ඔබ ගැබ් ගෙනද?

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සංස්කරණය කරන ආදරණීය අම්මි සඟරාවෙන් උපුටා ගත් ලිපියකි.)

මුල් වර පිළිසිඳ ගත් බව දැනගත් විට සිත මනා සතුටකින් පිරී ඉතිරී යයි. විවාපත්ව ටික කලක් ගිය විට පිළිසිඳ ගැනීම් හා පෙරමග සලකුණු ගැන විමසිලිමත් වීම කාගේත් සිරිතය. දරුවෙකු පිළිසිඳ ගත්තත් ඇතැම් යුවතියන්ට ඒ ගැන පෙරමග සලකුණු වේලාසන නොදැනෙන්නට ඉඩ තිබේ.

එහෙත් දැන් දැන් දරුවෙකු පිළිසිඳ ගත් විට ඒ බව වෛද්‍යවරයෙකු වෙත යාමටත් පෙර සිටම දැනගැනීමට හැකි උපකරණ කට්ටල වෙළඳපළේ තිබේ. මෙම උපකරණ භාවිතයට ගෙන ඔසප් වීම නතර වු දින සිට ම තමා ගැබ් ගෙන ද යන්න පරික්ෂා කර බැලිය හැකි ය.

පිළිසිඳ ගැනීමත් සිදු වූ විට ඔබගේ ශරීරයෙන් හියුමන් කොරියොනික් ගොනඩොට්‍රොපින් නම් හෝමෝනය පිට වෙයි. මෙම හෝමෝනය බහුලව පිටවන්නේ උදෑසනය. එබැවින් මෙම පරීක්ෂණ කට්ටලය යොදා ගෙන උදෑසන මුල්ම මුත‍්‍ර පරීක්ෂා කිරීමෙන් තමා ගැබ් ගෙන ඇත්ද යන සුබ ආරංචිය ඔබට ලබා ගත හැකිය.

එහෙත් මෙම පරීක්ෂණවල ද නොමග යැවෙන අවස්ථා නැතුවා නොවේ. එසේ වන්නේ ඇතැම් විට උපකරණයේ ප‍්‍රතිඵල සටහන් වීමට තරම් හෝමෝන ප‍්‍රමාණයක් සාධක නොවුණහොත්ය.

ඔබගේ ඔසප් වීම තවත් සතියකින් සිදු නොවුණහොත් නැවත එම පරීක්ෂණය සිදු කරන්න. එසේම ගැබ් ගැනීමක් නොවන අවස්ථාවක දී, ගැබ් ගැනීමක් ලෙස සාවද්‍ය වාර්තාවක් ලැබීමටද ඉඩ තිබේ. එයට හේතුව Hydatiform Mole තත්ත්වයකි.

වෛද්‍ය සහය

නිවසේ දී කළ පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, නිශ්චිත පරීක්ෂණයක් කර ගැනීම සඳහා වෛද්‍ය සේවාවල සහාය ලබාගත හැකිය. ඔබ නිවසේ දී කරනු ලබන පරීක්ෂණය ම කළ ද, ඒ සම්බන්ධ පුහුණුව ලැබූ වෘත්තිකයන්ගෙන් ලබා ගන්නා වාර්තා වඩාත් නිවැරදි වේ. ඇතැම් විට ඔබේ ලේ දහරාවේ ඇති නියත HCG ප‍්‍රමාණය මැන ගැනීම සඳහා ලේ පරීක්‍ෂණයක් ද කරන්නට ඉඩ ඇත.

ගැබිනි කාලසීමාව පුරාවට මෙම HCG ප‍්‍රමාණ වෙනස් වන නිසා ගැබ් ගැනීමට අදාළ දින නිශ්චිතවම තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණ ඉවහල් වේ. ඔබ ගැබ් ගෙන මාසයක් දෙකක් ගත වු විට, ඔබේ උදරය ස්පර්ශ කර පිරික්සීමෙන් ඔබේ ගැබිනි තත්ත්වය ගැන පැවසීමට වෛද්‍යවරයාට හැකියාව තිබේ. එවිට ගර්භාෂය තරමක් උඩට ඉස්සී තරමක් විශාල වී ඇති බවත් සාමාන්‍ය තත්ත්වයට වඩා මෘදු බවක් ද දැනෙණු ඇත.

ගැබිනි බව සහතික කරන ප‍්‍රතිඵල

ඔබ ගැබ් ගෙන සිටින බවට ස්ථිරව සහතික කෙරෙන වාර්තාවක් ලැබුණු විගස ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔහු හෝ ඇය ඔබේ දරුවා ප‍්‍රසූතිය දක්වා අවශ්‍ය සියලු දේ රිසි පරිද්දෙන් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකරනු ඇත.

