දිය රකුසාට බිලි නොවී දිය නාමු

දියේ ගිලීම සිදුවන අවස්ථා මොනවා ද?

වර්තමානයේ දී දියේ ගිලීම නිසා සිදුවන මරණ ගැන බෙහෙවින් අසන්නට ලැබේ. මෙම මරණ බොහෝ විට සිදුවන්නේ පිහිනීමට නොදන්නා අයෙක් දියට බැසීමෙන් හෝ එම පුද්ගලයා අනතුරට පත් වූ විට බේරා ගැනීමට දියට බසින පුද්ගලයා සතු යම් නොදැනුවත්කම් හේතුවෙනි. දියේ ගිලීම සිදුවන අවස්ථා රාශියකි.

  • බිමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිත කර දියට බැසීම.
  • මතුපිට පැහැදිලිව දර්ශනය නොවන ගැඹුරු ජලාශ, දිය පහරවල ස්නානයට යාම.
  • දිය සුළි ආදී ස්නානය කරන ජල ප්‍රදේශයේ අනතුරු පිළිබඳව නොදැන දියට බැසීම.
  • පිහිනීමට නොදන්නා අය ගැඹුරු දියට බැසීම.
  • බෝට්ටු ආදියේ ගමන් කිරීමේ දී ජීවිතාරක්ෂක කබා (life jackets) නොපැළඳීම.
  • ජල ක්‍රීඩා කරන කුඩා දරුවන් පිළිබඳව අවධානය යොමු නොකිරීම.

දියේ ගිලුණු පුද්ගලයෙකුගේ ජීවිතය ගළවා ගැනීමට ලබා දිය යුතු ප්‍රථමාධාර මොනවා ද?

යම් පුද්ගලයෙකු දියේ ගිලුණු විට, පෙනහලු ජලයෙන් පිරෙන අතර රුධිරයට අවශ්‍ය ඔක්සිජන් ලබාගත නොහැකිව මොළයට ගමන් කරන රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වී සිහි විසඥ වී හදවත ද නවතී. එනිසා දියේ ගිලුණු පුද්ගලයෙකු බේරාගත් විට ලබා දෙන ප්‍රතිකාර මත ඔහුගේ ජීවිතය තීරණය වන බව කිව හැකියි.

එම පුද්ගලයා ගොඩ ගත් වහාම ඔහුගේ හුස්ම ගැනීම පරීක්ෂා කර බලා පෙනහලුවල ජලය ඉවත් වීමට සලස්වා කෘත්‍රිම ශ්වසනය හෙවත් ‘mouth to mouth respiration’ (මුඛයෙන් මුඛයට) ලබා දිය යුතුයි. එසේම ඔහුගේ ශරීරයේ පිටින් තුවාල ඇත්නම් ඒවා නිසි පරිදි වෙලා හැකි තාක් ඉක්මනින් රෝහලක් වෙත ගෙන ආ යුතුයි.

යම් පුද්ගලයෙකු දියේ ගිලෙන විට අනෙක් පුද්ගලයන් ක්‍රියා කළ යුතු ආකාරය කෙබඳු ද?

යම් පුද්ගලයෙකු දියේ ගිලෙන විට අනෙක් පුද්ගලයන් කලබල වී ඔවුන් ද දියට බැසීමෙන් වැළකිය යුතුයි. කඹයක් හෝ රිටක් වැනි දෙයක් භාවිත කර ගිලීමට යන පුද්ගලයා ගොඩට ගැනීමට උත්සහ කළ යුතුයි. එසේම දිය දහරාවකට හසුවූ පුද්ගලයෙකු ඉන් විරුද්ධ දිශාවට පිහිනිමට උත්සහ කිරීම නිසා විඩාවට පත්වී අවසානයේ ගිලි මිය යාමට ඉඩ ඇති බැවින් අනෙක් පුද්ගලයන් ඉහත කී ලෙස අවස්ථාවෝචිතව ක්‍රියා කිරීම වැදගත් වේ. මීට අමතරව ස්නානය කරන ප්‍රදේශය ආශ්‍රිතව ජිවිතාරක්ෂකයින් සිටි නම් ඔවුන් කැඳවිය හැකියි.

දියේ ගිලීම වළක්වා ගත හැකි ක්‍රම මොනවා ද?

ඉහත කී ලෙස නොදැනුවත්කම හා අපරීක්ෂාකාරී බව නිසා බොහෝ දෙනෙකු මරණයට පත්වේ. එවැනි විනාශයන් සිදුවීමට පෙර ජීවිතාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර ක්‍රියා කිරීම වැදගත් වේ.

ගංගා,වැව්,මුහුදු වැනි විවෘත ජල මුලාශ්‍රවල ස්නානය කිරීමේදී මෙන්ම බැමි රහිත ළිං, තටාක ආදිය ආශ්‍රිතව ගැවසීමේ දී පරිස්සම් වන්න.

  • ළමුන්ට කුඩා කළ සිටම පිහිනීමේ පුහුණුව ලබා දෙන්න.
  • මත්ද්‍රව්‍ය භාවිත කර දියට බැසීමෙන් වළකින්න.
  • බෝට්ටුවල ගමන් කිරීමේ දී සෑම විටම ජීවිතාරක්ෂක කබා (life jackets) පළඳින්න.
  • විනෝද චාරිකා යන විට අධික දාහය හා තෙහෙට්ටුව ඇති වුවද පාළු, අනාරක්ෂිත හා නොදන්නා ස්ථානවලින් ස්නානය කිරීමෙන් වළකින්න.
  • තමන්ට අනතුරක් නොවන පරිදි දියේ ගිලුණු අයෙකු බේරා ගැනීමට කටයුතු කරන්න.
  • ජලයේ සිටින ඔබේ දරුවා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්න.

යම් අයෙකු දියේ ගිලුණු විට ඒ පිළිබඳව දැනුම් දිය යුතු වැදගත් අංශ මොනවා ද?

ඔබ නොදන්නා ප්‍රදේශයක දී හෝ වේවා දන්නා ප්‍රදේශයක හෝ වේවා ඔබ පිහිනීමට නොදන්නේ නම් දියේ ගිලුණු පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට දියට බැසීමට පෙර අසල සිටින යම් අයෙකුගේ සහය ලබා ගන්න. එසේම, ඒ අසල ජීවිතාරක්ෂක කණ්ඩායම්, පොලිස් නිළධාරීන් සිටී නම් ඔබට ඔවුන් ද දැනුම්වත් කළහැකියි.

ඔබ එසේ සිදු කළ යුත්තේ එකී පුද්ගලයා බේරා ගැනීමට දියට බැසීම ඔබගේ ජීවිතය ද අනතුරේ හෙළන ක්‍රියාවක් වන නිසායි. එනිසා, මේ අවුරුදු සමයේ දී ඔබ විනෝද ගමන්, නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වලට හෝ බෝට්ටු සවාරි ආදිය ගොස් නොදන්නා හා අනාරක්ෂිත ජල මුලාශ්‍ර ආශ්‍රිතව ගැවසෙන්නේ නම් මෙකී කරුණු සම්බන්ධව අවධානය යොමු කොට කටයුතු කිරීම වැදගත් වේ.

උපදෙස්


වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර
වෛද්‍ය නිලධාරී
රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව
මාලදෙනිය.
ලිපිය සැකැසුම:
නවෝදා දියාලගොඩ