දරු පැටියාගේ නහය සිර වූ විට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර 5ක්

ඔබේ ළදරුවාගේ නහය සිරවී නිසි ලෙස හුස්ම ගත නොහැකි වීම පැටියා අපහසුතාවට පත් කරයි. එය ළදරුවාගේ ආහාර ලබා ගැනීම කෙරෙහි ද එහෙයින් ම ඔහුගේ නින්ද කෙරෙහි ද බලපායි. ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වැඩෙමින් පවතින නිසා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඔවුන් අතර සුලබය. එන්ගලන්ත ජාතික සෞඛ්‍ය සේවාව අනුව වැඩිහිටියන්ට වඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ සහ නාසය තද වීම, සොටු දියර ගැලීම, උණ ගැනීම ආදි රෝග ලක්ෂණ මතු වීමේ සම්භාවිතාව ද ඉහළය.

සෙම්ප්‍රතිශ්‍යාව භයානක රෝග තත්ත්වයක් නොවුණ ද ඔබේ ළදරුවා පහත දැක්වෙන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍යවරයා මුණ ගැසීම වැදගත්ය.

  • සති තුනක් ඇතුළත සෙම්ප්‍රතිශ්‍යාව සුව නොවීම
  • ළදරුවාගේ වයස මාස තුනකට වඩා අඩු වීම සහ මාස 3-6ත් අතර ළදරුවකුට අංශක 38-39 අතර උණ ගැනීම
  • ළදරුවා ආයාසයෙන් හුස්ම ගැනීම
  • ළදරුවා කහින විට රුධිරය පිටවීම
  • ළදරුවාගේ උගුරේ තුවාලයක් හට ගෙන සුව නොවී පැවතීම
  • ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවී පිරිහීම

දරුවාගේ නහය සිර වූ විට කළ යුත්තේ කුමක් ද?

සාමාන්‍යයෙන් ඔබේ ළදරුවාගේ නහය සතියකට වරක් ස්වාභාවිකව පිරිසිදු වෙයි. එසේ නොවන්නේ නම් ළදරුවාගේ නහය පිරිසිදු කිරීම සඳහා නිපද වූ විවිධ නිෂ්පාදන තිබේ. ළදරුවාගේ සිඟිති නහයේ පවතින සොටු කැබලි ඉවත් කිරීම සඳහා infant nasal suction aspirator හෝ saltwater nasal drops ආදි නිෂ්පාදන භාවිත කළ හැකිය. එම ප්‍රතිකාර මගින් ද ඔබේ දරුවාගේ නාසය පිරිසිදු නොවී තව දුරටත් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන්නේ නම් ඔබේ වෛද්‍යවරයා මුණ ගැසිය යුතුය.

ළදරුවාගේ නහය සිරවීමට නිවසේ දී ම කළ හැකි ප්‍රතිකාර මොනවා ද? 

  1. ලුණු වතුර: ඔබේ ළදරුවාගේ වයස මාස 6කට වඩා අඩු නම් ඔහුගේ නාස් පුඩු දෙකට සේලයින් බිංදු කිහිපය බැගින් දමන්න. නාසයේ ඇති සොටු කැබලි ඉවත් කිරීමට බුබුලු සිරින්ජරයක් භාවිත කළ හැකිය. මෙම ප්‍රතිකාරය මගින් ළදරුවාගේ නහයේ රැඳී ඇති සොටු කැබලි තුනි කර ඉවත් කරන නිසා දරුවාට සුවපහසුවක් දැනෙනු ඇත. මෙම ප්‍රතිකාරය සියලු ම වයස් කණ්ඩවල ළදරුවන්ට සුදුසු වුව ද වැඩුණු දරුවන් බුබුලු සිරින්ජරය භාවිත කිරීමේ දී කලබල විය හැකිය.
  2. ගන සොටු කැබලි ඉවත් කිරීම: ඇතැම් අවස්ථාවල ඔබේ ළදරුවාගේ නහය තුළ ගනැති සොටු කැබලි ඇලී තිබෙන ආකාරය ඔබට නිරීක්ෂණය කළ හැකි අතර ඒවා ඉවත් කර නාසය පිරිසිදු කිරීම මගින් නාසය සිරවීම වළක්වා ගත හැකිය. කපු පුළුන් සහ මද උණුසුම් වතුර භාවිතයෙන් ඒවා ඉවත් කළ හැකිය.
  3. හුමාලයට නිරාවරණය කිරීම: වේපරයිසරයක් මිලට ගැනීමට උවමනා නොමැති නම් ඔබට දරුවා සමග මිනිත්තු කිහිපයක් හුමාලයට නිරාවරණය වීම ද හිතකරය.
  4. දරුවාට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීම: දරුවාගේ සිරුරේ ප්‍රමාණවත් ලෙස ජලය ඇති විට සොටු කැබලි දිය වී යයි. ළදරුවා අහාර ප්‍රතික්ෂේප කරන්නේ නම් පෙර සඳහන් කළ පරිදි සේලයින් ප්‍රතිකාරය මගින් නාසය පිරිසිදු කරන්න.
  5. ළදරුවා කෙලින් අතට තැබීම: එය සොටු දියර ඉවතට ගලා යාමට පහසු කරනු ඇත. ඔබේ ආරක්ෂාව යටතේ ළදරුවා සෙල්ලම් කාරයක් නංවා හෝ ඔන්ඩිල්ලාවක නංවා අඩ නින්දක් ලබා ගැනීමට යොමු කරන්න.

නාසය සිර වී පවතින ළදරුවාට රාත්‍රියට හොඳ නින්දක් ලබා දීමට කළ යුත්තේ කුමක් ද?

ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති අවස්ථාවක හාන්සි වුවහොත් තත්ත්වය තවත් නරක අතට හැරෙන අතර එය ළදරුවාට ද එලෙස ම බලපායි. ළදරුවා දහවල කෙටි නින්දට යොමු කරන විට හැකි සෑම අවස්ථාවකම ළදරුවා කෙළින් අතට තැබීම වැදගත් වන්නේ එය සොටු දියර ගලා යාමට උදව් වන නිසාය. හැකි නම් දරුවා සෙල්ලම් කාරයේ හෝ ඔන්චිල්ලාවේ නිදි කරවීමට උත්සාහ කරන්න.

ළදරුවා නිදා ගන්නා අවස්ථාවේ හිස මදක් ඔසවා තැබීම ඔහුට හුස්ම ගැනීම පහසු කරන අතර ඒ සඳහා කුඩා කොට්ටයක් මත දරුවාගේ හිස තබන්න. කෙසේ වුව ද දරුවා කෙරෙහි විමසිලිමත් වන්න.

(එංගලන්තයේ ඉතාම ජනප්‍රිය අන්තර්ජාල සඟරාවක් වන motherandbaby.co.uk හි පළ වූ “How to treat your baby’s blocked nose” ලිපියෙහි අනුවර්තනයකි.)