බාල වියේදී වගේම මහළු වයසටත් පෝෂණ අවශ්‍යයයි

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඩී. කේ. එම්. එස්. කරුණාරත්න මහත්මිය සමග doctor.lk කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

මහළු අයට නිසි පෝෂණයක් අවශ්‍යය ?

සැදෑ සමය ‘ජීවිතයේ අවපස ළමා අවධිය’ ලෙසටත් අර්ථ දක්වනවා. වයසට ගිය පසු පෝෂණයක් අවශ්‍යය නැහැ කියන මිත්‍යා මතය බැහැර කළ යුතුයි. වයසට ගිය අයට විශේෂ පෝෂක කොටස් ලබා දිය යුතුයි.

වැඩිහිටියන්ට නිසි පෝෂණයක් නොමැති බව හඳුනා ගත හැකිද?

අපේ රටේ රෝහල්වලට පැමිණෙන මහළු රෝගින්ගෙන් 55% සඳහාම ප්‍රමාණවත් තරමේ පෝෂණ මට්ටමක් නොමැති බව තහවුරු වී තිබෙනවා. අඩු පෝෂණ මට්ටමකින් සිටින මහළු අය පහසුවෙන් ආසාදනවලට ලක්වෙනවා. ඔවුන් බෝවන රෝගවලට නතුවීමේ ප්‍රවණතාව ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එපමණක් නොව රෝග, ඖෂධ මගින් ඇති විය හැකි සංකූලතාවලට ද පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. යම් රෝගයකින් සුවය ලැබ නිවෙස් වෙත ගිය ද අඩු පෝෂණ මට්ටම්වල සිටින රෝගීන් මිය යෑමට ඇති ඉඩ ප්‍රස්තාව ඉතා වැඩියි.

මහලු වියේ දී නිසි පෝෂණයක් නොමැති විට ඇති වන අතුරු ආබාධ මොනවා ?

නිසි පෝෂණයක් නොලැබුණු විටදී, රෝහල් ගත වීමකදී හෝ රෝගාබාධයකදී ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන කළ රෝගියාගේ බර අඩු වීම සිදු වේ. පෝෂණ අවදානමකට ලක්වන කවර හෝ කාරණයකදී එනම් ප්‍රමාණවත් තරමේ පෝෂණයක් නො ලැබීම මඟින් ශරීර ස්කන්ධ දර්ශකය (BMI)20ට අඩු වෙනවා. පීඩන වණ ඇති වෙනවා. (Pressure Ulcers) ඔවුන්ට අවශ්‍ය  නිසි පෝෂණය ලබා දීම මගින් මේ තත්ත්වය මග හරවාගන්න පුළුවන්.

මේ සඳහා විසඳුම කුමක් ?

ඔබ කළ යුත්තේ සැදෑ වියේ දී ඔබේ හිතාදරයා හොඳින් පෝෂණ කිරීමයි. එහි දී පළමු පියවර වන්නේ, සාමාන්‍යය ආහාරවලින් නො ලැබෙන පෝෂ්‍යදායී සංඝටක පරිබාහිරව ලබා දීමයි. අමතර ප්‍රෝටීන හා වෙනත් පෝෂ්‍ය සංඝටක ලබා දීමයි.

මෙලෙස අමතර පෝෂක පදාර්ථ අඩංගු ආහාර ලබා දීමෙන් සාමාන්‍ය ආහාර වේල මඟින් පිරිමසා ගත නොහැකි පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වී ඔහුගේ පෝෂණ ඌණතා ඉවත්ව යයි.

මහලු වියේ නිසි පෝෂණ අවශ්‍යතා සපුරාගත හැකි  පහසු ක්‍රම මොනවා ද?

Calorie and Protein fortified food ලෙස හැඳින්වෙන ආහාර නිෂ්පාදන රැසක් තිබෙනවා. සාමාන්‍ය ආහාරවලට වඩා මෙම ආහාරවල පෝෂණ ධාරිතාව 25%කින් පමණ වැඩියි. දෛනික ආහාරවලට අමතරව Oral Nutritional Supplements ගත යුතුයි. කුඩා දරුවෙකුට මෙන් ම වැඩිහිටියෙකුටත් නිසි පෝෂණයක් නො ලැබී යෑම ජිවිතයට අවදානමක් එක් කරනවා.

උපදෙස්:

වෛද්‍ය ඩී.කේ.එම්.එස්. කරුණාරත්න
ශික්ෂණ රෝහල අනුරාධපුර.
සටහන: අරුණි තිලෝකා රණවක