අවුරුද්දට ගම හරහා දුවන්න කලින් කළ යුතුම දේ

(ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

රජයේ රෝහල්වල ක්‍රියාත්මක වන 1246 කියලා යනු හදිසි දුරකථන අංකයක් යැයි ඇතැම් විට ඔබ සිතනවා විය හැකිය. එහෙත් එය දුරකථන අංකයක් නොව ඔබගේ සෞඛ්‍ය පිළිබද දැන හඳුනා ගන්නා අංකයකි.

මේ දිනවල මෙම අංකය ගැන වැඩි දෙනෙකු කථා කරන්නට පටන් ගෙන තිබේ. එම අංකයෙන් කියවෙන්නේ මැරතන් තරගයන් සඳහා එසේත් නොමැති නම් ගම හරහා දිවීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වන තරගකරුවන් විසින් ලබා ගත යුතු සෞඛ්‍ය වාර්තාවයි.

ඔබ  මැරතන් තරගයක් සඳහා හෝ ගම හරහා දිවීමේ තරග ඉසව්වක් සඳහා සහභාගි වීමට සූදානම් වන්නේ නම් ඊට සති දෙකකට පෙර ඊ.සී.ජී. වාර්තාවක් රැගෙන ළගම පිහිටි රජයේ රෝහලක සිටින දිස්ත්‍රික් ක්‍රිඩා වෛද්‍යවරයා වෙත යා යුතුය.

එම වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි කිසිදු රෝගී තත්වයක් පෙන්නුම නොකරන්නේ නම් ඔබට 1246 නැමැති පෝරමය නිකුත් කරනු ලැබේ.

එම පෝරමයේ ප්‍රශ්න 27ක් ඇතුළත්ය. එහි ඔබේ සහ ඔබේ මව හා පියාගේ රෝගී තත්ත්ව, ලේ ඥාතීන්ගේ රෝගී තත්ව ආදිය පිළිබඳ විමසයි. මෙහිදී වෛද්‍යවරයා විසින් ඔබේ රුධිර පීඩනය මැන බලයි. රුධිර පීඩනය  අඩුවීමක් හෝ වැඩි වීමක් සිදු වී ඇත්නම් ඔබට මැරතන් තරගයන් සඳහා සහභාගි වීමට ඉඩ ලබා නොදෙයි. රුධිර පීඩනය නියමිත මට්ටමේ පවතින සුදුසුකම් සපිරූ අයට පමණක් මැරතන් තරගය සඳහා අවසර ලබා දේ.

මෙම අවසරය ලබා දී සති දෙකක් යන තෙක් එම පුද්ගලයා තරග පුහුණුකරුවකු මගින් පුහුණුව ලබා ගත යුතු වන්නේය. එසේ පුහුණුකරුවෙක් නොමැතිව මැරතන් තරග සඳහා සහභාගි වීම මුළුමනින්ම තහනම්ය.

එසේ වුවද අපේ ගමේ අවුරුදු උත්සව සඳහා සහභාගි වන පුද්ගලයින්ට පුහුණුකරුවකු නොමැති බව රහසක් නොවේ. මෙවන් විටක තරගකරු තමන් ධාවනය වන දුර දිනපතා  ටිකින් ටික වැඩි කරමින් ධාවනයේ යෙදෙමින් තරගය සඳහා පුහුණු විය යුතුය.

මෙසේ සති දෙකක් තුළ පුහුණුකරුවෙකු යටතේ පුහුණුව ලැබීමෙන් හෝ තමන් තනිවම පුහුණු ලැබීමෙන් හෝ පසුව ක්‍රීඩා වෛද්‍යවරයා වෙත ගිය විට වෛද්‍යවරයා එක තැන දිවීම ඇතුළු ව්‍යායාම කීපයකට යොමු කරයි. එම ව්‍යායාමවල දී ඔහු මැරතන් තරගයට සුදුසු ද නැද්ද යන්න සලකා බලා වෛද්‍යවරයා වාර්තාව වාර්තාවක් නිකුත් කරයි.

මැරතන් තරගයක් උදේ 6ට ආරම්භ කර උදේ 7 වන විට අනිවාර්යයෙන්ම අවසන් කළ යුතුය. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අධික හිරු රශ්මිය නිසා ක්‍රීඩකයන්ට එල්ල විය හැකි බාධා අවම කර ලීම සඳහාය. කෙසේ නමුත් පසුගිය වසර කීපයක් තුළ දී මැරතන් තරග සඳහා සහභාගි වු තරගකරුවන් කීප දෙනෙකුම මිය ගිය අතර ඒ මරණඑවලට ප්‍රධාන හේතුව වූයේ හදිසියේ ඇති වූ හෘදයාබාද තත්ත්වය.

ඒ නිසා එලඹෙන අවුරුදු සමයේ මැරතන් හෝ ගම හරහා දීවිම යන ක්‍රීඩාවලට සහභාගී වීමට බලාපොරොත්තු වන සියලු දෙනා බෙහෙවින් සැලකිලිමත් විය යුතුය. ඒ සඳහා පෙර කී ආකාරයට ක්‍රීඩා වෛද්‍යවරයෙක් වෙත යොමු වී වෛද්‍ය පරික්ෂාවකට ලක් විය යුතුය. එමගින් ඔබේ වටිනා ජීවිතයත් ඔබේත් ඔබේ පවුලේත් ගමේත් අවුරුදු අසිරිය සහ සතුටත් රැක ගත හැකිය.

උපදෙස්

ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා‍
ගාල්ල කරාපිටිය රෝහල