සිඟිත්තාට උණ වලිප්පුව හැදුණොත් මෙහෙම කරන්න  

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න මහත්මිය සමග doctot.lk කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

ඔබේ සුරතල් සිඟිති දියණිය හෝ පුතාගේ වයස මාස 6ත් අවුරුදු 5ත් අතර නම් ඔහුට හෝ ඇයට උණ රෝගය වැළදුණහොත් ඒ පිළිබඳ ව විශේෂ අවධානයකින් සිටිය යුතු වේ. අධික උණ සහිත තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එය වලිප්පුවට හැරේ.

මෙම රෝගය උණ වලිප්පුව ලෙස හඳුන්වනු ලැබේ. නමුත් මෙම රෝගය මීමැස්මොරය හා අපස්මාරය මෙන් දරුණු තත්ත්වයේ වලිප්පු රෝගයක් නොවේ. මෙම උණ වලිප්පුව නිසා ඔබේ දරුවාගේ මොළයට කිසිඳු හානියක් ද සිදු නොවේ. නමුත් බිළින්ඳාගේ උණ තත්ත්වය හැකි ඉක්මනින් ම පාලනය කළ යුතු වේ.

ළඳරුවකුට මෙම රෝග තත්ත්වය වැළඳී ඇති බව හඳුනා ගන්නේ කෙසේ ?

ඔබේ දරුවාගේ සිරුරේ පහත දැක්වෙන වෙනස්කම් දක්නට ලැබෙන්නේ නම් එය උණ වලිප්පුව වීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවති.

  • අධික උණ
  • අධික ලෙස සිරුර උණුසුම් වීම
  • ඇස් උඩ යාම
  • මුඛයේ දෙපසින් සෙම වැගිරීම
  • සිරුර දරඳඩු වීම
  • සිරුර නිතර නිතර ගැස්මකට ලක් වීම
  • මුත්‍රා හා අසූචි පිට වීම
  • සිහිසුන් වීම

වෛද්‍යවරයා වෙත යාමට පෙර ප්රථම උණ වලිප්පුව වැළඳුණු දරුවකුට නිවසේ දි ලබා දිය හැකි ප්‍රථමාධාර මොනවා ද?

ඔබේ දරුවාගේ රෝග තත්ත්වය හඳුනා ගත් පසු හැකි ඉක්මනින්ම වෛද්‍යවරයකු වෙත යා යුතු අතර ඊට ප්‍රථම නිවසේ දී ඔබ අනුගමනය කළ යුතු සහ නොකළ යුතු පියවර කිහිපයක් ද ඇත.

  • හැකි ඉක්මනින්ම දරුවාව වම් පසට හරවන්න. මෙලෙස කිරිම මඟින් සෙම ආදීය පෙනහළුවලට ඇතුළු වීම වැළකේ.
  • යකඩ අතේ තැබීම, දිවෙහි තැබීම වැනි කිසිදු දෙයක් නොකරන්න.
  • අතපය තදින් අල්ලාගෙන සිටීම, ජලය පෙවීම හෝ කිසිදු ඖෂධ වර්ගයක් ලබා දීම නොකරන්න.
  • පිරිසිදු ජලයේ පෙඟ වූ රෙදි කැබැල්ලකින් දරුවා තෙත මාත්තූ කරන්න. කිහිළි, ඉකිළි හා පිට ප්‍රදේශය හොදින් තෙත මාත්තු කරන්න.
  • දරුවා සාමාන්‍ය උණ තත්ත්වයෙන් පෙළේ නම් දරුවාගේ බරට සරිලන නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන්න.
  • වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමේ දී ද දරුවාව වම් පසට ඇළ කර රැගෙන යන්න.

මෙම රෝගය නිසා දරුවාට පසු කාලීනව වෙනත් රෝග තත්ත්ව ඇති වන්නේ?

එලෙස අතුරු ආබාධ ඇති නොවේ. මෙම උණ වලිප්පුව නැවත අවුරුදු 6න් පසුව ඇති නොවේ. පළමු වර උණ වලිප්පුව වැළඳුණු පසු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිසි පරිදි ප්‍රතිකාර කළ හොත් මෙය නැවත් වැළඳීම සිදු නොවේ.

මෙම උණ වලිප්පුව යම් දරුවෙකුට දිගින් දිගටම වැළඳේ නම් ප්‍රතිකාර ලබා ගත යුතුය. එහි දී දරුවාගේ වයස හා බර පිළිබඳ ව සැලකිලිමත් වීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ.

දරුවාට උණ වලිප්පුව වැළඳීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක් ?

  • ඔබගේ පවුලේ අයකුට උණ රෝගය වැළඳී ඇත්නම් දරුවා ඔහුගෙන් ඈත් කර තබන්න. දරුවා ගැන විමසිලිමත් වන්න.
  • උණ රෝගීන් බහුලව ස්ථානවලින් දරුවාව ඈත් කර තබන්න.
  • සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළඳුණු විට ඒ පිළිබඳව ද අවධානය යොමු කරන්න.
  • දරුවාට උණ රෝගය වැළඳුණු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.
  • නොඑසේ නම් දරුවාගේ උසට හා බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව කඩින් කඩ ලබා දෙන්න.
  • පැරසිටමෝල් ලබා දීම මඟින් උණ තත්ත්වය පාලනය නොවුණහොත් වෛද්‍ය උපදෙස් පරිදි වෙනත් ඖෂධ වර්ගයක් භාවිත කර හෝ උණ තත්ත්වය නිසි පරිදි පාලනය කරන්න.

සිඟිත්තාට උණ වැළඳුණු පසු නිසි අවධානයකින් සිටින්නේ නම් උණ තත්ත්වය පාලනය කර ගත හැකි වේ. එමගින් උණ වලිප්පුව ඇති වීමේ අවධානම ද පහ කර ගත හැකිය.

උපදෙස්:

වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න
අනුරාධපුර ශික්ෂණ රෝහල.
සටහන: අරුණි තිලෝකා රණවක