ඇඟිලිකරු නරක් වෙනවා නම් මෙහෙම කරන්න

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න මහත්මිය සමග doctor.lk වෙබ් අඩවිය පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඇඟිලිකරු නරක් වීම කියලා හඳුන්වන්නේ කුමන රෝග තත්ත්වයක් ද?

බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබුණු රෝග තත්ත්වයක් ලෙස ඇඟිලිකරු අතර වණ වීම දැක්විය හැකිය. සරලව මෙය ඔවුන් හැඳින්වූයේ “ඇඟිලිකරු දියමිටියෝ කෑවා” යනුවෙනි.

වැසි කාලයට ඇඟිලි කරු නරක් වීම වැඩි ලෙස සිදුවන්නේ ඇයි?

මෙම රෝග තත්ත්වය ඇති වන්නේ ශරීරයේ අධික උෂ්ණත්වය නිසාය. මෙය උෂ්ණ කලාපවල වෙසෙන ජනයා අතර බහුලව සිදු වනවා දැක ගත හැකිය. බාහිර පරිසරයේ අධික උෂ්ණත්වයක් ඇති විට ශරීර උෂ්ණත්වයත් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී එම උෂ්ණය ශරීරයෙන් පිට වන්නේ පාදයට හානි සිදු කරමින්ය. එහිදී ඇඟිලිකරු අතර තුවාල ඇති වෙන්න පුළුවන්.

නමුත් වැසි කාලයේ දී එලෙස සිදු වන්නේ වෙනත් හේතු නිසාය. එලෙස සිදු වීමට බොහෝ දුරට බලපාන්නේ පරිසරයේ සිදුවන වෙනස් වීමකි. සමහර පුද්ගලයින්ගේ ශරීරයේ ඇති ඇලර්ජික් තත්ත්ව නිසා මෙලෙස සිදු වේ. එවිට සිදු වන්නේ සෛලවල වෙනස්වීමකි. බොහෝ දුරට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වන්නේ වැසි සහිත කාලගුණයක් සහිත අවස්ථාවල පාවහන් නො පළඳ මඩ මිශ්‍ර ජලයේ ඇවිද යාම නිසා සහ ඊට පසු හොඳින් පාද නො සේදීම යනාදී කරුණු නිසාය.

වැසි ජලය පිරිසිදු වුවත් ඒවා බිම ඇද හැලුණු පසු පරිසරයේ ඇති නොයෙකුත් දෑ සමඟ මිශ්‍ර වී අපිරිසිදු වීමකට ලක් වේ. මෙම ජලය බොහෝ විට පුද්ගලයින්ගේ පාදවලට අහිතකරය. එම ජලයේ ඇති නොයෙකුත් විෂබීජ නිසා පාදවලට හානි සිදු විය හැකිය. එහිදී පාද යුගල පරිස්සම් කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුය. පාවහන් නොමැතිව ඇවිදීමේ දී ඇඟිලිකරු අතර ඇති ඉතා සියුම් සම මත බැක්ටීරියා ආසාදනය වීමක් වී තුවාල හට ගන්න පුළුවන්.

මෙම රෝගයට අදාළ රෝග ලක්ෂණ මොනවා ?

  • ඇඟිලිකරු අතර සුදුමැලි ගතියක් ඇති වීම
  • පාදයේ ඇඟිලි රැළි ස්වභාවයක් ගැනීම
  • ඇඟිලිකරු අතර හම සුදු පැහැ ගනීම
  • ඇඟිලිකරු අතර පැසවීම
  • තුවාලය පැසවා සැරව මතු වීම

මේ නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු මොනවා ?

  • දියවැඩියා රෝගියෙකුට වැළඳුනු විට තුවාල සුව නොවීම
  • ඇඟිලිකරු අතර තුවාල ඇති වී සැරව ගලා දුර්ගන්ධ‍යක් හැමීම
  • නිරන්තරයෙන් කැසීම නිසා එම තුවාලවලින් රුධිර වහනය වීම‍
  • එදිනෙදා කටයුතු නිසි පරිදි කර ගත නොහැකි වීම

මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවා ?

මේ සඳහා කොන්ඩිස් සහිත ජලයෙන් පාදය හොඳින් සෝදා වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකිය. එසේම කැසීම අවම කිරීමට පිලිටන් වැනි ඖෂධ භාවිත කළ හැකිය.

වැසි සමයේදී මෙම රෝගයෙන් වැළකී සිටීමට ගත හැකි ක්‍රියා මාර්ග මොනවා ද?

  • නිවසින් බැහැර යන විට පාවහන් පැළඳීම
  • කකුල් හොඳින් සේදීම
  • මඳ රස්නය සහිත ඩෙටෝල් මිශ්‍ර ජල බේසමකට පාද දමා විනාඩි 5-10කට පමණ පසු ඉවතට ගෙන හොඳින් තෙත මාත්තු කිරීම
  • උෂ්ණාධික ආහාර පාන නොගැනීම

මෙම රෝගය චර්ම රෝග යටතට ගැනෙන නිසා ඒ පිළිබඳ ව ඉතා සැලකිලිමත් විය යුතු වේ. මුහුණ ගැන නිරන්තර අවධානයක් යොමු කරනවා මෙන් ම දෙපා සෞඛ්‍යය පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වේ.

උපදෙස්:

ඩී. කේ. එම්. එස්. කරුණාරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර.
සටහන: අරුණි තිලෝකා රණවක