වෛරස් උණෙන් ගැලවෙන්නේ මෙහෙමයි

(මේ දිනවල දකුණු පළාත ආශ්‍රිතව ව්‍යාප්ත වන උණ රෝගය දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පැතිරිය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසා තිබේ. බස්නාහිර පළාතෙන් රෝගීන් හමු වී තිබේ. මේ එම රෝගය පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රනිල් විතානගේ සමග doctor.lk කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.)

මේ කුමන රෝග තත්ත්වයක් ද?

මෙම රෝගය adenovirus නම් වෛරසය නිසා ඇති වන අසාමාන්‍ය (atypical) නියුමෝනියා තත්ත්වයක් කියලා දැනට අනුමාන කරනවා. මෙහිදී සඳහන් කළ යුතු පළමු කාරණය රෝගය කෙරෛහි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි. මෙය ඕනෑම අයකුට වැළඳිය හැකියි. නමුත් සංකූලතා හෝ අසාධ්‍ය තත්ත්වය බෙහෙවින් ඇති වන්නේ එක්තරා විශේෂ පිරිසක් අතරයි.

මෙම රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ කුමන පිරිස් අතරද?

  • අවුරුදු 3 ට අඩු දරුවන්
  • අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්
  • දීර්ඝ කාලීන කායික රෝග ඇති අය, ඇඳුම හතිය, දීර්ඝ කාලීන ශ්වසන ආබාධ (COPD) සහිත රෝගින්, දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්
  • ප්‍රතිශක්තිය අඩු රෝගීන්, උදා පිළිකා රෝගීන්, වකුගඩු රෙගින්, දීර්ඝ කාලීනව ප්‍රෙඩ්නිසොලොන් වැනි ඖශෂධ භාවිත කරන රෝගීන්
  • ගර්භණී මවුවරුන්

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවට වඩා සෙම් සොටු සහිත සෙම්ප්‍රතිෂ්‍යාව්
  • උගුරේ ආසාදනය සහ කට හඬ රළු වීම
  • වියළි හෝ සෙම කැස්සක් ඇති වීම
  • පාචනය වමනය
  • ඇස් රතු වීම කබ ගැලීම

මෙම රෝගයට ගොදුරු වූ ළදරුවන් විශේෂයෙන් පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?

  • අඩු ක්‍රියාකාරීත්වය
  • කිරි උරා බී ම අඩුවීම
  • ශ්වසන අපහසුතා (වේගයෙන් හුස්ම ගැනීම සහ ඉල ඇට අතර මාංශ පේශී ඇතුළට ඇදෙන සේ හුස්ම ගැනීම)

මෙම රෝගය සඳහා ලබා දිය හැකි ප්‍රතිකාර මොනවාද?

මෙම රෝගයට නිශ්චිත ප්‍රථිකාර නෑ. එය ස්වයංව නිවාරණය වෙනවා. රෝහලේ සිදු කරන්නේ රුධිරයේ ඔක්සිජන් අඩු වීමෙන් හා ද්විතීයික බැක්ටීරියා ආසාදිත නියුමෝනියාව නිසා ඇති වන සංකූලතා ඇති වීම අවම කිරීමයි.

මෙම රෝග තත්ත්වය පැතිරීමේ අවධානම සහිත අවස්ථාවක ජනතාව කළ යුත්තේ කුමක්ද?

  • රෝග ලක්ෂණ දිනකට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හෝ බාහිර රෝගී අංශයට යොමු වන්න.
  • හැකි තරම් විවේක ගන්න
  • දියර වර්ග හැකි තරම් පානය කරන්න
  • ස්නානය හා දෑත් සේ දීම කරන්න
  • දරුවන් දිනපතා නහවන්න
  • රැකියාවට/පොදු ස්ථානවලට ගොස් පැමිණි විගස ස්නානය කරන්න
  • පොදු ස්ථානවල ගැවසුණ පසුව දෑත් හොඳින් සෝදන්න

  • ලේන්සුවක් භාවිත කරන්න
  • උණු වතුර සහ හුමාලය අල්ලන්න. (මෙම වෛරසය තාපයට සංවේදී නිසා එමගින් එය යම් තාක් මර්දනය කළ හැකිය.)
  • පෙර පාසැල් හා ප්‍රාථමික දරුවන්ගේ පංති කාමර, සෙල්ලම් බඩු විශබීජ නාශක යොදා දින පතා පවිත්‍ර කරන්න
  • සෙනග ගැවසෙන ස්ථානවල දී මුඛ වාඩමක් භාවිත කරන්න

මෙම රෝග තත්ත්වය පැතිරීමේ අවධානම සහිත අවස්ථාවක ජනතාව නොකළ යුත්තේ කුමක්ද?

  • පොදු ස්ථානවල නිතර ගැවසීම සීමා කරන්න
  • විනෝද චාරිකා, උත්සව වැනි දේ හැකි තරම් මඟ හැරීම
  • දරුවන් පොදු ස්ථානවලට යැවීමෙන් වැළකීම
  • අනවශ්‍ය ලෙස කලබල වී දිනකින්/ දෙකකින් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝහල් ගතවීම අවම කිරීම (මේ දිනවල රෝහල් තුල අධික තදබදයක් ඇති නිසා සාමාන්‍ය උණ සහිත දරුවකුට වුවත් රෝහල්ගත කිරීම නිසා මේ රෝගය බෝ විය හැකිය.)
  • අනවශ්‍ය ලෙස කලබල වී විවිධ එන්නත් සහ ඖෂධවලට මුදල් නාස්ති නො කරන්න. (අවුරුදු 1-3 දක්වා දරුවන්ට නියුමොකොකල් (pneumococcal) එන්නත වෛද්‍ය නිර්දේශ මත ලබා දිය හැකිය. එසේම අවුරුදු 3 ට වැඩි දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත දිය හැකිය. නමුත් මේ අවස්ථාවේ දී එය අත්‍යවශ්‍යම නැත. ඉන් රෝගය මර්දනය වන්නේ නැතෙ. නමුත් ද්වීතීක නියුමෝනියා තත්ත්වය වළකා ගැනීමට පිටුවහලක් විය හැකිය.)
  • අනවශ්‍ය ලෙස රෝහල්වලට පැමිණීමෙන් වළකින්න.

රෝහල් ගතවිය යුත්තේ කුමන රෝග ලක්ෂණ පහළ වූ විට ද?

  • ෆැරන්හයිට් 102 ට වැඩි අධික උණ දින 3 ක් පැවතීම
  • අලුත උපන් දරුවකු (මාසයකට අඩු) තද උණ, ශ්වසන වේගය වැඩි වීම, ශ්වසන අපහසුතා සහ දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩු වීම

තවත් සිහිපත් කළ යුතු විශේෂ කරුණු තිබේද?

මෙම රෝග ලක්ෂණ පහළ වූ වහා අනවශ්‍ය ලෙස බිය නොවන්න. ඉක්මනින් නිසි ප්‍රථිකාර සඳහා යොමු වන්න. අන් අයත් මේ පිළිබඳ දැනුම්වත් කරන්න.

උපදෙස්

වෛද්‍ය රනිල් විතානගේ
කරාපිටිය ශික්ෂණ රෝහල
ගාල්ල.
සටහන
එම්. ජේ. නානායක්කාර