හෘදයාබාධවලට හේතුවන අධික ලේ කැටි ගැසීම වැඩි කරන සහ අඩු කරන ආහාර

(අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනී සුනේත්‍රා අබේසිංහ මහත්මිය සමග doctor.lk සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

සාමාන්‍යයෙන් හෘදයාබාධ ඇති වීමට නම් කිරීටක ධමනියේ ඇතුලත මේද තැන්පත් වීමක් සිදු වීමට අමතර ව ඒ මේද තැන්පතුව මත රුධිර කැටි ගැසීමක් ද විය යුතුය. එලෙස අධික රුධිරය කැටී ගැසීමට හේතු වන ආහාර සහ එය වළක්වා ගැනීමට ගත හැකි ආහාර ගැන ද දැන ගැනීම වැදගත්ය.

අපේ රුධිරය කැටි ගැසීම අවශ්‍යයද?  

ඔව්. අනිවාර්‍යෙන් ම අවශ්‍යය වෙනවා. මෙය සිදු වන්නේ රුධිර පට්ටිකා මඟිනි. රුධිර පට්ටිකාවල ප්‍රධාන කාර්‍ය්‍ය වන්නේ අපේ ශරීරයේ කිසියම් තැනක තුවාලයක් ඇති වුණොත් රුධිරය ගැලීම නැවැත්වීමට ක්‍රියා කිරීමයි. රුධිර පට්ටිකා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවන විට එම තත්ත්වය ත්‍රොම්බෝසයිටෝපීනියා (Trombocytopenia) ලෙස හඳුන්වනවා. එතකොට සුළු තුවාලයක් වුණත් නොනවත්වා ලේ ගැලීම සිදුවෙනවා. නමුත් රුධිර කැටි ගැසීම වැඩි වූ විට හෘදයාබාධ තත්ත්වයන් ඇති වී මරණය පවා සිදු වෙන්න පුළුවන්.

රුධිරය කැටි ගැසෙන ස්වභාවය වැඩි වන්නේ කිනම් අවස්ථාවක දී ?

සාමාන්‍යයෙන් ආහාර වේලක් ගත් පසු, එහි පෝෂ්‍ය පදාර්ථ උරා ගන්නා අවස්ථාවේ දී රුධිරයේ කැටි ගැසෙන ස්වභාවය වැඩියි. බර ආහාරයක් ගත් පසු, එහි පෝෂ්‍ය පදාර්ථ උරා ගන්නා අවස්ථාවේ දී රුධිරය කැටි ගැසීම වැඩි වී වෙනවා.

ලේ කැටි ගැසීම ඉහළ දමන ආහාර වර්ග තිබෙනවා ?

බටර්, පාම් තෙල්, පොල් තෙල්, ගව මස්, කුකුළු මස් යනාදිය දැක්විය හැකි වේ. ඒවායේ ඇති මේද නිසා රුධිරය කැටී ගැසීම අධික වේ. එම මේදය දිගු දාම මේද අම්ල, මැදිදාම මේද අම්ල සහ කෙටිදාම මේද අම්ල යනුවෙන් වර්ග තුනකි. සිරුර තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනයට හේතු වන්නේ මැදිදාම මේද අම්ලයයි. එසේම ඒවා රුධිරක කැටී ගැසීම ඉහළ නංවන්නටත් පුළුවන්. ලේ කැටි ගැසීම වැඩිකරන්නට දිගු දාම මේද අම්ල සමත් වේ.

මැදිදාම මේද අම්ල අඩංගු  ආහාර මොනවා ද?

පාම්තෙල්, බටර්, පොල්තෙල් (පාම්ටික් අම්ලය) බටර් (මිරිස්ටික් අම්ලය) පොල්තෙල්, බටර් (ලෝරික් අම්ලය) ආදී ආහාරවල මැදිදාම මේද අම්ල අඩංගු වෙනවා.

දිගු දාම මේද අම්ල අඩංගු ආහාර මොනවා ද?

එම මේද අම්ල අඩංගු ආහාර වන්නේ ගව මස්, කුකුළු මස්, චොකලට් ආදිය සඳහා යොදන කොකෝ බටර් ආදියයි.

