ගැස්ට්‍රයිටීස්  පාලනය කරන්නේ මෙහෙමයි

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

අද වන විට ලොකු කුඩා කා අතරත් බහුලව දක්නට ලැබෙන රෝගයක් ලෙස ගැස්ට්‍රයිටීස් හැඳින්විය හැකිය. අතීතයට වඩා අද වන විට මෙම රෝගයේ වැඩි වීමක් ද දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී මෙම රෝගය අම්ල පිත්ත රෝගය ලෙස හදුන්වනු ලබයි.

ගැස්ට්‍රයිටීස් යනු කුමන රෝග තත්ත්වයක් ?

සරලව ම කියතොත් මෙය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා රෝගයක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ විට මෙම රෝගය නිසාවෙන් ගලනාලය, ග්‍රහණිය, ආමාශය යන ඉන්ද්‍රියන් දැඩි ලෙස පීඩාවකට ලක් වේ. මෙය සිදු වීමට බොහෝ සෙයින් ම බලපාන්නේ ආහාර ජීර්ණයට මූලික වන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ශ්‍රාවයේ සිදු වන යම් යම් වෙනස්වීම්ය. මෙම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්ද්‍රියන් තුවාල වේ. එම තුවාල තිබිය දී එන්සයිම ස්‍රාවය වන විට දී බඩේ දැවිල්ල ගතියක් ඇති වේ. ආමාශය ඇතුළත බිත්තිවලට දැඩි හානි සිදු වුවහොත් ඉතාමත් බරපතල ප්‍රතිඵල අත්විඳීමට සිදු වේ. විටෙක එම ප්‍රතිඵලය මරණය වුව ද විය හැකියි.

එසේම අප ගනු ලබන ආහාර ගලනාලයෙන් ආමාශයට ඇතුලු වන ස්ථානයේ කපාටයක් පවති. එම කපාටය මඟින් ආමාශය තුළ ඇති ආහාර ගලනාලයට ඒම වළකයි. නමුත් මෙම කපාටයේ ක්‍රියාකාරීත්වයේ ඇති වන යම් යම් අසමානතා නිසා ආමාශය තුළ තිබෙන අම්ලය ගලනාලයට අසාමන්‍ය ලෙස ගලා යෑමක් ද සිදු වේ. මෙහි දී ගලනාලය ඇතුළත බිත්තිවලට හානි සිදු වීමෙන් ගලනාලය ආසාදනය වීම, උගුරේ දැවිල්ල, ඔක්කාරය, වමනය ආදී රෝග ලක්ෂණ ඇති වේ. මේ නිසා ග්‍රහණියේ ඇතුළත බිත්ති හානි වීම හා ආසාදනයට ලක් වීම ද සිදු වේ. තව ද හෙලිකො බැක්ටර් නම් බැක්ටීරියාව නිසා ආමාශ බිත්තිවල තුවාල ඇති වීම මගින් ද ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වේ.

ගැස්ට්‍රයිටීස් ඇති වීමට බලපාන හේතු මොනවා ද?

මෙම රෝගය වැළඳීමට බලපාන හේතු කිහිපයකි.

  • නිසි වේලාවට ආහාර නො ගැනීම
  • තෙල් අධික ආහාර ගැනීම
  • මිරිස් අධික ආහාර ගැනීම
  • පිටි සහිත ආහාර අධිකව ආහාරයට ගැනීම
  • මානසික ආතතිය නිසා
  • අධික කාර්යබහුලත්වය
  • සමබල ආහාර වේලක් නොගෙන කෘත්‍රිම හා ක්ෂණික ආහාර රටාවකට හුරු වීම
  • නිසි ලෙස ජලය පානය නොකිරීම
  • අධික ලෙස මත්පැන් පානය කිරීම
  • ස්ටෙරොයිඩ් වැනි ඖෂධ වර්ග දිගු කාලීනව භාවිතා කිරීම (මෙම ඖෂධය ස්වසන රෝග සඳහා භාවිත කරන්නකි)

ගැස්ට්‍රයිටීස් රෝගයේ රෝග ලක්ෂණ මොනවා ද?

  • බඩ පුරවා දැමීම
  • කටට තිත්ත හෝ ඇඹුල් රස දැනීම
  • වමනය
  • ඔක්කාරය
  • ආහාර ගැනීමෙන් පසු වුව ද බඩ පුරවා දැමීම
  • ආහාර දිරවීමේ අපහසුතා
  • ආමාශ බිත්තිවල තුවාල හට ගැනීම
  • ආමාශ බිත්තිවල තිබෙන තුවාලවලින් ලේ ගැලීම
  • රුධිර වහනය නිසා රක්තහීනතාව ඇති වීම

මෙම රෝග ලක්ෂණ ඇත්නම් ගැස්ට්‍රයිටීස් රෝගය වැළඳී ඇති බව නිගමනය කිරීම නිවැරදි ද?

ගැස්ට්‍රයිටීස් රෝගය හඳුනා ගැනීම ඉතාමත් ම වැදගත්. මෙම රෝග ලක්ෂණ ඒ අයුරින් ම හෘද රෝගාබාධවල ද දක්නට ලැබෙනවා. හෘදයාබාධයක දී වුව ද බඩ පපුව දැවිල්ල ඇති වෙනවා.

