ඇස් යට කළු වීමට නිවසේ දීම කළ හැකි ප්‍රතිකාර 5ක්

(නිරිත දිග ආසියානු රටවල ඉතා ම ජනප්‍රිය වෙබ් අඩවියක් වන රටවල් නවයක භාෂා නවයක් ඔස්සේ ක්‍රියාත්මක වන theasianparent.com නම් සිංගප්පූරු වෙබ් අඩවියේ පළ වූ ලිපියක අනුවාදයකි.)

ඇස් යට කළු වීම වර්තමානයේ බොහෝ දෙනකු පීඩාවට පත් කරන ගැටළුවක් බවට පත්ව ඇති අතර විවිධ ප්‍රතිකාර ක්‍රමවල පිහිට පතති. ඇස් යට කළු වීම සඳහා වයස, ආහාර, තෙහෙට්ටුව සහ ජානමය සාධක ආදි හේතු ගණනාවක් බලපාන බව වෛද්‍ය මතයයි.

ප්‍රමාණවත් නින්දක් අය කැටපතින් සිය ඇස් යට කළු වීම නිසා ඇති වන වැහැරුණු පෙනුම දුටු විට කලබලයට පත් වෙති. ඇස් යට කළු ලප සඳහා හොඳ ම ප්‍රතිකාරය ප්‍රමාණවත් නින්දක් ලැබීමය. එමගින් විසඳුමක් නොලැබේ නම් ඔබේ අවපැහැ දෑස් සහ දෑස් අවට පෙනුම දීප්තිමත් කර ගැනීම සඳහා මෙම ප්‍රතිකාර නිවසේ දී ම කරගත හැකිය.

අවධාරණය: මෙම ප්‍රතිකාර කරන විට අදාළ මිශ්‍රණ ඔබේ දෑස් තුළට නොයැවීමට වගබලා ගන්න. එසේම මෙම ප්‍රතිකාර ක්‍රම භාවිත කරන විට ඔබේ සමේ කිසියම් දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇති වුවහොත් වහාම එම ප්‍රතිකාරය නතර කරන්න.

පිපිඤ්ඤා – පැය භාගයක් ශීතකරණයේ තැබූ පිපිඤ්ඤා පෙති ඉවතට ගෙන ඔබේ දෑස් පෙදෙසේ විනාඩි 10ක් පමණ තබන්න. අනතුරුව පිරිසිදු වතුරින් මුහුණ සෝදාන්න. මේ ප්‍රතිකාරය දවසට දෙවරක් කරන්න. පිපිඤ්ඥා පෙති ඔබේ දෑස් අවට සිසිල් කිරීමට අමතරව සම පැහැපත් කරයි. එසේ ම ඊට ඔබේ මුහුණේ කළු ලප ඉවත් කිරීමේ හැකියාවක් ද තිබේ.

අර්තාපල් – පිපිඤ්ඤා පෙති මෙන් ම අර්තාපල් පෙති ද පැය භාගයක් ශීතකරණයේ තබා ඇස පෙදෙසෙහි විනාඩි 10ක් පමණ තබන්න. නැතහොත් අර්තාපල් පෙති කිහිපයක් මිරිකා ගත් යුෂ පුළුන් බෝලයකට පොඟවා විනාඩි 10-15ක් පමණ පිය වූ දෑස් මත තබන්න. අනතුරුව පිරිසිදු වතුරින් මුහුණ සෝදාන්න. මේ ප්‍රතිකාරය දවසට දෙවරක් කරන්න. අර්තාපල්වලට ද ස්වාභාවිකව සම පැහැපත් කිරීමේ සහ කළු ලප ඉවත් කිරීමේ හැකියාව තිබේ.

පොල් තෙල් – පිරිසිදු පොල් තෙල් තැවරූ ඔබේ ඇඟිලිවලින් පහළ සිට ඉහළට ආකාරයට දෑස් යට ප්‍රදේශය සෙමෙන් සම්බාහනය (massage) කරන්න. පැය භාගයකට පසු සෝදා හරින්න. දවසකට දෙවරක් කරන්න. පොල් තෙල්වලට කළු ලප ඉවත් කිරීමේ හැකියාව පමණක් නොව සම සුමුදු කිරීමේ සහ සම රැලි වැටීම වැළැක්වීමේ හැකියාව ද තිබේ.

තේ බෑග් – පැය භාගයක් ශීතකරණයේ තැබූ තේ බෑග් ඔබේ වැසූ දෑස් මත විනාඩි 10-15ක් පමණ තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාර දිනපතා දෙවරක් ඔබ සෑහීමකට පත් වන තුරු කරන්න. ඇස අවට ඉදිමුම වගේ ම අඳුරු බව ඉවත් කිරීමට තේවල අඩංගු කැෆේන් (caffeine) සහ ඇන්ටිඔක්සිඩන්ට් (antioxidants) උපකාරි වෙයි.

ලෙමන් යුෂ – නැවුම් ලෙමන් යුෂ පුළුන් බෝලයක පොඟවා පරිස්සමින් දෑස් වටා ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය දිනකට වරක් කරන්න. සම පැහැපත් කිරීමේ ස්වාභාවික ගුණයක් ලෙමන් යුෂවලට තිබේ.

(theasianparent.com ඇසුරිනි)