මීට අමතරව  අධික ලෙස ලේ කැටි ගැසීමට බලපාන සාධක මොනවා ?

ඔමේගා 6 වර්ගයේ මේද අඩංගු කෑම වැඩිපුර ආහාරයට ගැනීම ඉතාමත් ම අහිතකරයි. බොහෝ දුරට හෘද රෝගවලට මෙම ඔමෙගා 6 වර්ගයේ තෙල් වර්ග බලපාන බව පර්‍යේෂණ මගින් හෙළි වී හමාරයි. වෙළඳපොළේ ඇති එළවළු තෙල් වර්ගවල එම මේදය තිබෙනවා. ඒවා රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ මට්ටම ඉහල යාමට හා ඉන්සියුලින් ප්‍රතිචාරය අඩු වීමට ද හේතු වෙනවා. ඒවා සිරුරට වුවමනා වුවත් අධික ලෙස ගැනීම ප්‍රශ්නයක්.

ඔමෙගා 6 වර්ගයේ මේදය මුළු දෛනික කැලරි අවශ්‍යතාවෙන් 1.7% වුණාම ඇති. නමුත් සමහර පුද්ගලයින්ගේ එම මේද මට්ටම 7%ක් පමණ වෙනවා. මෙතරම් ප්‍රමාණයක් ගන්නා විට ශරීරයේ ‘ප්‍රොස්ටග්ලැන්ඩීන්’ නම් රසායනික සංයෝග නිෂ්පාදනය සංකීරණ ලෙස වෙනස් වී ලේ කැටි ගැසීමට අනුබල දෙන ප්‍රොස්ටග්ලැන්ඩීන් නිෂ්පාදනය වැඩි වන්නට අවකාශ ඇත. ඒ නිසා ලේ කැටි ගැසීම ඉහළ යාම හෘදයාබාධ සඳහා හේතුවක්.

ලේ කැටි ගැසීම අඩු කරන ආහාර මොනවා ?

  • ඔමෙගා 3 වර්ගයේ මාළු තෙල්, කළුදුරු
  • බිත්තර සුදු මදය, මුහුදු මාළු
  • මේදය රහිත කිරි වර්ග
  • නිවිති

ලේ කැටි ගැසීම අඩු කිරීමට අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?

ඔබට ඉතාමත් පහසුවෙන් පිළිපැඳිය හැකි ප්‍රායෝගික උපදේශ කිහිපයක් ලෙස මේවා හැඳින්විය හැකිය.

    • සියලු සත්ත්ව පරිභෝජනය අඩු කරන්න. එනම් මස්, කිරි, බිත්තර යන තුන් ගණය කෑමට ගැනීම අඩු කරන්න.
    • සංතෘප්ත මේද අඩංගු පොල්තෙල් භාවිතය හැකි තරම් අඩු කරන්න. බහු අසංතෘප්ත මේද අඩංගු සෝයා, බඩ ඉරිඟු, තල, සූරියකාන්ත යන තෙල් අඩු ප්‍රමාණයක් ගන්න.
    • අත්‍යවශ්‍යය මේද අම්ල ලබා ගැනීමට මේද අම්ල අඩංගු සෝයා, බඩ ඉරිඟු ඇට ආහාරයට ගන්න.
    • සංතෘප්ත මේද ආහාරයෙන් ඉවත් කිරීම පිණිස පිසූ ආහාරය සිසිල් කරන්න. එවිට සංතෘප්ත මේදය ඝන වී උඩට පැමිණ මිදෙයි. එසේ ඝන වූ මේදය ඉවත් කර යළිත් ආහාරය රත් කර ගත් විට මේදය සෑහෙන තරම් ඉවත් වෙයි.
    • බහු අසංතෘප්ත මේද අඩංගු ආහාරවලින් මිදෙන්න.
    • කෘත්‍රිම ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්න.
    • පැටිස්, කට්ල්ට්, කේක් වර්ග ආහාරයට ගැනීම අඩු කරන්න.

උපදෙස්:අධිශ්‍රේණි හෙද නිළධාරිනී

සුනේත්‍රා අබේසිංහ
ශික්ෂණ රෝහල අනුරාධපුර.
සටහන: අරුණි තිලෝකා රණවක