මේ දිනවල ළමුන් අතර බහුල ඩෙංගු නොවන උණට මෙහෙම කරන්න

(මේ දිනවල වෛරස් උණ රෝග දෙකක් පවතිනවා. එකක් ඩෙංගු වෛරස් උණ රෝගය අනික වෛරස් උණ රෝගය. එය ළමුන් අතර බහුලව දක්නට ලැබෙනවා. මේ ඒ පිළිබඳ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සමග doctor.lk කළ සාකච්ඡාවකි.) 

මෙම වෛරස් උණ රෝග දෙක අතර යම් සම්බන්ධතාවක් තිබෙනවාද?

ඔව්, මේ වෛරස් කාණ්ඩ දෙකින්ම සිදු වන්නේ එකම දෙයක්. ඒ කියන්නේ මේ රෝග දෙකම නිසා සිදුවන්නේ රුධිරයේ සුදු රුධිරානුවල හා රුධිර පට්ටිකාවල අඩුවීමයි. ඒත් ඩෙංගු වෛරසය ශරීර ගත වීමෙන් සිදු වන රුධිරානු හා පට්ටිකාවල අඩුව වඩාත් භයානකයි. එය ඇතැම් විට මරණය පවා ඇති කිරීමට හේතුවක් වෙනවා.

උණක් වැළඳුණොත් එය සාමාන්‍ය වෛරස් උණ ද එසේත් නොමැති නම් ඩෙංගු උණ ද යන්න නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද?

ඩෙංගු වෛරසය හේතුවෙන් උණ හට ගන්නේ නම් සුදු රුධිරානු හා පට්ටිකාවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා. මෙය දින තුනකට වඩා පවතින භයානක තත්වයක්. රුධිර පට්ටිකාවල හෝ සුදුරුධිරානුවල අඩුවක් රුධිර කාන්දුවකට හේතුවක් වෙනවා. මෙම තත්ත්වය ඇතැම් විට මරණය පවා සිදු කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඩෙංගු වෛරසය හේතුවෙන් ඇඟපතේ තදබල වේදනාවක් ඇති වෙනවා.

එහෙත් සාමාන්‍ය වෛරස් උණ රෝගය වැළඳුණේ නම් තදබල ලෙස ඇඟපතේ වේදනාවක් දැනෙන්නේ නැහැ. එසේම සුදු රුධිරානුවල හෝ රුධිර පට්ටිකාවල යම් අඩුවක් දක්නට ලැබුණත් එය ඉතාමත් ඉක්මනින් යථා තත්වයට පත් වෙනවා. දින කිහිපයකින් සුව අත හැරෙනවා. 

මෙම වෛරස් උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් රැක බලා ගත යුත්තේ කොසේ ද?

මෙවැනි උණ රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් සඳහා හැකි පමණ දියර වර්ග පානය සඳහා දිය යුතුයි. කැඳ වර්ග, තැඹිලි වතුර, දොඩම් යුෂ වගේම විවේකය උණ රෝගියෙකු සඳහා අනිවාර්ය වෙනවා. උණ රෝගය වැළඳුණු විට ඇඳට වී විවේක ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේ ම මේ උණ රෝගය බෝ වෙනවා. ඒ නිසා උණ වැළඳුණු අයකු නිවසට වී අන් අයට බෝ නොවන ආකාරයට සිටීම වැදගත්. පාසල් ළමයකුට උණ වැළඳුණොත් සුව වන තුරු පාසල් නොයවා නිවසේ නතර කර ගැනීම මගින් අනිත් ළමයින්ට රෝගය බෝ වීම පාලනය කරගන්න පුළුවන්.

උණ රෝගියෙකු සඳහා පැරසිටමෝල් ලබා දෙන්නේ නම් එය කෙසේ විය යුතුද?

පැරසිටමෝල් ලබා දෙන්නේ නම් එය රෝගියාගේ බරට අනුව ලබා දිය යුතුයි. කෙසේ වුණත් උණ රෝගියෙකුට ඩිස්ප්‍රීන් අඩංගු ඖෂධ ලබා දෙන්න එපා. යම් හෙයකින් ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්, රුධිර වහනයක් සිදු වෙන්නේ නම් ඩිස්ප්‍රීන් ඖෂධය භාවිත කිරීම නිසා එය වැඩි වීමක් විය හැකියි.

උපදෙස්
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා