සිය දිවි නසා ගැනීම් වළක්වා ගන්නේ කෙසේද?

සංඛ්‍යා දත්ත අනුව වසරකට ලොව පුරා මිලියනයක් සිය දිවි නසා ගනිති. මෙයින් අඩක් දිවිනසා ගනු ලබන්නේ විශාදය නම් වූ මානසික රෝගයේ උත්සන්න අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව ද දිවි නසා ගැනීම් අතින් ලෝකයේ ඉහළ ස්ථානයක සිටින රටකි. මේ ඒ පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.පී.ඩී. විජේසිංහ මහතා සමග doctor.lk වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ ලිපියකි.

ප්‍රශ්නය

මානසික රෝග හෝ ගැටලු නිසා දිවිනසා ගැනීමට පෙළඹෙන අය ඉන් මුදවා ගැනීමට හෝ එම මානසික ස්වභාවය දුරු කිරීමට ඖෂධ භාවිතය පමණක් ප්‍රමාණවත්ද?

පිළිතුර

එසේ කිව නොහැකියි. ඖෂධ මගින් දිවිනසා ගැනීමේ සිතුවිලි පහව යන නමුත් කායික රෝගයකදී මෙන් මානසික රෝගයකදී ඖෂධ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මන්ද මනස මුල් කරගෙනයි අපගේ සියලු ක්‍රියාකාරකම් ලෝකය හා සම්බන්ධ වන්නේ. මනස රෝගී වූ විට එම ක්‍රියාකාරකම්වල සාමාන්‍ය ස්වභාවය වෙනුවට අවුල් සහගත තත්ත්ව ඇති වෙනවා. ඒ නිසා මානසික රෝගයකට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ ප්‍රතිකාරවලට අමතරව උපදේශන, මනෝ චිකිත්සා, ඔහුගේ ගැටලුවලට විසඳුම්, සමාජ සම්බන්ධතා සහ ජීවත් වන පරිසරයේ වෙනස්කම් ඇති කළ යුතු වෙනවා. ඖෂධ ප්‍රතිකාර පමණක් ලබාදී ඔහුව පරණ පරිසරයටම යැවීමෙන් සාර්ථක සුවයක් ලැබෙන්නේ නැහැ.

 

ප්‍රශ්නය

සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඉන් ගැලවුණු අය මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු වෙනවා ද?

පිළිතුර

ඔව්. සියදිවි හානි කරගැනීමට උත්සහ කර බේරුනු රෝගීන් ඔහු ප්‍රතිකාර ගත් රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඉන් පසු එම රෝගීන්ගේ රෝග ස්වභාවය අනුව ප්‍රතිකාර සහ උපදේශනයට යොමු කෙරෙනවා. රජයේ සෑම ප්‍රධාන රෝහලකම පාහේ මේ පහසුකම තිබෙනවා. වරක් සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර බේරුණු අයකු නැවත එසේ කිරීමට ගන්නා උත්සහය සාමාන්‍ය අයකුට වඩා බෙහෙවින්ම ඉහළයි. එම නිසා ඔවුන් අනිවාර්යයෙන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි.

ප්‍රශ්නය

වෛද්‍යතුමනි සමාජයෙන්, පවුලෙන්, අධ්‍යාපනයෙන් හා ආගමික අංශයෙන් මේ සඳහා ලැබිය යුතු දායකත්වය කෙසේද?

පිළිතුර

අපගේ අධ්‍යාපන රටාවේ ගුණාත්මක සංවර්ධනය හා ප්‍රායෝගික බව වැඩි දියුණූ කළ යුතුයැයි මා සිතනවා. එසේම ලිංගික අධ්‍යාපනය නිසි වයසේදී දරුවන්ට ලබාදීමෙන් ඒ පිළිබඳව දරුවන් අවධිමත් අන්දමින් ලබාගන්නා දැනුම නිසා ඇතිවන ගැටලු අවම කළ හැකියි. ඔවුන් මුහුණපාන මානසික ගැටලු අවම කළ හැකියි. ප්‍රශ්න නිරාකරණය කිරීමේ විද්‍යාත්මක පිළිවෙත පිළිබඳ අධ්‍යාපනය දරුවන්ට ලබාදිය යුතුයි. ආදරය, රැකවරණය සහ අවධානය දරුවාට දැනෙන අයුරින් ලබා දිය යුතුයි. දරුවා ආශ්‍රය කරන අය පිළිබඳ වැටහීමක් මව්පියන්ට තිබීම ඉතා වැදගත්.

මව්පියන් අතර ඇති ආදරණීය බව, සාමකාමී බව සහ ආදර්ශමත් බව දරුවාගේ මානසික සුවයට බෙහෙවින් බලපානවා. ආධ්‍යාත්මික සංවර්ධණය, හික්මීම ඇති කරලීම උදෙසා දහම් අධ්‍යාපනයට යොමුකිරීමත් ඉතා වැදගත්. එසේම දරුවාට දැඩි කායික මානසික දඬුවම් දීමෙන් වැළකීම වැදගත්. දරුවා තවත් පුද්ගලයකු සේ සලකා ඔහුගේ ආත්ම ගෞරවයට, ආත්ම අභිමානයට හානි නොවන සේ දරුවාගේ වරදකදී දඬුවමක් දීමට මව්පියන් බුද්ධිමත් විය යුතුයි. සියලුම දෙමවිපියන් දැනසිටිය යුතු විශේෂ කාරණයක් නම් දරුවාගේ බුද්ධියට නොගැලපෙන සුදුසු නොවන අසීරු ඉලක්කයන් ඔහුට ලබාදීමෙන් වැළකී සිටීම වැදගත් බවයි.

ප්‍රශ්නය

නාගරික පරිසරයට වඩා ග්‍රාමීය පරිසරයේ සියදිවි හානි කරගැනීම වැඩි බවක් දක්නට තිබෙනවා. එයට විශේෂ හේතුවක් තියෙනවාද?

පිළිතුර

ඔව් ආර්ථික ප්‍රශ්න, පාරිසරික සහ සමාජ සාධක මෙන්ම කර්කශ ජීවනෝපායන් මගින් ඇති කරන පීඩනයන් සමග ජීවත්වන ග්‍රාමිය පරිසරයේ වෙසෙන්නන්ට සියදිවි හානි කරගැනීමට හේතු කාරක සුලබ බව දක්නට ලැබෙනවා. එසේම සියදිවි නසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වල සුලබ බවක් සහ පහසුවෙන් ලබාගත හැකි වීමත් ප්‍රදාන කරුණක් බව කිව යුතුයි. සාමාන්‍යයෙන් දරිද්‍රතාවයේ පතුලේම සිටින්නන් අතර සහ ඉහළම සමාජ මට්ටම් වල සිටින්නන් අතර දිවිනසා ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාව වැඩියි.

ප්‍රශ්නය

සියදිවි හානි කරගන්නට පෙළඹෙන පුද්ගලයන් කෙරෙහි මාධ්‍ය මගින් කිසියම් බලපෑමක් ඇති බවට කෙරෙන චෝදනාවල සත්‍යයක් තිබෙනවාද?

පිළිතුර

සත්‍ය වශයෙන්ම මාධ්‍ය මගින් විශාල බලපෑමක් සිදුවෙනවා. එය අදියර තුනක් යටතේ විග්‍රහ කළ හැකියි. පළමුවෙනි කරුණ නම් කිසියම් කෙනෙක් දිවිනසා ගත් විට මාධ්‍ය මගින් එය ප්‍රචාරය කරන අන්දමයි. ආකර්ශනීය හෙඩිමක් සහිතව, පියවරෙන් පියවර පින්තුර ඇතුළත් කර මියගිය පුද්ගලයා වීරත්වයට නංවා සාහිත්‍ය නිර්මාණයක් සේ රසකර එය පළ කරනවා. බොහෝ විට වාර්තාව කියවන විට සියදිවි නසා ගැනීම සාධාරණියකරණය කර තිබෙන බව දැකිය හැකියි. මෙයින් පාඨකයාට පණිවිඩයක් යවනවා සියදිවි හානි කරගැනීම ප්‍රශ්නයට විසඳුමක් ලෙස. එවිට මෙම මියගිය තැනැත්තාගේ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකින් මානසික පීඩාවක් ඇති අයකුට මේ පුවත ඇස ගැටුණහොත් ඔහු වහාම මෙය විසඳුමක් සේ සලකා දිවිහානි කරගැනීමට පෙළඹෙනවා.

මේ සියදිවිනසා ගැනීම්  COPYCAT SUICIDE ලෙසින් හඳුන්වනවා. පුවතේ සිටින පුද්ගලයා සමාජයේ ප්‍රසිද්ධ තරුවක් වගේ නම් එය අනුකරණය කරන සංඛ්‍යාව බෙහෙවින් වැඩිවෙනවා. උදාහරණ විදියට කනේරු ඇට කා දිවිනසා ගත් අය පිළිබඳව වර්ණනාත්මක පුවත් පළකිරීම නිසා කනේරු ඇට කා සියදිවි නසා ගැනීමට උත්සහ කළ අය නොවූ විරූ ලෙස ඉහළ ගියා. මා වෛද්‍යවරයකු හැටියට කම්පා වූ අවස්ථාවක් නම් ස්ථීරවම මිය යෑමට නම් කනේරු ඇට පමණක් කෑම ප්‍රමාණවත් නැහැ ඒ සමග තවත් යම් දෙයක්ද ආහාරයට ගත යුතු බවට මාධ්‍ය මගින් වාර්තා කිරීමයි. මෙහිදී සිදුවූයේ කිසියම් ප්‍රමාණයකින් හෝ විපතට පත් ජීවිතය ගලවා ගැනීමට ඇති ඉඩ තවත් ඇහිරී යෑමයි.

දෙවන කරුණ නම් සමහර මානසික රෝගී තත්ත්වවලට නුසුදුසු ප්‍රතිකාර ක්‍රම මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමයි. ඒවා සත්‍යයක් ලෙස පිළිගන්නා ජනතාව එවැනි මිත්‍යා දේවල් පසුපස ගොස් රැවටි නිසි ප්‍රතිකාර සඳහා පැමිනෙන්නේ රෝගය හොඳටම බැරෑරුම් වූ පසුවයි. අනිවාර්ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු විශාදය, භින්නොන්මාදය වැනි රෝගවලදී පවා මෙම වැරදි ප්‍රතිකාර ක්‍රම යොදාගෙන රෝගය තව තවත් උත්සන්න කරගත් අවස්ථා එමටයි.

තුන්වන කරුණ නම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන නාට්‍ය, චිත්‍රපට, කෙටිකතා, ටෙලිනාට්‍ය තුළින් මානසික රෝගයක් ඇති පුද්ගලයන් කෙරෙහි හෙළන ඍණාත්මක දැක්මයි. මානසික රෝගීන් සමාජයට, පවුලට කැළලක් ලෙසින් පෙන්වනවා. එයට අමතරව ඔවුන්ගේ ජීවිතය උපහාසයට, විහිළුවට ලක්කරනු ලබනවා. සමහර අවස්ථාවල මානසික රෝගීන් මහත් භයංකාර මනුෂ්‍ය කොට්ඨාශයක් ලෙස පෙන්වනවා. එවිට මානසික රෝගීන් සිටින පවුල්වල උදවියට සමාජයට මුහුණදීමේ අපහසුතා ඇතිවෙනවා. ඔවුන් මානසික රෝගීන් නිවෙස්වල සිරකර තබාගන්නට සමාජයෙන් වසංකර තබා ගන්නට ඒ නිසා උත්සහ කරනවා. මේ නිසාත් නිසි ප්‍රතිකාර රෝගීන්ට අහිමිවීමේ අවදානමක් ඇතිවෙනවා. සත්‍ය වශයෙන්ම මානසික රෝගීන් යනු සමාජයේ ඉමහත් කරුණාවට දයාවට සහ අවධානයට පාත්‍රවිය යුතු අය කියන පණිවුඩය මාධ්‍ය මගින් සමාජයට නිකුත් වෙන්නේ නැති තරම් කීවොත් නිවැරදියි.

එසේම සමහර ටෙලි නාට්‍ය මගින් දිවිනසා ගැනීමේ කතා ප්‍රචාරය කරනවා. එය විශාල බලපෑම් ඇතිකළ අවස්ථා අප අත්දකිනවා. එක්තරා නාළිකාවක කලකට ඉහත පැනඩෝල් බී දිවිනසා ගැනීමට උත්සහ කළ තරුණියකගේ ජවනිකාවක් පෙන්වූවා. එය ප්‍රචාරය වීමෙන් අනතුරුව සතියක් තුළ ඒ ආකාරයෙන් දිවිනසා ගන්නට උත්සහ කළ 15 දෙනකු පිළිබඳව වාර්තා වුණා. නමුත් සමස්ත ගණන ඊට වඩා වැඩි වෙන්න පුළුවන්.

එම නිසා මාධ්‍යය තමන්ගේ වගකීම නිසියාකාරව අවබෝධ කර ගනිමින් මාධ්‍ය ආචාරධර්මානුකූලව කටයුතු කරනවාට අමතරව සෑම මාධ්‍යකරුවකුම තමන්ගේ රාජකාරියේදී ස්වයං පාලනයක් ඇති කර ගැනීම ඉතා වැදගත්.

ප්‍රශ්නය

අවසාන වශයෙන් ඔබ සමාජයට දෙන පණිවුඩය කුමක්ද?

පිළිතුර

සියදිවි හානි කරගැනීම කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් නොවෙයි. ඒ සඳහා කුඩා වියේ පටන්ම දරුවාට අභියෝග, ප්‍රශ්නවලට මුහුණ  දීමට දරුවාට ඉඩ ලබාදිය යුතුයි. ඒවා දරාගැනීමට, ඒවාට ඔරොත්තුදීමට ජීවන කුසලතා පුරුදු පුහුණූ කළ යුතුයි. චාම් සරල ජීවිතයක් ගතකිරීමෙන් මානසික පීඩා අවම කරගත හැකි බව තේරුම් ගත යුතුයි. ආධ්‍යාත්මික ශික්ෂණය ජීවිතයට ඈඳා ගැනීම ඉතා වැදගත්. කිසියම් මානසික ගැටළුවකට මුහුණ පෑවොත්, මානසික රෝගී තත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනිවාර්යයෙන් යොමුවීම ඉතා වැදගත්. මානසික රෝගියකුට පවුලෙන් සහ සමාජයෙන් රැකවරණය සැලකිල්ල ලබාදීම වගකීමක් බවත් කියන්න කැමතියි.

(සියදිවි නසා ගන්නේ ඇයි? යනුවෙන් මේ ලිපියේ මුල් කොටස පළ විය.)

උපදෙස්

වෛද්‍ය ඩී.පී.ඩී. විජේසිංහ
හිටපු විශේෂඥ මනෝ වෛද්‍ය
ජාතික මානසික විද්‍යායතනය
අංගොඩ
ලිපි සැකසුම
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන