සෙම්ගෙඩි නම් මෙහෙම කරන්න

(කොළඹ ජාතික රෝහලේ, උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් සැකසිණි.)

සෙම්ගෙඩි යනු මොනවා ද?

වසා පද්ධතිය තුළ තිබෙන ගැටිතිවලින් එක වර්ගයක් ලෙස සෙම්ගෙඩි (Tonsil) හඳුන්වා දිය හැකිය. නාසය හා උගුර සම්බන්ධ සෙම්ගෙඩි ජාලයක් ම තිබේ. මෙම සෙම්ගෙඩි උගුරේ හා නාසයේ පිහිටා ඇත. ඒ උගුරේ සෙම්ගෙඩි යුගලක් හා නාසයේ එක් සෙම්ගෙඩියක් වශයෙනි. උගුරේ පිහිටා ඇති සෙම්ගෙඩි යුගලය ටොන්සිල් යනුවෙන් ද නාසයේ පවතින සෙම්ගෙඩිය ඇඩිනොලිට් යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

සෙම්ගෙඩිවලින් සිරුරට ප්‍රයෝජනයක් තිබේ ද?

වසා පද්ධතිය තුළ විෂබීජවලට එරෙහිව මෙම සෙම්ගෙඩි විශාල සටනක් සිදු කරයි. කුඩා කාලයේ දී සෙම්ගෙඩි මගින් දරුවන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මෙහෙවරක් සිදුවෙයි.

සෙම්ගෙඩි තුළ සෑදෙන ප්‍රතිදේහ  ශරීරයට ඇතලු වන විෂබීජ සමග විශාල සටනක් කරයි. නාසයේ පවතින සෙම්ගෙඩි මගින් සාදන ප්‍රතිදේහ  නාසයට ඇතුළු වන විෂබීජ සටන් කර ඒවා විනාශයට පත් කරයි. එසේම උගුරේ පවතින සෙම්ගෙඩිවල පවතිනා ප්‍රතිදේහ මුඛයට ඇතුළු වන විෂබීජ සමග සටන් කර ඒවා විනාශ කරනු ලබයි. මේ අනුව සෙම්ගෙඩි ප්‍රතිදේහ  පද්ධතියට විශාල මෙහෙවරක් ඉටු වෙයි.

සෙම්ගෙඩි ආසාදනයට ලක්වන්නේ ඇයි?

සෙම්ගෙඩි ආසාදනයට ලක් වනුයේ ස්ටැපිලකොකස් නැමැති බැක්ටීරායාව ශරීර ගත වූ විටය. මෙම බැක්ටිරියාව රුමැටික් උණ හෝ වකුගඩු ආසාදනය කිරිමට හේතු වෙයි.

අවේලාවේ ස්නානය කරන පුද්ගයින්ට සෙම්ගෙඩි සෑදීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබෙයි. මෙවැනි පුද්ගලයින් ශීත අධික ආහාරවලින් හැකි පමණ ඈත් වී සිටින්නේ නම් එය වඩාත් යහපත්ය. එසේ ම දිවා කාලයේ ස්නානය කළ යුතුය. සෙම්ගෙඩි සෑදුණු අවස්ථාවලදී ගිලීම අපහසු වෙයි.

මේ සඳහා කළ යුතු ප්‍රතිකාර මොනවා ද?

සෙම්ගෙඩි ඇති වූ අවස්ථාවක මද උණුසුම් ජලය හෝ වෙනත් මද උණුසුම් පානයක් ලබා ගැනීමෙන් යම් සහනයක් ලද හැකිය. ලුණු වතුරින් උගුර සේදීම, ගණ ආහාර වෙනුවට සුප් වැනි දියරමය ආහාර ගැනීම, වෛද්‍ය නිර්දේශය අනුව නියමිත මාත්‍රාවට නියමිත වෙලාවට ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා ගැනීම කළ යුතුය. දින කිහිපයකින් මේ තත්තවය සුව වෙයි.

 

සෙම්ගෙඩි ආසාදනය වී ඇති බව දැනගත හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවා ද?

යම් හේතුවක් නිසා සෙම්ගෙඩි ආසාදනය වූ විට ගිලිමේ අපහසුව, වේදනාව, උණ ගැනීම, උගුර ප්‍රදේශය රතුවීම, කන් කැක්කුම මෙන්ම බෙල්ල දෙපස කුද්දැටි ලෙස සෙම්ගෙඩි මතු වීම ද සිදු වෙයි. තව ද යම් පුද්ගලයෙක් නින්දෙන් ගොරවයි නම් එය ද සෙම්ගෙඩි සෑදී තිබෙන බව අඟවන ලක්ෂණයකි.

සෙම්ගෙඩි දින 2-3න් සුව නොවන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

එසේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. වෛද්‍ය ප්‍රතිකාරවලින් නිසි සුවයක් නොලැබෙන්නේ නම් උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.

කුද්දැටි මතු වීමට හේතු හඳුනාගත හැකි ද?

යම් පුද්ගලයෙකුගේ වසා පද්ධතියේ එන කුද්දැටි එසේත් නොමැති නම් බෙල්ල දෙපස මතු වන කුද්දැටි පරීක්ෂා කිරීමේ දී සී. ආර්. පී නමැති රුධිර පරීක්ෂණයක් කළ හැකි නම් එමගින් වසා පද්ධතියේ කුද්දැටි මතු වීමට හේතු වන කාරණා නිවැරදිව හඳුනා ගත හැකිය.

බොහෝ විට සෙම්ගෙඩි මතු වන්නේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙනි. රුධිර පරීක්ෂාවකින් අනතුරුව එය තහවුරු කර ගැනීමට හැකියාව පවතී. එවන් අවස්ථාවක දී බැක්ටීරියාවක් මතුව සෙම්ගෙඩි සෑදී ඇත්නම් ඒ සඳහා දින 10ක් යන තෙක් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි.

සිරුරේ සුදු රුධිරාණු අඩු වීමක දී හෝ ලියුකේමියා රෝග තත්තවයක දී ද මේ ආකාරයට සෙම්ගෙඩි ලෙස කුද්දැටි මතුවේ. එසේම එච්. අයි. වී. වෛරසය ආසාදනය වූ විට ද ඒ බව සෙම්ගෙඩි මගින් පෙන්නුම් කෙරේ.

උපදෙස්

උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය
කොළඹ ජාතික රෝහල