හරි විදිහට දන්සැල් දෙන හැටි සහ දන්සැල් කන හැටි මෙන්න

(අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අධීක්ෂක ඩබ්. කේ. රත්නායක මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් දිල්හාන් කුලතුංග මහතා සමග doctor.lk පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

දන්සැලක් ලබා දීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු මොනවා ද?

දන්සැලක් ලබා දීමේ දී මූලිකව ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතී. ඒවා නම්,

  • දන්සැලේ ලබා දීමට බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න අදාළ පළමුව කොට්ඨාසයේ හෝ අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍යවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීම කළ යුතුයි.
  • අනතුරු ව මහජන සෞඛ්‍ය ඒකකයෙන් ලබා දෙන බලපත්‍රය ලබා ගත යුතුයි. අදාළ අවසර පත්‍රය ලබා තිබීම අනිවාර්යයි. එසේ නොමැතිව දන්සැල් පවත්වන්න බෑ.

එම අවසර පත්‍රය ලබා ගත් පසුව අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද?

එයින් පසු ආහාර සැකසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

පෞද්ගලික සනීපාරක්ෂාව
  • ආහාරපාන පිළියෙළ කිරීමට සම්බන්ධ වන අය ඒවා ආරම්භ කිරීමට පෙර සබන් යොදා හොඳින් දෑත් පිරිසිදු කරගත යුතුයි.
  • එමෙන් ම මුඛ ආවරණ, හිස් ආවරණ පැළඳ ආහාර පිළියෙළ කළ යුතුයි.
  • බෝවන රෝග සහිත පුද්ගලයින් ආහාරපාන පිළියෙල කිරීමට සහභාගී නොවිය යුතුයි.
  • මද්‍යසාර/දුම්වැටි පානය කරමින් බුලත්විට සපමින් දන්සැල්වල ආහාර පිළියෙළ කිරීම හෝ පිළි ගැන්වීම සිදු නොකළ යුතු වේ.
ස්ථානීය සනීපාරක්ෂාව
  • දන්සල සඳහා ආහාර පිළියෙළ කරන ස්ථානය අවට වැසිකිළි ආදිය නොතිබිය යුතුයි.
  • දූවිලි නො වදින ලෙස ආහාර පිළියෙල කළ යුතුයි.
  • කෘමිනාශක වැනි රසායනික වර්ග දන්සල අවට නො විදිය යුතුයි.
  • දන්සල පැවැත්වීමෙන් පසු කිසිදු අපද්‍රව්‍යයක් පරිසරයට මුදා නො හැරිය යුතුයි.
අමුද්‍රව්‍යයවල සනීපාරක්ෂාව
  • දන්සල සඳහා ආහාර පිළියෙළ කිරීමේ දී බැක්ටීරියා, දීලීර හෝ ගුල්ලන් ආදියෙන් තොර හොඳ තත්ත්වයේ අමුද්‍රව්‍යය භාවිත කළ යුතුයි.
උපකරණවල සනීපාරක්ෂාව
  • ආහාර පිළියෙළ කරගැනීමට යොදා ගන්නා උපකරණ, භාජන ආදිය මළකඩවලින් තොර පිරිසිදු උපකරණ විය යුතුයි.
  • සිසිල් බීම දන්සල්වල Ice දියවීම වැළැක්වීමට දහයියා භාවිත නො කළ යුතුයි.

දන්සැලක් ලබා දෙන නිසි ප්‍රමිතියක් තියෙනවා ?

අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රමිතියට අනුව කටයුතු කරනවා ද යන්න 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව විමස බලනවා. අදාළ ප්‍රමිතියකින් තොර ව දන්සැල් ලබා දී මහ ජනතාව අපහසුතාවට පත් කිරීමට කිසිදු අයිතියක් නැහැ. නියමිත උපදෙස් පරිදි අදාළ කොන්දේසිවලට යටත් ව දන්සැල පැවැත්වීම වැදගත්. මිනිසුන්ට ප්‍රියමනාප ලෙස ආහාර ගතහැකි ස්ථානයක් වීම වගේම පරිසරයට කිසිදු බලපෑමක්/හානියක් නොවන ලෙස දන්සල් පැවැත්වීමත් වැදගත්.

අදාළ කොන්දේසි පැනවීමක් මහජන සෞඛ්‍ය නිලධාරීන් සිදු කරනවා ද?

ඔව්. එය ඉතාමත් පැහැදිලි දැනුම්වත් කිරීමක් ලෙස නම් කළ හැකියි. දන්සැල පිළිබඳ මහජන සෞඛ්‍ය ඒකකය දැනුම්වත් කිරීමෙන් අනතුරුව බලපත්‍රය ලබා දීමේ දී දන්සැල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ව උපදෙස් පත්‍රිකාවක් ඔවුන්ට ලබා දෙනවා. එම උපදෙස් අදාළ පාර්ශවන් විසින් අකුරටම පිළිපැදිය යුතුයි. එලෙස ලබා දෙන උපදෙස් පත්‍රිකාව මහ ජනතාවට හොඳින් ප්‍රදර්ශනය වීමට දන්සැල ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම ද ඉතාමත් ම වැදගත්. එය මහ ජනයාගේ විශ්වාසය ලබා ගැනීමටත් වැදගත්.

එම කොන්දේසි මොනවා ?

