නහර ගැට ගැසීමේ කරදරයෙන් මිදෙන හැටි

(කොළඹ ආසිරි රෝහලේ විශේෂඥ වෛද්‍ය වී. පී. ගමගේ මහතා සමග doctor.lk කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

නහර ගැට ගැසීම යනු කුමක්ද?  

වැරිකෝස් වේන්ස් හෙවත්  නහර ගැට ගැසීම සුලභව පාදවල දක්නට ලැබෙන රෝගයකි. විලුඹේ සිට පාදයේ උඩ කෙළවර දක්වා ශිරා පද්ධතියේ ප්‍රසාරණය නිසා මෙසේ පාදයේ රුධිර වාහිනී අසාමාන්‍ය ලෙස විශාල වීම හා දඟර ගැසීම සිදු වේ.  හෘදයට රුධිරය ගෙන යන ශිරා පද්ධතියේ ඇති වන ප්‍රසාරණය හා එහි එම රුධිර නාලවල කපාට දුර්වල වීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වේ.

නහර ගැට ගැසීම ඇති වන්නේ ඇයි?

  • ජාන සම්බන්ධයක් මත උපතින්ම
  • දිගු වේලාවක් සිටගෙන සිටීම
  • කාන්තාවන් ගර්භණී අවස්ථාවේ සිදුවන හෝමෝන ක්‍රියාකාරීත්වය
  • ලේ නහර තුවාල වීම
  • ධමනි හා ශිරා උපතින්ම සම්බන්ධ වීම
  • හෝමෝන අසමතුලිතා ඇති වීම

නහර ගැට ගැසීමේ රෝග ලක්ෂණ මොනවාද?

  • කකුල්වල නහර ගැටිති පෙනෙන්ට තිබීම
  • පාදවල වේදනාව ඇති වීම හා කැසීම
  • ඇවිදීමේ අපහසුතා ඇති වීම
  • රුධිරය වහනය වීම
  • නහර දුර්වල වීම
  • වලලුකර ප්‍රදේශයේ තුවාල, දද, කුෂ්ඨ ඇති වීම

විශේෂයෙන් කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වන්නේ ඇයි?

කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ අවදානම ඉහළයි. මන්ද ගර්භණී කාලයේ ගර්භාෂය තද වීම නිසා රුධිර නාල දුර්වල වීම සිදු වේ. මේ නිසා  ඇති වන හෝමෝන ක්‍රියාකාරීත්වයේදී වැඩිපුර හෝමෝන ශ්‍රාවය වීම නිසා කාන්තාවන්ට මෙම රෝගය වැළඳීමේ අවදානම ඉහළය. මේ නිසා ගර්භණී සමයේ සිට ගෙන සිටීම සිදු නොකළ යුතු අතර එසේ සිට ගෙන සිටී නම් දිගු මේස් (ස්ටොකින්ස්)  පැලඳිය යුතුය.

මෙම රෝගය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මේ සඳහා අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ වර්ගයක් වන ඩුබ්ලේක්ස් ස්කෑන් පරීක්ෂාව මඟින් රෝගයේ තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව ප්‍රතිකාර කිරීම ආරම්භ කර යුතුය. මෙම පරීක්ෂණයෙන් පාදයේ කුමන නහරවල රෝගය පවතින්නේද? යන්න පරීක්ෂා කරන අතර රෝගියාට කිසිදු අතුරු ආබාධයක් හෝ විකිරණ ඇතුළු වීමක් සිදු නොවේ.

රෝගී තත්ත්වය පරීක්ෂාවෙන් පසු සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයකි.

  • දණ හිසෙන් පහළ ප්‍රදේශයේ නහර ගැට ගැසීමකදී එන්නත් කිරීම සිදුකරයි.
  • දණහිසෙන් උඩ නහර ගැට සිමකදී පැරණි ක්‍රමයට අනුව ප්‍රසාරණය වු රුධිර නාලය ඉවත් කිරීම සිදු කළ අතර අලුත් ක්‍රමයේදී ලේසර් මඟින් හෝ රේඩියෝ තරංග මඟින්  ශල්‍ය කර්ම සිදු කරයි.
  • ගැට ගැසුණු තැන්වල පමණක් රුධිර නාලය ඉවත් කිරීම ද නහර ගැට ගැසීමේ රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රමයකි.
  • ලේසර් කිරණ මඟින් නහර සංකෝචනය කිරීම සහ රේඩියෝ තරංග භාවිතයෙන් නහර සංකෝචනය කිරීම.

නහර ගැට ගැසීම වළක්වා ගැනීමට ගත හැකි පියවර මොනවාද?

  • දිඟු වේලාවක් හිටගෙන සිටීමෙන් වැළකීම
  • සිටගෙන සිටීමේදී නිතර ඉරියව් වෙනස් කිරීම
  • ගර්භණී සමයේ පිටි පතුලේ සිට ඉකිලි ප්‍රදේශය දක්වා මේස් (ස්ටොකින්ස්) පැලඳීම
  • කකුලේ තුවාල ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම
  • රෝග තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු ඉක්මනින් ව්‍යෛවරයා හමුවී ප්‍රතිකාර ලබාගැනීම

නහර ගැටගැසීම කල් නොයවා නිසි ප්‍රතිකාර සිදුකළ යුතු රෝගී තත්ත්වයකි. නොසලා සිටීමෙන් පසුකාලීනව විවිධ අතුරු ආබාධ මෙන්ම ශල්‍යකර්මවලට යොමු වීමට සිදුවේ.

උපදෙස්

වී. පී. ගමගේ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
කොළඹ ආසිරි රෝහල