දිනපතා වැඩිපුර වතුර බීමට හුරුවන්නට ක්‍රම 9ක්

ප්‍රමාණවත් තරම් වතුර පානය නොකිරීම සාධාරණීකරණය කිරීම පිණිස කියන නිදහස කරුණු අපි ඕනෑ තරම් අසා තිබේ. බොහෝ දෙනාට විවිධ හේතු නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මග හැරෙන අතර ඇතැම් විට අමතක වෙයි. නැතහොත් සඳහා වෙලාවක් නැත. එසේත් නැත්නම් එය නොතකා හරියි.

ජලය පානය කිරීමට යම් යම් අපහසුතා පැවතිය හැකි වුව ද නීරෝගී දිවි පෙවෙතක් ගත කිරීම ඔබට උවමනා නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. පුද්ගලයකු දිනකට වතුර කෝප්ප අටක් පානය කළ යුතු බව නිර්දේශ කර තිබුණ ද එය ඔබෙ දින චරියාව සහ ආහාර මත රඳා පවතියි. කෙසේ වුව ද දිනකට වතුර කෝප්ප 8ක් පානය කිරීම සපුරාගත නොහැකි ඉලක්කයක් සේ හැඟේ නම් කිසිවකු අධෛර්යට පත් විය යුතු නැත. ඉතා කාර්යබහුල සෞඛ්‍ය වෘත්තිකයෝ පවා මෙම ක්‍රමවේද 9 ඔස්සේ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට කාලය සොයා ගනිති.

වතුර බෝතලයක් රැගෙන යන්න

හැකි නම් සෑම විට ම වතුර ඔබ සමග තබා ගන්න. ඔබේ රැකියා ස්ථානයේ හෝ නිවසේ සිටින විට ජලය ළඟින් තබා ගන්න. කිසියම් කටයුත්තක් සඳහා බැහැර යන විට වතුර වතුර බෝතලයක් රැගෙන යන්න. ඔබේ ගමන් බෑගයේ වතුර බෝතලයක් තබන්න. එය නිතිපතා පුරවා තැබිය යුතුය. ඔබ ළඟින් වතුර බෝතලයක් ඇති විට සෝඩා, පැණි බීම හෝ වෙනත් කෘත්‍රිම පාන වෙනුවට වතුර බීමට ඔබ නැඹුරු වනු ඇත. එම වතුර බෝතලය දැකීම පවා ඔබ වතුර පානයට යොමු කරනු ඇත. තරමක් විශාල බෝතලයක් මිලට ගත හොත් නිතර නැවත පිරවීමට සිදු නොවන අතර දවස පුරා ජලය පානය කළ හැකිය.

සිහිගැන්වීමක් භාවිත කරන්න

ජලය පානය කළ යුතු බව සිහිපත් කිරීමට ඔබේ දුරකතනයේ හෝ පරිගණකයේ එලාම් එකක් තබා ගන්න. එම එලාමය පැයකට වරක් නාද වන ආකාරයට පිහිටුවා ගත හැකි අතර එමගින් දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට ඔබ යොමු වනු ඇත. ඔබ දුරකතන, පරිගණක භාවිත නොකරන්නේ නම් හෝ ඔබට එලාම් හඬ කරදරයක් ලෙස දැනේ නම් ඒ වෙනුවට වතුර පානය කළ යුතු බව සඳහන් දැන්වීමක් ඔබට පැහැදිලි ලෙස පෙනෙන තැනක අලවා තබන්න.

ඔබේ ජල පානය දුරකතන මෘදුකාංගයක් (apps) මගින් සලකුණු කරන්න

ජලය පානය කිරීමට අපට සිහිපත් කරන Waterlogged වැනි දුරකතන මෘදුකාංගයක් ඔබට භාවිත කළ හැකිය. දිනපතා පානය කළ යුතු ජල ප්‍රමාණය පිළිබඳ ඉලක්කයක් තබා ගැනීමට මෙන් ම එහි ප්‍රගතිය මැන බැලීමට ද ඉඩ ලබා දෙන දුරකතන මෘදුකාංග  තිබේ. මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබේ දෛනික ජල පානය වර්ධනය කර ගැනීමට හැකිය.

 

උදෑසනම අරඹන්න

ජලය පානය කිරීමට කාර්යාලයට පැමිණෙන තුරු නොසිට උදෑසන අවදි වූ වහා ඔබට වතුර වීදුරුවක් පානය කිරීමට නොහැකි ඇයි? රාත්‍රිය පුරා නිදා උදෑසන අවදි වන විට සිරුරේ ඇති වතුර හිඟය පිරවීමට එම වතුර වීදුරුව අවශ්‍ය වෙයි. එහි ප්‍රතුඵල සමග ඔබට දවසේ කටයුතු හොඳින් ආරම්භ කළ හැකිය.

කෑමට පෙර වතුර බොන්න

තුර යනු කෑමට පෙර ගන්නා කට ගැස්මක් යයි සිතා කෑමට පෙර වතුර පානය කිරීම පුරුද්දක් කර ගන්න. එමගින් ඔබේ සිරුරට උවමනා ජල ප්‍රමාණය ලැබෙනවා පමණක් නොව ඔබට ඉක්මනින් කුස පිරුණු බව දැනෙන නිසා වැඩිපුර ආහාර ගැනීමෙන් ඔබ වළක්වයි.

 

යම් රසකාරකයක් එකතු කරන්න

වතුර යනු අප එය පානය සඳහා පොළඹවන සුළු පානයක් නොවන නිසා වතුර සමග පළතුරු රසකාරකයක් එකතු කිරීමය නොහැකි ඇයි? පළතුරු රසකාරක වෙළෙඳපොළෙන් මිලට ගැනීම වෙනුවට වඩා ස්වාභාවික කොමඩු කැබලි ආදිය තෝරා ගන්න. ආකර්ෂණීය වතුර බෝතලයක් භාවිත කරන්න. සාමාන්‍ය ජලය පානයට වඩා එම රස ගැන්වූ ජලය පානයට ඔබ පෙලඹෙනු ඇත.

කාර්යාලට යන අතර වතුර බොන්න

ඔබ නිවසේ සිට කාර්යාලයට යන අතර සහ කාර්යාලයේ සිට නිවසට එන අතර කාලය තරම් ජලය පානය කිරීමට හොඳ අවස්ථාවක් තිබේද? ඔබ ඔබේම වාහනය පදවා ගෙන රැකියාවට යන්නේ නම් වතුර බෝතලයක් අසල තබා ගන්න. නැතහොත් ඔබේ වාහනය සඳහා ජල බෝතල් ඇසුරුමක් මිලට ගන්න. ඔබ දුම්රිය, බසය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම් වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකරන්න.

බටයක් (straw) භාවිත කරන්න

ඇතැම් විට ජලය ගිලීමට වඩා බටයක් ආධාරයෙන් පානය කිරීම පහසු විය හැකිය. ඔබේ ජලය වීදුරාවේ ‍ හෝ වතුර බෝතලයේ බටයක් ඇති විට ඔබ ඉක්මනින් සහ වැඩි පුර ජල ප්‍රමාණයක් පානය කිරීමට යොමු වනු ඇත. ඒ සඳහා වෛවර්ණ බට භාවිතය ප්‍රියජනක වනු ඇත.

ජලය පානය කිරීම ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කර ගන්න

ඔබ උදෑසන හෝ සැන්දෑ කාලයේ අනිවාර්යෙන් කරන කටයුතු තිබේ ද? දැනටමත් ඔබ අනුගමනය කරන එවැනි කටයුතුවලට වතුර එකතු කර ගැනීම ජල පානය පහසු වෙයි. ඔබ හැන්දෑවට රූපවාහිනය බලන්නේ නම් මේසය කොනක ඔබට පෙනෙන පරිදි ජල බඳුනක් තබා ගන්න. ඔබ සාමාන්‍යයෙන් උදෑසන තේ හෝ කෝපි පානය කරන්නේ නම් ඒ සඳහා වතුර නටන තුරු වතුර කෝප්පයක් පානය කරන්න. එවිට ජලය පානය කිරීම දවසේ සෙසු කටයුතු සේ ම දින චරියාවේ සාමාන්‍ය අංගයක් බවට පත් වනු ඇත.

(community.advanceweb.com වෙබ් අඩවියේ පළ වූ 9 Ways to Drink More Water Every Day නම් ලිපියේ අනුවාදයකි)