නිහඬ මාරයා – කොලෙස්ට්‍රෝල්

කොලෙස්ට්‍රොල් පරීක්ෂාවේ දී ඔබේ රුධිරයේ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් ඇති බව අනාවරණය වූයේ ද? කනගාටු වන්න එපා. අපි ඔබට උදව් කරන්නම්. ආහාර සහ ව්‍යායාම මගින් ඔබේ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කර ගැනීමට අවශ්‍ය තොරතුරු සහ ප්‍රතිකාර පිළිබඳ උපදෙස් අප සතුයි.

කොලෙස්ට්‍රෝල් යනු මොනවාද? කොලෙස්ට්‍රෝල් නිර්මාණය වන්නේ කොතැනද?

කොලෙස්ට්‍රෝල් යනු අපේ ශරීරයේ අක්මාව මගින් නිපදවෙන සහ ඇතැම් ආහාරවල අඩංගු ඇලෙනසුළු සංඝටකයකි. ශරීරයේ සියලු සෛලවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉතා වැදගත් කාර්යභාරයක් කොලෙස්ට්‍රෝල් මගින් ඉටු කරන අතර විටමින් ඩී හා ඇතැම් හෝමෝන නිෂ්පාදනයට ද ආහාරවල මේද ජීර්ණය කිරීම සඳහා උවමනා සංඝටක නිෂ්පාදනයට ද කොලෙස්ට්‍රෝල් උවමනා වෙයි. කෙසේ වුවද රුධිරයේ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් අඩංගු වීම හෘදයාබාධ සහ රුධිර සංසරණ රෝග ඇති වීමේ අවධානම ඉහළ දමයි.

හොඳ (HDL) සහ නරක (LDL) කොලෙස්ට්‍රෝල්

රුධිරය තුළ කොලෙස්ට්‍රොල් ගෙන යන්නේ එහි ඇති lipoproteins නම් ප්‍රෝටීනය මගිනි. හොඳ කොලෙස්ට්‍රොල් (HDL – high density lipoprotein) සහ නරක කොලෙස්ට්‍රොල් (LDL – low density lipoprotein) යැයි කොලෙස්ට්‍රොල් වර්ග දෙකකි. LDL කොලෙස්ට්‍රොල් බොහෝ විට නරක කොලෙස්ට්‍රොල් යැයි කියන්නේ රුධිරයේ එම කොලෙස්ට්‍රෝල් අධික වීම අහිතකර නිසාය. HDL කොලෙස්ට්‍රොල් බොහෝ විට හොඳ කොලෙස්ට්‍රොල් යැයි හඳුන්වන්නේ ඒවා ආරක්ෂාකාරී නිසාය. ඔබේ කොලෙස්ට්‍රෝල් මට්ටම දැන ගැනීම මගින් ඔබ හෘදයාබාධ ඇති වීමේ අවදානමක සිටින්නේ දැයි හඳුනාගත හැකිය. වෛද්‍යවරයාට ඔබේ සිරුරේ හොඳ සහ නරක කොලෙස්ට්‍රෝල් මට්ටම පැවසීමේ හැකියාවක් තිබිය යුතුය.

අපේ ආහාරයේ කොලෙස්ට්‍රෝල්

අපේ සිරුරේ ඇති බහුතරයක් කොලෙස්ට්‍රෝල් අක්මාව මගින් නිපද වූ ඒවා වන අතර ආහාර මගින් ද යම් කොලෙස්ට්‍රෝල් ප්‍රමාණයක් සිරුරට එකතු වෙයි. බටර්, මාගරින්, මේද බහුල මස් සහ සොසේජස්, යොදය සහිත කිරි, යෝගට්, චීස්, පොල් සහ ෆාම් තෙල් ආදී ආහාරවල කොලෙස්ට්‍රෝල් බහුලය. ශාඛමය ආහාරවල කොලෙස්ට්‍රෝල් නැත. එළවළු සහ වෙනත් ශාඛමය ආහාරවල සංතෘප්ත මේදය ඉතාම අඩුය. බාර්ලි, බෝංචි, ඇපල්, මිදි, ස්ටෝබෙරි, සෝයා, මාළු, කෙඳි සහිත ආහාරවල කොලෙස්ට්‍රෝල් අඩු අතර ඇතැම් ඒවාවලට කොලෙස්ට්‍රෝල් අවශෝෂණය සීමා කිරීමේ හැකියාවක් තිබේ.

කොලෙස්ට්‍රෝල් නිසා බලපෑම් එල්ල වන්නේ කාටද?

කොලෙස්ට්‍රෝල් ඉහළ යාම හෝ අහිතකර කොලෙස්ට්‍රෝල් රටා බොහෝ දෙනාට බලපෑම් ඇති කරයි. ඒ සඳහා පහත සඳහන් කරුණ ද බලපායි.

  • ඔබේ දෙමාපියන්ගෙන් ලැබුණු ජාන
  • ඔබේ ආහාර සහ ජීවන රටාව
  • ඔබේ බර
  • ස්ත්‍රීපුරුෂභාවය
  • ඔබේ වයස
  • ඔබේ ජනවර්ගය
  • ඔබේ සෞඛ්‍ය ඉතිහාසය

අයහපත් කොලෙස්ට්‍රොල් මට්ටමක් සහිත අයකු හෘදයාබාධ සහ රුධිර සංසරණ ආබාධ ඇති කරවන දුම්පානය කිරීම හෝ රුධිර පීඩනයෙන් පෙළීම හදවත් රෝග ඇති කිරීමේ අවධානම ඉහළ දමයි.

(heartuk.org.uk වෙබ් අඩවියේ පළ වූ Cholesterol – The silent killer නම් ලිපියේ සිංහල අනුවාදයකි.)