තනිව සිටින විට හාර්ට් ඇටෑක් එකක් ආවොත් මොකද කරන්නේ?

(මාලදෙනිය, රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවේ, වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසිනි.)

හෘදයාබාධයක් යනු කුමක් ද?

හදවතට රුධිරය සපයන කිරීටක ධමනියේ (Coronary artery) රුධිර කැටියක් සිර වී එම ධමනිය අවහිර වීම නිසා හෘදය වස්තුවට රුධිරය සැපයීම අඩාලවීම තුළින් හෘදයාබාධ හටගනියි. අප නොසිතූ අවස්ථාක හෘදයාබාධයක් ඇති විය හැකිය. මුල දී බොහෝ විට හෘදයාබාධ වයස අවුරුදු 50-70 අතර කාල පරාසය තුළ හටගතිත ද වර්තමානය වන විට එය තරුණ ප්‍රජාව අතර ද ව්‍යාප්ත වී යන ආකාරයක් දක්නට ලැබේ. හෘදයාබාධ සඳහා බලපාන බොහෝ හේතු අප විසින්ම නිර්මාණය කරගනු ලබන ඒවාය.

හෘදයාබාධයක රෝග ලක්ෂණ මොනවා ද?

වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු රෝගී තත්ත්වයක් වන හෘදයාබාධයක ලක්ෂණ විය හැකි රෝග ලක්ෂණ කීපයක් පහත දැක්වේ.

  • පපුව කැක්කුම
  • කැස්ස
  • වමනය හා ඔක්කාර ගතිය
  • අධික ලෙස දහදිය දැමීම
  • කෙටි හුස්ම වැටීම
  • බාහුවල, බෙල්ලේ, උදරයේ අපහසුතා දැනීම (ශරීරයේ ඉහළ කොටසේ අවයවවලින් වේදනාවක්, අපහසුතාවක් දැනීම)
  • අධික මහන්සිය

හෘදයාබාධ ඇති වීමට බලපාන හේතු මොනවා ද?

හෘදයාබාධ ඇති වීමට බලපාන හේතු රාශියකි. මෙකී හේතුවලින් බොහොමයක් අප විසින්ම, අපගේ නොසැලකිලිමත් ජිවන රටාව තුළින්ම සකසා ගන්න බව කිව හැකිය. පහත සඳහන් හේතු නිසා හෘදයාබාධ හට ගැනීමේ ඉඩක් ඇත.

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • කොලෙස්ට්‍රෝල්
  • දුම්පානය
  • ශරීරය වෙහෙසා වැඩ නොකිරීම
  • ස්ථුලතාව
  • අසමතුලිත ආහාර රටාව
  • මානසික පීඩනය
  • ප්‍රවේණි ජානමය ලක්ෂණ

තනිව සිටින අවස්ථාවක හෘදයාබාධයක් ඇති වුවහොත් කළ යුත්තේ කුමක්ද?

ඔබ තනිව සිටින අවස්ථාවක හෘදයාබාධයක් හටගතහොත් යම් අයකුට දුරකතන ඇමතුමක් ලබාදිය හැකිය (Call for help). නිදසුනක් ලෙස ගිලන් රථ සේවයකට, අසල්වැසියකුට ඇමතුමක් ලබාදීම, එවැනි රෝගී තත්වයක් හටගතහොත් ඔබට ඒ පිළිබඳව දැනුවත් කළ හැකි සේවා/ පුද්ගලයන් පිළිබඳව මුලින් දැනුමිවත් වී සිටීම හා නිතර ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම වැදගත් වේ.

ඔබට මීට පෙර හෘදයාබාධ හට ගෙන ඇත්නම් නැවතත් හෘදයාබාධ හට ගැනීමේ ඉඩකඩ පවතින බව බව සිහිතබා ගත යුතුය. ඔබ වෛද්‍යවරයකු හමුව ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ. නිදසුනක් ලෙස ඔබට පපුව ප්‍රදේශයේ යම් වේදනාවක් දැනුන හොත් එය හෘදයාබාධයක් නිසා හටගන්නා වේදනාවක් ද නැතහොත් ගැස්ට්‍රයිටිස් වැනි රෝගයක් නිසා හටගන්නා වේදනාවක් දැයි අවබෝධ කරගැනීමේ දැනුම ඔබ සතු විය යුතුය.

ඔබට පපුවේ වේදනාව සුළුවෙන් හෝ දැනේ නම් එය නොසලකා හැරීම සිදු නොකළ යුතුය. එසේම පපුව කැක්කුම හටගත් විට කලබල වීම, තනිව රිය පැදවීම වැනි ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටීමට තරයේ සිහිතබා ගත යුතුය. එසේම එවැනි ලක්ෂණ පහළ වූ වහා රාත්‍රී නිදන අවස්ථාවේ වුව ද පවුලේ සෙසු සාමාජිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම අතිශය වැදගත්ය.

එසේම හදිසි පපුවේ වේදනාවට ගන්නා GTN (Glyceryl TriNitrate) පෙත්ත හැකි විගස භාවිත කරන්න. එය නිතරම ඔබ අසල තබා ගන්නේ නම් වඩාත් සුදුසුය. මිට අමතරව කකුල් දෙක හිසට වඩා ඉහළ ස්ථානයකින් තබා ගෙන පිරිසිදු වාතය ගැඹුරින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. ජලය පානය කිරීමෙන් වැළකී සිටීමද වැදගත් වේ. එසේම හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුය.

හෘදයාබාධයක ලක්ෂණ පහළ වූ විට නොකඩවා වේගයෙන් කැසීම සුදුසු ද?

වර්තමානයේ දී හෘදයාබාධයක ලක්ෂණ පහළ වූ විට වේගයෙන් කැසීමේ සුදුසු නුසුදුසු බව පිළිබදව දැක්වූ විවිධ අදහස් ඇත. මෙය “Cough CPR” හෙවත් “Cardiopulmonary Resuscitation”  ලෙස හැදින්වේ. ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association) මෙන්ම ඇමෙරිකානු රතු කුරුස සංගමය (American Red Cross) ද කැසීම සුදුසු යැයි අනුමත කර නොමැත. මේ නිසා හදවතේ රිද්මයට බාධා පැමිණ රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය ඉහළය යාම වෙනුවට තවත් පහළ යාමට ඉඩ තිබේ. එහෙයින් වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය සහ අසල සිට කරනු ලබන මගපෙන්වීම නොමැතිව මෙවැනි තවමත් මතභේදාත්මක ප්‍රතිකාර අත්හදා බැලීමට යාම නොකළ යුතුය.

හෘදයාබාධ වළක්වා ගැනීමට සිදු කළ හැකි දේ මොනවා ද?

හෘදයාබාධ වළක්වා ගැනීමට ව්‍යායාමශීලි  නිරෝගී ජීවිතයක් ගත කිරීම වැදගත්ය. එසේම අවිවේකී ජිවන රටාවෙන් බැහැර වීම, ආහාර පාලනය හා ස්ථුලතාවට පත් නොවී සිටීම, දුම්පානයෙන් වැළකීම, මානසික පීඩා ඇත්නම් ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම, දියවැඩියාව වැනි රෝග පාලනය කර ගැනීම ද අතිශය වැදගත් වේ. හෘදය රෝගියකු නම් නිර්දේශිත බෙහෙත් නියමිත වෙලාවට නියමිත මාත්‍රාවට ගැනීම අතිශය වැදගත්ය.

උපදෙස්

වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර
වෛද්‍ය නිලධාරී
රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව
මාලදෙනිය.
සැකසුම : නවෝදා දියාලගොඩ