දරුවා නිරෝගී ව වැඩෙන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ, ඔබේ දින චර්යාවේ ඔබ කළ යුතු වෙනස්කම්, ඔබේ ආහාර සැකසුම, ව්‍යායාම යනාදි සෑම දෙයක් ම පිළිබඳ ව ඔබට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත.

ඔබේ ගැබ් ගැනීම සැලසුම් කරන ලද්දක් නොවේ නම්, ඔබ ගැනත් ඔබේ උපදින්න සිටින බිළිඳාගේත් ආරක්ෂාවෙ ගැන සැලකිලිමත් වීමට කාලය මෙයයි.

ගැබිනි බව පවසන පූර්ව සංඥා

විඩාබර බව – දරුවාගේ ප්‍රධාන අවයව සහ වැදාමහ ආදිය සඳහා මවගේ ශක්තිය යෙදවෙන නිසා මවට දැඩි විඩාබවක් දැනෙයි.

ආහාර අප්‍රියතාව – ගැබිනියකගේ සිරුරේ ඇති වන හෝමෝන වෙනස්කම් නිසා මුල් ගැබිනි අවධියේ දී ආහාර අප්‍රියතාවක් ඇති වීමට ඉඩ ඇත.

සංවේදී බව – හෝමෝන වෙනස්වීම නිසා ගඳ, සුවඳ පිළිබඳ තියුණු සංවේදී බවක් ඇති විය හැකිය. දුම්වැටි දුම හෝ කෑම පිසින විට ඇති වන සුවඳ වුවද ඔබ තුළ අප්‍රිය බවක්, අසනීප ගතියක් ඇති කළ හැකිය.

පියයුරු වෙනස් වීම – ප්‍රොජෙස්ටෙරොන් (Progesterone) මට්ටම ඉහළ යාම මගින් පියයුරු බර වීම, තද වීම සහ මෘදු වීමක් වැනි කිරි නිපදවීමට පියයුරු සුදානම් වන ලක‍ෂණ ඇති වන අතර, තන පුඩු තරමක් තද පැහැයට හැරෙයි.

නිතර මුත්‍ර බර ඇති වීම – ගැබිනි හෝමෝන විශේෂයෙන් Relaxin හෝමෝනය, ගර්භාෂයේ ඇතුළු ඔබේ සියලුම මාංශ පේශි ලිහිල් කරවයි. වකුගඩු හරහා ලේ ධාවනය වැඩිවීම නිසා මුත්‍ර නිපදවීම වැඩිවේ. ඔබේ පටක සහ අවයවවල ක්‍රියාකරීත්වය වැඩි වීම නිසා ඔබේ සිරුර තුළ ද්‍රාවන වර්ග බහුලව ඇති වේ.

යෝනි ශ්‍රව වැඩිවීම – හෝමෝන වෙනස්වීම නිසා යෝනි මාර්ගයෙන් පහවන ශ්‍රාව ප්‍රමාණය වැඩිවීමක් ඇති වේ.

ගැබිනි සමයේ රෝග තත්ත්ව – HCG (Human chorionic gonadotropin) අගය ඉහළ යාම, ආහාර ජීර්ණ පද්ධතියේ පේශි ඉහිල්වීම, ආමාශයේ ඇසිඩ් වැඩිවීම සහ ගඳ සුවඳ කෙරෙහි අධිසංවේදී වීම නිසා ඔක්කාරය (බඩ දැඟලිල්ල) සහ වමනය ඇති කරවයි.

දරු ප‍්‍රසූති දිනය

මෙම වගුව ආධාරයෙන් ඔබේ දරු ප‍්‍රසූතියේ සිදුවිය හැකි දිනය ඔබට ගණන් බලා ගත හැකිය. ඔබේ අවසාන ඔසප් වීමේ පළමු දිනය ඉහළින් ඇති අංක පේළියේ සටහන් කරන්න. දෙවැනි පේළියේ ඊට පහළින් දැක්වෙන්නේ ඔබේ අපේක්ෂිත ප‍්‍රසූති දිනයයි.

කෙසේ වෙතත් නිශ්චිතවම නියමිත දිනට දරුවන් උපත ලැබීමේ ප්‍රතිශතය සියයට පහක් පමණක් බව මතක තබා ගන්න. ඔබේ අපේක්ෂිත දිනයට සති දෙකකට කලින් හෝ සති දෙකකට පසු දරු ප‍්‍රසූතිය ස්ථිරවම සිදු වන බව සිතා ගැනීම වඩාත් හොඳය. නිවුන් දරුවන් බෙහෙවින් උපදින්නේ නියමිත දිනට කලින්ය. ඉහත වගුව ඔබගේ බිළිඳා මෙලොවට බිහි වන දිනය පිළිබඳ ගණනය කර ගැනීමට උදව්වක් වේවි.

PREGNANCY -THE COMPLETE GUIDE FROM PLANNING TO BIRTH නම් කෘතියෙන් උපුටා ගන්නා ලදි.
පරිවර්තනය : මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු