මන්ද මධුරක්තියෙන් හෙවත් හයිපොග්ලයිසීමියාවෙන් ආරක්ෂා වන හැටි

හයිපොග්ලයිසීමියාව යනු කුමක්ද? එය බෙහෙවින් වැළඳෙන්නේ කවර පිරිසකට ද?

සාමාන්‍යයෙන්, දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි/ග්ලූකෝස් ප්‍රමාණය අධික වේ. එවිට ඔවුන්ගේ ශරීරයේ සීනි ප්‍රමාණය පහළ බැස්වීම සඳහා ඖෂධ වර්ග (Hypoglycemic Drugs) ලබා දෙයි. දියවැඩියා රෝගීන් නිවැරදි ආහාර වේලක් නොගෙන මෙම ඖෂධ භාවිත කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම පහළ බැස ශරීරයේ සෛලවලට වුවමනා ශක්තිය නිසි පරිදි නොලැබෙන විට හයිපොග්ලයිසීමියාවේ හෙවත් මන්ද මධුරක්තියේ රෝග ලක්ෂණ හටගනී. මෙම රෝග තත්ත්වය බොහෝ විට දියවැඩියා රෝගීන්ට ඇති වෙයි. ඒ අනුව රුධිරයේ ග්ලූකෝස් /සීනි ප්‍රමාණය ක්ෂණිකව පහළ බැසීම මන්ද මධුරක්තිය හෙවත් හයිපොග්ලයිසීමියාව (Hypoglycaemia) ලෙස හැඳින්විය හැකියි.

එහි රෝග ලක්ෂණ මොනවාද?

• අධික කුසගින්න
• වෙව්ලීම
• ඇඟට පණ නැති වීම
• ක්ලාන්ත ගතිය
• හිසරදය
• සිහි නැතිවීම
• නාඩි වේගවත් වීම
• ඇඟට සීතලක් දැනීම
• තිගැස්ම

මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

බොහෝ විට ඉන්සියුලින් භාවිත කරන දියවැඩියා රෝගීන් නියම ප්‍රමාණයට වඩා ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති ලබා ගැනීම නිසා මෙය හටගනී. නියම කර ඇති මාත්‍රාවලට වඩා වැඩියෙන් ඖෂධ ලබා ගැනීම මෙයට බලපාන ප්‍රධානතම හේතුවකි.

නිසි ප්‍රමාණයට ආහාර නොගැනීම. රුධිරයට අවශ්‍ය ග්ලූකෝස් ලැබෙන්නේ අප ගන්නා ආහාර ජීර්ණය වී සරල සීනි බවට පත්වීමෙනි. එතුළින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදේ. රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි අය බොහෝ විට නිසි ප්‍රමාණයට ආහාර නොගනිති. ඒ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනු ඇතැයි යන බියෙනි. මෙය මන්ද මධුරක්තිය ඇතිවීමට බලපාන හේතුවකි.

ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති ලබාගත් පසු වැඩිපුර ව්‍යායාම කිරීම, අධි ක්‍රියකාරීත්වයෙන් යුතුව වැඩ කිරීම මන්ද මධුරක්තිය ඇති වීමට බලපාන තවත් එක හේතුවකි.

ආහාර වේල් පිළිබඳව නොසලකා හැරීම. දියවැඩියා රෝගීන් සිය ප්‍රධාන ආහාර වේල් හා ආහාර වේල් අතර නිසි පරතරයක් තබා ගැනීමට පුරුදු විය යුතුය. එසේම ඉන්සියුලින් ගැනීමෙන් අනතුරුව ආහාර වේල් පසුකිරීම හෝ නොගෙන සිටීම මෙය හටගැනීමට හේතු වේ.

මෙම තත්ත්වයට ප්‍රතිකාර තිබේද?

මෙම තත්ත්වට ප්‍රතිකාර කිරීමට වඩා ඔබ කළයුත්තේ එය වළක්වා ගැනීමට උත්සාහ කිරීමයි. මේ යටතේ අනුගමනය කළ යුතු පියවර කීපයකි.

  • වැඩිවේලාවක් කුසගින්නේ නොසිටීම හා තම සෞඛ්‍ය තත්ත්වයට සුදුසු ආහාර ගැනීම.
  • ඉන්සියුලින්/දියවැඩියා පෙති වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ප්‍රමාණයට පමණක් ලබා ගැනීම හා එම ඖෂධ භාවිත කර කුසගින්නේ ඇඟ වෙහෙසවා වැඩ කටයුතුවල නිරත නොවීම.
  • කුසගින්නේ සිටින විට ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති ලබා නොගැනීම.
  • ඔබේ දියවැඩියා රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයා හමුවී නිතර උපදෙස් ලබා ගැනීම හා පරීක්ෂණ සිදුකිරීම.
  • විවිධ හේතු නිසා ඔබට යම් වේලක් සඳහා දියවැඩියා ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත් මී ළඟ වේල ලබා ගැනීමේදී ඖෂධ වැඩිපුර ලබා නොගෙන නියමිත මාත්‍රාව පමණක් ලබා ගැනීම.

හයිපොග්ලයිසීමියා තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ක්‍රියා කළ කෙසේද?

  • ඔබගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර බලා තහවුරු කරගන්න.
  • අධික කුසගින්නක් සමග පෙර සඳහන් කළ රෝග ලක්ෂණ පහළ වී නම් ග්ලූකෝස් ස්වල්පයක් හෝ සීනි සහිත යමක් ආහාරයට ගන්න.
  • මෙම රෝගී තත්ත්වය හට ගෙන සිහිමූර්ජා තත්ත්වයට පත් වුවහොත් හැකි ඉක්මනින් රෝගියා පිළිගත් රෝහලක් වෙත රැගෙන යන්න.
  • ඔබ දියවැඩියා රෝගියෙකු නම් ඔබේ සමීපතමයන් ඒ පිළිබඳව දැනුම්වත් කර තබන්න.

උපදෙස්:


වෛද්‍ය රුවන්ප්‍රිය සමරවීර
වෛද්‍ය නිලධාරී
රජයේ මධ්‍යම බෙහෙත් ශාලාව
මාලදෙනිය.
සටහන:
නවෝදා දියාලගොඩ