ලේ දන්දීම පිළිබඳ වැරදි මත තුනක්

(පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ රුධිර පාරවිලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී කරුණාධිපති මහතා සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි.)

රුධිරය දන් දිමේ ඇති වැදගත්කම කුමක් ද?

ඇතැම් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම් අතරවාරයේ  සමහර රෝගීන්ට රුධිරය ලබා දීමට සිදුවන අවස්ථා ද පවතී. විශේෂයෙන්ම හෘද සැත්කම්, පිළිකා සඳහා වූ ප්‍රතිකාර ක්‍රම යනාදීන් රුධිරය නොමැතිව කළ නොහැකිය. පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කිරීමට ප්‍රථම එම පිළිකා රෝගියාගේ රුධිර වර්ගය ගබඩා කර තිබෙන බවට සහතිකව තිබිය යුතුය.

ඇතැම් සැත්කම්වලදී රෝගියාගෙන් වැඩි වශයෙන් රුධිරය වහනය වන අවස්ථා පවතින අතර‍‍‍‍‍ එහිදී  ද රෝගියාට නැවත රුධිරය ලබා දීමට සිදු වේ. එබැවින් සැත්කමක් කිරීමට නියම වූ සෑම රෝගියෙකුටම එම සැත්කමෙහි ස්වරෑපය අනුව ඔහුගේ රුධිර වර්ගයට අයත් රුධිරය, සැත්කමට පෙර සූදානම් කර තබයි.

හදිසි අනතුරුවලදී අධික රුධිර වහනය වූ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීමට ද හැකි වන්නේ රෝගියාට නැවත රුධිරය ලබා දුනහොත් පමණි. කෙතරම් දක්ෂ වෛද්‍යවරුන් මෙන්ම සියලුම වෛද්‍ය පහසුකම් තිබුනත් ඇතැම් සැත්කම්වලදී රෝගියාට රුධිරය ලබා නොදුන හොත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වේ. රෝහලක ලේ බැංකුවක් යටතේ අවශ්‍ය ප්‍රමාණයට රුධිරය ගබඩාකර තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා ය. එය කළ හැකි වන්නේ රුධිර දායකයින්ගේ උනන්දුව සහ දායකත්වය මත පමණි.

මෙහිදී කිව යුතු වැදගත් කරුණක් ඇත. රුධිර දායකයින්ගෙන් අප ලබා ගන්නා රුධිරය මූලික වශයෙන් රතු රුධිර සෛල, රුධිර පට්ටිකා, සුදු රුධිරානු සහ රුධිර ප්ලස්මාව ලෙස සංඝටක හතරකට වෙන් කරයි. මෙම එක් එක් සංඝටකයන් ලබා දෙන්නේ රෝගී තත්ත්වො හතරක දී ය. රතු රුධිරානු අවශ්‍ය වන්නෙ රක්තහීනතාවෙන් යුතු රෝගීන්ට ය. රුධිර  පට්ටිකා අවශ්‍ය වන්නෙ රුධිර පට්ටිකා අඩු වූ ඩෙංගු වැනි රෝගී තත්ත්වලදී ය. සුදු රුධිරානු ලබාදීම සිදු වන්නෙ පිළිකා රෝගීන් සඳහා වූ ප්‍රතිකාරවලදී ය. රුධිරය කැටි ගැසීමේ දුර්වලතා ඇති රෝගීන් සඳහා රුධිර ප්ලස්මාව ලබා දීම සිදු වේ. එබැවින් රුධිර දායකයකුගෙන් ලබා ගන්නා රුධිරය එකිනෙකට වෙනස් රෝග තත්ව සහිත වූ රෝගීන් සිව් දෙනෙකුට ලබා දෙනු ලැබේ. ඒ සියල්ලක්ම එකවර එක් පුද්ගලයකුට ලබා දීමට සිදුවන්නේ  ඉතාමත් කලාතුරකිනි. එබැවින් රුධිර දායකයෙක් එක් වරක් රුධිරය දන් දෙනවා යනු ජීවිත හතරක් රැක ගැනීමට දායක වූවා හා සමාන ය.

මිනිස් රුධිරය හා සමාන කළ හැකි කිසිදු ආදේශකයක් මෙතෙක් ලොව හඳුනාගෙන නොමැත. විද්‍යාව හා තාක්ෂණයෙ දියුණුවෙන් ශරීරයේ ඇතැම් කොටස් නිර්මාණය කිරීමට හැකි වුව ද මිනිස් රුධිරය නිෂ්පාදනය කළ හැකි ක්‍රමවෙදයක් ද තවමත් ලොව බිහිවී නැත. පුද්ගල ජීවිතයක වටිනාකම පිළිබඳ කතා කිරීමෙදී රුධිරය සම්පතක් ලෙස සැළකෙන්නේ එබැවිනි. ජීවිතයක් බෙරා ගැනීම වෙනුවෙන් ඔබටත් රුධිරය දන් දිය හැකි නම් සැබවින්ම එය මනුෂ්‍යත්වය තුළින්  ඉටු කළ හැකි උතුම් වූ පුන්‍ය ක්‍රියාවකි. එමෙන් ම මිල කළ නොහැකි මහඟු සත්කාරයකි.

රුධිරය ලබා දීම සඳහා පුද්ගලයකු සතු විය යුතු අවම සුදුසුකම් මොනවා ?

  • වයස අවුරුදු 18ටත් 55 අතර බර කිලෝ ග්‍රෑම් 50ට වැඩි නිරෝගී ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයේ ඕනෑම අයෙකුට රුධිරය ලබා දීමට හැකිය.
  • නිධන්ගත රෝගවලින්  තොර වීම. රුධිරය ලබා දෙන කාල සීමාව තුළ කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝගයක් පවා නොතිබීම.
  • රුධිර දායකයාගේ රුධිරයෙහි හිමොග්ලොබින් ප්‍රමාණය 12.5ට වඩා වැඩියෙන් පැවතීම.
  • විවිධ රෝග සඳහා ඖෂධ වර්ග පාවිච්චි කරන පුද්ගලයකු නම් එම රෝගී තත්ත්වය සහ පාවිච්චි කරන ඖෂධ වර්ග පිළිබඳ විමසා බලා ඔහු රුධිර දායකයකු වීමට සුදුසුද නැත්ද යන්න තීරණය කරනු ලබයි.

ඒ ඒ රුධිර වර්ග ලබා දිය හැක්කේ කුමන රුධිර වර්ග හිමියන්ට ද?

ඒ, බී, ඒබී සහ ඕ යන රුධිර වර්ග හතරට අයත් පුද්ගලයන්ට එම වර්ගයේ රුධිරය ලබා දෙයි. ඕ රුධිර වර්ගය ඕනෑම රුධිර වර්ගයක අයෙකුට ලබා දිය හැකි අතර ඒබී රුධිර වර්ගයේ අයට අනෙක් සියලුම රුධිර කාණ්ඩයක රුධිරය ලබා ගත හැකිය. මෙහිදී ආර් එච් රුධිර ගණයද සලකා බලනු ලැබේ. ඒ හැරෙන්නට පුද්ගලයකුගේ රුධිර වර්ගයට අයත් නොවන වෙනත් රුධිර වර්ගයක් ශරීර ගත කළ හොත් ජීවිත හානියක් පවා සිදු වීමට ඉඩකඩ පවතී.

රුධිරය දන් දීම හා සම්බන්ධ සමාජයෙ පවතින වැරදි මත මොනවා ?

ශරීරය මහත් වීම

ලේ දන් දීම හේතුවෙන් ශරීරය මහත් වන බවට ඇති කාරණාව හා සම්බන්ධව කිසිදු විද්‍යානුකූල සත්‍යතාවක් නොමැත. පුද්ගලයෙක් ලේ දන් දීමෙන් පසු මහත් වේ නම් ඊට ප්‍රධානම හේතුව  වන්නෙ  ඔවුන්ගේ ආහාර රටාවයි. ලේ දීම හේතුවෙන් පෝෂණ කොටස් ශරීරයෙන් ඉවත් වූ බවත් නැවත ඒ පෝෂණය ශරීරයට ලබා ගැනීමටත් යැයි සිතමින් ඇතැමුන් වැඩිපුර ආහාර ලබා ගනී. එම ආහාර ගැනීමේ රටාව දිගු කාලීනව පැවතුනහොත් බර වැඩි වීම සිදුවීමට පුළුවන. නමුත් එය ලේ දන් දීම හා සම්බන්ධයක් නැත.

විවිධ රෝග බෝ වීම

රුධිරය ලබා ගැනීමෙදී භාවිත කරනුයේ  විෂබීජ හරණය කරන ලද උපකරණයි. එමෙන්ම යොදා ගන්නා ඉඳිකටු (Needles), සිරින්ජර් (Syringers) මෙන්ම රුධිරය ලබා ගන්නා බෑගයද (Blood bag) එක්වරක් එක් අයෙකු වෙනුවෙන් පමණක් යොදා ගන්නා ඒවා ය. එබැවින් ලේ දන් දීමේ දී ඒඩ්ස් වැනි රුධිරය හරහා බෝවන රෝග වැළඳෙන්නට ඉඩක් නොමැත.