  • ආහාරපාන පිළියෙළ කරන ස්ථානය ඉතාමත් ම පිරිසිදු විය යුතු වේ.
  • සතුන් එම ප්‍රදේශය අවට නොගැවසිය යුතු වේ. (උදාහරණ ලෙස:- සුනඛයින්, බළලුන් ආදී සතුන්)
  • ආහාර පිසීමට භාවිත කරන බඳුන් ඉතාමත් පිරිසිදු තත්ත්වයෙන් පැවතිය යුතු වේ.
  • පිරිසිදු පානීය ජලය භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.
  • ආහාරව තත්ත්ව පරීක්ෂා කොට පිළිගැන්වීම සිදු කළ යුතු වේ.
  • පිරිසිදු එළවලු, පළතුරු, සහල් ආදිය භාවිත කළ යුතු වේ.

මෙම කරුණු මූලිකම වන අතර මෙම නිර්නායක දන්සැලේ ලබා දෙන ආහාර පාන අනුව වෙනස් වේ. (උදාහරණ ලෙස:- බීම වර්ග, අල බතල ආදිය)

දන්සැල්වලින් ආහාර ලබා ගැනීමේ දී ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු මොනවා?

ප්‍රධාන වශයෙන් ම ජනතාව තම තමන්ගේ සෞඛ්‍ය මට්ටම පිළිබදව හොඳ සැලකිල්ලකින් පසුවීම ඉතාමත් ම වැදගත් වෙනවා. දන්සැලකින් ආහාර හෝ වෙනයම් දෙයක් ලබා ගන්නේ නම් මෙම කරුණු පිළිබඳ දැනුම්වත් ව සිටීම ද ඉතාමත් වැදගත් වේ.

  • අදාළ දන්සැල ලියාපදිංචි වුවක් ද නැද්ද යන වග.
  • දන්සැල නිසි පිරිසිදුභාවයකින් යුක්ත ද නැද්ද යන වග.
  • ආහාර පාන නිසි පරිදි ආවරණය කර තිබෙද යන වග.
  • බීම දන්සැලක නම් බීම ලබා දෙන කෝප්ප නිසි ලෙස පිරිසිදු කරනවාද නැද්ද යන්න.
  • ආහාර පාන පිළියෙළ කරන වට පිටාව පිරිසිදු මට්ටමක තිබේ ද යන වග.

රසකාරක ද්‍රව්‍ය භාවිත කිරීම සුදුසු ?

එය සිදු කළ යුතු ආකාර කිහිපයක් ම තියෙනවා. රසකාරක භාවිත කරන්නේ නම් එය කළ යුතු වන්නේ අනුමත රසකාරක පමණයි. එසේ නොමැතිව තම තමන්ගේ රුචිකම් අනුව රසකාරක භාවිත කිරීම තහනම්. උදාහරණ ලෙස අජිනමොටෝ වැනි රසකාරක භාවිත කිරීම තහනම්. ඒ වගේම කල් ඉකුත් වූ වර්ණක හා රසකාරක භාවිත කිරීමත් තහනම්.

අදාළ උපදෙස් පිළිනොපදින පුද්ගලයන්ට එරෙහිව නිතීමය ක්රියාමාර්ග ගැනීමක් සිදු කරනවා ?

දන්සැලක් ලබා දීම වෙළඳ අරමුණක් මූලික කරගෙන සිදු කරන්නේ නෑ. එම ක්‍රියාව ශ්‍රද්ධාවෙන් සිදු කරන නිසා යමෙකුගෙන් යම් අතපසුවීමක් වූ පමණින් ම නිතීමය ක්‍රියාමාර්ගන්නේ නෑ. එම අතපසු වීම නිවැරදි කර ගෙන දන්සැල් පවත්වා ගෙන යාමට අවසරය ලබා දෙනවා. නමුත් උපදෙස් නොපිළිපදිමින් දිගින් දිගටම වැරදි සිදු කරන්නේ නම් බලපත්‍රය අහෝසි කිරීමට සිදු වෙනවා. ඔවුන්ට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගැනීමටත් පසුබට වන්නේ නැහැ.

දන්සැල් සමයේ මහ ජනතාවගේ සෞඛ් මට්ටම යහපත් අන්දමින් පවත්වා ගැනීමට ගනු ලබන ක්රියා මාර්ග මොනවා ?

අපි බලපත්‍ර නිකුත් කිරීමේ සිට දන්සැල් ලබා දෙන මොහොත දක්වා ම විශේෂිත වූ අවධානයකින් පසු වෙනවා. නැතිනම් මහ ජනතාවට එය අහිතකර බලපෑමක් ඇති කරවන්න පුළුවන්. දන්සැලක ප්‍රමිතිය උපරිම අන්දමින් පවත්වා ගෙන යෑමට අප ඉතාමත් පුළුල් වශයෙන් ඇප කැප වෙනවා. ඒ සඳහා,

  • දන්සල පවත්වන අය දැනුම්වත් කිරීම හා බලප්‍රදේශයේ MOH කාර්‍යලයේ ලි‍යාපදිංචි කිරීම.
  • අත්පත්‍රිකා, බැනර්, පෝස්ටර් මගින් දන්සල්වල ප්‍රමිතිය පිළිබඳ මහ ජනතාව දැනුම්වත් කිරීම.
  • නිරතුරුව දන්සල් පරීක්ෂා කිරීම.
  • අවශ්‍ය වූ විට අදාළ උපදෙස් පිළි නොපදින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම

උපදෙස්:
ඩබ්. කේ. රත්නායක
මහජන සෞඛ්‍යය පරීක්ෂක අධීක්ෂක
නුවන් දිල්හාන් කුලතුංග
මහජන සෞඛ්‍ය පරීක්ෂක
මහ නගර සභාව
අනුරාධපුර.
සටහන: අරුණි තිලෝකා රණවක.