එම නිසා මෙම රෝග දෙක වෙන් වෙන් ව හඳුනා නොගතහොත් ජීවිත හානි පවා වෙන්න පුළුවන්. එම නිසා රෝගියෙකු පරීක්ෂා කර ප්‍රථමයෙන් ම එම රෝගියාව ECG පරීක්ෂණයකට යොමු කර රෝග තත්ත්වය ගැස්ට්‍රයිටීස් ද නැද්ද යන්න නිගමනය කරනවා.

ඒ වගේම වෛද්‍යවරුන් UGI ක්‍රමය භාවිත කරනවා. මෙහිදී මුඛය තුළින් ගලනාලය ඔස්සේ කැමරාවක් සහිත කුඩා නළයක් ආමාෂයට යොමු කර ආමාෂ බිත්තිවල තත්තවය පරීක්ෂා කර බලනවා. මෙමඟින් ආමාෂ බිත්තියේ ඇති තුවාල පිහිටි නිවැරදි ම ස්ථානය, එම තුවාලවල ගැඹුර සහ ඒවා කෙතරම් දුරට විහිදී ඇති ද යන්න නිරීක්ෂණය කර එය නිවැරදිව ම ගැස්ට්‍රයිටීස් ද යන්න නිගමනය කළ හැකියි.

ගැස්ට්‍රයිටීස් රෝගියෙකුට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග මොනවා ?

Anta acid/antibiotics – මෙමගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සැර බාල කිරීමක් කරනු ලබයි.

Proton pump inhibitorsමෙමගින් ආමාශයේ ඇසිඩ් නිපදවනු ලබන සෛල අවහිර කිරීමක් කරනු ලබයි. බහුලවම භාවිත කරන proton pump inhibitors කණ්ඩයේ ඖෂධ වන්නේ Omeprazole (Prilosec), Protonix (pantoprazole) සහ Esomeprazole(Nexium) ය. මෙම ඖෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීම මඟින් අතුරු ආබාධ ඇතිවිය හැකිය.

ඒ වගේම Acid reducing medications, Ranitidine (Zantac) සහ  Famotidine (Pepcid) මෙම ඖෂධ මගින් ඇසිඩ්වල අධික සැර බාල කිරීමක් කරනු ලබයි.

ගැස්ට්‍රයිටීස් උත්සන්න වූ විට වේදනාව මඟ හරවා ගැනීමට භාවිත කරනු ලබන ඖෂධ දිගු කාලීනව භාවිත කිරිම සුදුසු ද?

එය අනුමත් කළ නොහැකි ක්‍රියාවක්. වෙළඳපොළේ දක්නට ලැබෙන තාවකාලික ප්‍රතිකර්මවලට යොමු වීම මගින් තාවකාලිකව සහනයක් ලැබුණ ද එය සාර්ථක ප්‍රතිකාරයක් නොවේ. මෙමගින් වනුයේ තාවකාලික ව අම්ලවල සැර බාල කිරීමක් පමණයි.

ගැස්ට්‍රයිටීස් නිසා ඇති වන අතුරු ආබාධ මොනවා ?

දිගින් දිගට ම ආමාශ බිත්තිවල තුවාල තිබීම මඟින් තුවාල තව තවත් වර්ධනය වී ආමාශය ඉරී යාමකට වුව ද ලක් විය හැකියි. එම නිසා උදරයේ අධික වේදනාකාරී තත්ත්වක් හට ගන්නවා. අධික රුධිර වහනයක් සිදු වුවහොත් මරණය පවා සිදු වෙන්න පුළුවන්. මීට අමතර ව මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයකු හට තම එදිනෙදා කටයුතු නිසි පරිදි කර ගැනීමේ අපහසුතාව, තමන්ට රුචි පරිදි ආහාර ගැනීමට නොහැකි වීම, මානසික මට්ටම පහත් වැටීම, නිසි පරිදි ආහාර ජීර්ණය නොවීම ආදි අපහසුතා ඇති විය හැකියි.

ගැස්ට්‍රයිටීස් පාලනය කළ හැකි ? එය සිදු කරන්නේ කෙසේ ද?

ඔව්, එය පාලනය හැකි රෝග තත්ත්වයක්. නමුත් මෙම රෝගයට ගොදුරු වු  පුද්ගලයෙකු වහාම ඉන් මිදීමට අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ගත් යුතුයි. ඒ වගේ ම පහත සඳහන් කරුණු පිළිපැදීමත් වැදගත්.

  • නිසි වේලාවට ආහාර ගැනීමට හුරු වීම
  • අධික තෙල් සහිත ආහාර ගැනීම සීමා කිරීම හෝ ඉන් වැළකී සිටීම
  • අධික මිරිස් සහිත ආහාර නොගැනීම
  • පිටි අධික ආහාර ගැනීම සීමා කිරීම
  • මධ්‍යසාර භාවිතය අවම කිරීම
  • යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම
  • දීර්ඝ කාලීනව ඖෂධ වර්ග භාවිත නොකිරීම
  • හැකිතාක් පිරිසිදු ජලය පානය කිරීම
  • ගැස්ට්‍රයිටිස් සඳහා ගැලපෙන ආහාර ලබා ගැනීම

මෙම කරුණු කෙරේ ඔබේ  අවධානය යොමු කිරීම මගින් ගැස්ට්‍රයිටීස් තත්ත්වය පාලනය කරගත හැකියි.

උපදෙස්:

වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර.
සටහන: අරුණි තිලෝකා රණවක