දිගින් දිගටම කළ යුතු දෙයක් බවට පත්වීම

ලේ දන් දීම කිහිප වරක්ම සිදු කර අතරමග දී නතර  කළහොත් එය ශරීරයට අහිතකරවන බවට ද මතයක් පවතී. නමුත් මෙම කාරණාවේ ද කිසිම සත්‍යතාවක් නොමැත. ශරීරයක රුධිරය නිපදවෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණි. එබැවින් පුද්ගලයෙක් නිරන්තරයෙන් ලේ දුන් පමණින් එය නොකඩවා කළ යුතු දෙයක් හෝ ඉන් කිසිම හානියක් හෝ එම පුද්ගලයාට සිදු වන්නේ නැත. ඔහුට හෝ ඇයට ඕනෑම අවස්ථාවක දී ලේ දීමෙන් වැළැකී සිටීමට හැකිය.

රුධිරය ලබා දෙන අයෙක් රුධිරය ලබා දීමට පෙර සහ පසු සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද?

පෙර

රුධිර දායකයා ලේ දන් දෙන දිනයට පෙර දින රාත්‍රීයෙදී අවම වශයෙන් පැය 6ක් වත් නිදා ගැනීම වැදගත් ය. එමෙන්ම වෙහෙසකර කටයුතුවල නොයෙදී සිටිය යුතුය. රුධිරය ලබා දීමට පැය භාගයකට ප්‍රථම ආහාර ගෙන සිටීම මෙන්ම පිරිසිදු වතුරු වීදුරුවක් පානය කිරීමද වඩාත් යෝග්‍ය වේ.

පසු

ලේ දන් දී පළමු විනාඩි 20 හොඳින් විවේක ගැනීම ද වැදගත්ය. සාමාන්‍යයෙන් ලේ දන් දෙන අයෙකුගෙන් මිලි ලීටර් 450ක (450ml) පමණ රුධිර ප්‍රමාණයක් පරිමාවක් ලබාගනී. ශරීරයෙන් අඩු වූ එම රුධිර පරිමාව නැවත යථා තත්වයට පත්වීමට දියර වැඩිපුර අවශෝෂණය කරගත යුතුය. මේ සඳහා  පළමු පැය 12 – 24 ඇතුළත වැඩිපුර දියර වර්ග පානය කිරීම වැදගත් වේ. ලේ දුන් දිනයෙදී පිහිනීම, වාහනයක් පැදවීම වැනි අධික වෙහෙසකර කාර්යයන්ගෙන් වැළකී සිටිය යුතුය. ඒ හැරුණු විට සාමාන්‍ය දෛනික කටයුතු පමණක් නිරත වී වැඩි විවේකයෙන් සිටීමට හැකි නම් වඩාත් යෝග්‍ය වේ.

රුධිරය දන් දීම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වේද?

ලේ දන් දුන් පමණින් කිසිදු රෝගී තත්වයන් හෝ සෞඛ්‍ය ගැටලුවක් ඇතිවන්නේ නැත. පුද්ගලයෙකුගෙන් රුධිරය ලබා ගන්නේ ඔහුට හෝ ඇයට පෙර පැවති රෝගී තත්වයන් පිළිබඳ විමසා බලා මෙන්ම එම දිනය ඇතුළත ඔහු හෝ ඇයට ඇති වන ශාරීරික අපහසුතා පිළිබඳ විමසා, ඔහු රුධිරය දීමට සුදුසු තත්වයේ සිටින බවට තහවුරු වූ පසුවයි.

එමෙන්ම පුද්ගලයකුගෙන් රුධිරය ලබා ගැනීම සිදු කරන්නේ ඉතාමත් ආරක්ෂාකාරී ලෙසින් ය. එබැවින් රුධිරය ලබා ගන්නා ආකාරයෙන් ද රුධිර දායකයෙකුට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවේ.

රුධිර දායකයන් අතර බහුලව දැකිය හැකි සංකූලතාවක් වන්නේ රුධිරය දෙන අවස්ථාවේ දී කලන්තය සෑදීමයි. රුධිර දායකයා රුධිරය දෙන මොහොතෙදී එවැනි තත්වයකට පත් වුවහොත් ඊට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාරයන් ලබා දෙන අතර එම තත්ත්වය ද රුධිර දායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දිගු කාලීනව අනතුරුදායක වන්නේ නැත.

උපදෙස්

රුධිර පාරවිලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී කරුණාධිපති
ලේ බැංකුව
පේරාදෙණිය ශික්ෂණ රෝහල
සටහන – පවනි විමංසා කවිරත්න