(ඥාන) දත් කැක්කුම නිවසේදීම සුවකරන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් ඥාන දත් වැඩෙන්නට පටන් ගන්නේ වයස අවුරුදු 17-21 කාලයේය. එය බෙහෙවින් වේදනාකාරී විය හැකි අතර දවස පුරා ඔබ දැඩි ලෙස අසහනයට පත් කළ හැකිය. වේදනාව ඉතා ම දරුණු විය හැකි අතර ඔබට වෙන කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ නොදීමට ඉඩ තිබේ. මෙම වේදනාවෙන් මිදීමට මගක් ඇත්නම් ඔබ සතුටු වනු ඇත. ඥාන දත් වැඩීම නිසා දත් දිරාපත් වීමත් සිදු නොවුණ ද ඒ නිසා ඇති වන දත් කැක්කුම අතිශය වේදනාකාරී විය හැකිය.

හිරිවැටුම් ප්‍රතිකාරකයක් භාවිත කරන්න

බොහෝ ෆාමසිවල, සිල්ලර වෙළෙඳසැල්හි සහ සුපිරි වෙළෙඳසැල්හි නම්බ් ක්‍රීම් වර්ග තිබේ. නම්බ් ක්‍රීම් ස්වල්පයක් වේදනාව දැනෙන ප්‍රදේශයේ ආලේප කිරීමෙන් වරකට විනාඩි 30ක් පමණ දක්වා කාලයක් එම ප්‍රදේශය හිරිවැට්ට විය හැකිය.

ලුණු වතුරින් කට සෝදා දමන්න

මද උණු ලුණු වතුරින් ඔබේ මුඛය සෝදා දමන්න. ඔබට වෙනත් ප්‍රතිකාරවලට යොමු වීමකින් තොරව උණු ලුණු වතුර මගින් දත් කැක්කුම මදක් තුනී කර ගැනීමට හැකි වනු ඇත. ලුණු වතුර තප්පර තිහක් පමණ ඔබේ මුඛය තුළ සොලවා ඉවතට දමන්න. ලුණු වතුර නොගිල එළියට දැමීමට මතක තබා ගන්න.

වේදනා නාශක

වෙළෙඳපොළින් මිලට ගන්නා වේදනා නාශක ද ප්‍රයෝජනවත් විය හැකිය. Acetaminophen ඥාන දත් එන විට ඇති වන වේදනාව සමනය කළ හැකි වේදනා නාශකයකි. වේදනා නාශක බහාලනයේ සඳහන් ආකාරයට නියමිත මාත්‍රාව නියමිත වෙලාවට ගැනීම ඇතුළු උපදෙස් පිළිපැදිය යුතු ය. ඔබේ අවධානය යොමු විය යුතු අවවාදාත්මක ලේබලයක් වේදනා නාශක බෝතලයේ අලවා තිබිය හැකිය. ඔබට වෙනත් සෞඛ්‍ය ගැටලු ඇත්නම් වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඔබ දැනට වෙනත් රෝගාබාධයක් සඳහා ඖෂධ ගන්නා අතර දත් කැක්කුම සමනයට මිලට ගත් ඖෂධ ගැනීම නිසා හානිකර ඖෂධ ප්‍රතික්‍රියා ඇති විය හැකි දැයි වෛද්‍යවරයා ඔබට පවසනු ඇත.

නිවසේ දී කළ හැකි ප්‍රතිකාර

ඥාන දත් කැක්කුම සමනය කිරීම සඳහා බොහෝ ප්‍රතිකාර ක්‍රම නිවසේ දී ම කළ හැකිය. ඔබේ දත්වල යහපත සඳහා සුදු ලූනු හෝ රතු ලූනු සැපීම උචිතය. සුදු ලූනු ඔබේ දත් නීරෝගී කර ශක්තිමත් කරයි. විනාඩි තුනක් ලුනු සපන විට මුඛයේ ක්ෂුද්‍රජීවි සහ විෂබීජ මට්ටම පහත බසින බව සායනික පර්යේෂණවල දී තහවුරු වී තිබේ. වේදනාව දෙන ඥාන දත හෝ එහි විදුරු මස මත ලූනු පෙත්තක් තබන්න. මෙය ඥාන දත් කැක්කුම සමනය කර ගැනීම සඳහා භාවිත කළ හැකි ඵලදායි මාර්ගයකි.

කරාබු නැටි දත් කැක්කුම සහ දත් ආසදන අවම කර සහනය ලබා ගැනීම සඳහා නිවසේ දීම භාවිත කළ හැකි තවත් ප්‍රතිකාරයකි. කරාබු නැටි තෙල් කකියන ඥාන දතේ සහ ඒ අවට විදුරුමස මත තැවරිය හැකිය. එසේම කරාබු නැටි තෙල් සමග මිශ්‍ර කළ සුදු ලූනු හෝ සහිඳ ලුණු එම දතෙහි ආලේප කළ හැකිය. කරාබු නැටි තෙල් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ සහිඳ ලුණු තේ හැඳි කාලක් සමග මිශ්‍ර කළ හැකිය. මෙම මිශ්‍රණය කකියන දතෙහි සහ ඒ අවට විදුරුමස මත ආලේප කළ හැකිය.

(onlymyhealth.com වෙබ් අඩවියේ පළ වූ එම කර්තෘ මණ්ඩලයේ වත්සාල් ආනන්ද සම්පාදනය කළ How cure wisdom tooth pain නම් ලිපියේ අනුවාදයකි.)