනි සතුන් ගොදුරු කරගන්න සර්පයන් එන්න පුළුවන්. ඒ නිසා ගෙවත්ත සහ ගෙදර පිරිසිදුව තබා ගැනීමෙන් සර්පයන් නිවස වෙත පැමිණීමට ඇති ඉඩකඩ අවම කළ හැකියි.
  • ඒ වගේ ම තමන් ගමන් කරන මාර්ගයේ කොල රොඩු තිබෙනවා නම් පය තරමක් තදින් පොළොවේ ගැටෙන සේ ගමන් කිරීම හොඳයි. සර්පයන්ට ශබ්දය නො ඇසුණත් පය ගැටෙන කම්පනය දැනෙන නිසා එවිට උන් එම මාර්ගයෙන් ඉවත් වී යා හැකියි.

  • රාත්‍රීයට ගමන් බිමක් යාමේ දී විදුලි පන්දමක් භාවිත කිරීම ආරක්ෂිතයි. බොහෝ විට රාත්‍රියට විදුලි පන්දම් එළියෙන් රාහ්‍රියේ ක්‍රියාශීලි සතුන් හඳුනා ගත හැකියි.
  • ඒ වගේම කෘෂි කාර්මික කටයුතුවල යෙදෙන විට දෙපා ආවරණය වන පරිදි බූට්ස් සපත්තු පැළඳීම කළ යුතුයි.
  • සර්පයන් ගැවසිය හැකි ගල් ගොඩවල්, ලී ගොඩවල්, කසල ගොඩවල්, ගුහා, සිදුරු ආදියට අපරීක්ෂාකාරී ලෙස දෑත් නොදැමිය යුතුයි.
  • සර්පයන් ඇල්ලීමට උන් සමග සෙල්ලම් කිරීමට නොයා යුතුයි. සර්පයන් චලතාපී නිසා අපේ අතේ උෂ්ණත්වය ඔවුන්ට දරා ගන්න බැරිව දෂ්ට කළ හැකියි.
  • නින්දට යාමට පෙර නිවස, නිදන කාමරය, ඇඳ, ඇඳ යට, ඒ අවට බිත්ති, බිත්ති සහ වහල අතර පරික්ෂා කර බැලිය යුතුයි.
  • කිසිම අවස්ථාවක මැරුණු සතෙකුගේ හිස කොටස අතපත නොගෑ යුතුයි. එවැනි සර්පයකුගෙන් ප්‍රතික දෂ්ටණ (Reflect Bites) සිදුවිය හැකියි. එම දෂ්ටණ පණ ඇති සර්ප දෂ්ටණ මෙන් ම භයානකයි.
  • ධීවර කටයුතුවල යෙදෙන විට මුහුදේ සිටින අධික විෂ සහිත සර්පයන් 15 දෙනා අතරින් එකකු දැලක පැටලිය හැකියි. ඒ සර්පයන්  ඇඟේ නොගෑවෙන පරිදි දැලෙන් මුදවා නැවත මුහුදට දැමීමට කටයුතු කළ යුතුයි.

උපදෙස්


වෛද්‍ය ලහිරු කල්පගේ
හදිසි අනතුරු ඒකකය
කිලිනොච්චි මහ රෝහල
සටහන : එම්. ජේ. නානායක්කාර