පොල් වතුරේ ගුණ බෝමයි

(පොල් ගහ අපි හඳුන්වන්නේ කප්රුක යනුවෙනි. ඒ පොල් ගසින් අපට ඇති අති මහත් ප්‍රයෝජන නිසාය. එහෙත් බොහෝ දෙනා පොල් වතුර කෙතරම් වටිනා ස්වාභාවික පානයක් දැයි දන්නේ නැත. එහෙයින් අපි පොල් වතුර ලීටර් දහස් ගණන් පිට රටවලට පටවා විවිධ පැණි බීම සහ ක්‍රීඩා පාන වර්ග ආනයනය කර පානය කරමු. මේ පොල් වතුරේ ඇති වටිනාකම පිළිබඳ ආචාර්ය එඩ්වඩ් ගෘප් (DC, NP, DACBN, DCBCN, DABFM) විසින් සම්පාදිත ලිපියකි.)

පැරණි භාරතීය සංස්කෘතිය තුළ පොල් ගස හැඳින්වූයේ කල්පරුක්ෂ (කප්රුක) නැතහොත් සිතු පැතු දේ දෙන ගස ලෙසය. මම ඒ ප්‍රකාය සමග එකඟ වෙමි. පොල් ගස අපට බොහෝ දේ ලබා දෙන අපූර්ව වෘක්ෂයකි. පොල් මද සහ පොල් වතුරේ අඩංගු බොහෝ රෝග නාශක ගුණාංග මිනිසාට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමට උපකාරී වෙයි.

පොල් වතුර පෝෂණ ගුණයෙන් අනූන ලොව පුරා ජනප්‍රිය පානයකි. එහි සීනි සංයෝග, විටමින්, ලෝහ, ඇමයිනෝ අම්ල සහ ශාක හෝමෝන බෙහෙවින් අඩංගු බව විශ්වාස කෙරේ.

ක්‍රීඩා ලෝකයේ ස්වාභාවික පානයක්

ක්‍රීඩා ලෝකයේ ක්‍රීඩා පානයන් ඉතා ජනප්‍රිය අතර අලෙවිකරණ උපක්‍රම සහ වෙළෙඳ නාම ඉවත් කොට බැලුවහොත් මෙම බොහෝ පානයන් සීනි දිය කළ ජලය අඩංගු ඇස්බැන්දුම් බව අවබෝධ වෙයි. එහෙයින් පොල් වතුර සෞඛ්‍යයට හිතකර ස්වාභාවික අතිරේක පානයක් ලෙස ක්‍රීඩා ලෝකයේ බෙහෙවින් අවධානය දිනා ගෙන තිබේ. සිරුරට අවශ්‍ය තෙතමනය ලබා දීමට එය සතු විස්මිත හැකියාව බොහෝ දෙනා පොල් වතුර කෙරෙහි ආකර්ෂණය වීමට හේතුවයි.

පොල් වතුර ගැන පර්යේෂණ

ඉන්දියානු සංස්කෘතිය තුළ පොල් සඳහා ලැබෙන ඉහළ පිළිගැනීම නිසා එහි ඇති පෝෂණ සහ රෝග නාශක ගුණ පිළිබඳ විද්‍යාගාර පර්යේෂණ සිදුවෙයි. ඒ අනුව සතුන් යොදා ගෙන කළ බොහෝ පර්යේෂණවල දී පොල් වතුරෙහි පෝෂණය පිළිබඳ ඉතාම හොඳ ප්‍රතිචාර ඉතාම හොඳ ප්‍රතිචාර ලැබී තිබේ.

ඉන්දියාවේ කේරළ විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යා දෙපාර්තමේන්තුව පොල් වතුර පිළිබඳ මීයන් යොදා ගෙන විවිධ කෝණවලින් අඛණ්ඩව පර්යේෂණ ගණනාවක් කළේය. ඉන් එක් පර්යේෂණයක දී පොල් වතුර දියවැඩියාව සහිත මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම සහ ආතතිය පහත දමන බව අනාවරණය කර ගෙන තිබේ. එසේම පොල් වතුර කොලෙස්ට්‍රෝල් පාලනය කර ගැනීමට ද දායක වන බව හඳුනා ගෙන ඇත.

සිරුරේ තෙතමනය රැක ගැනීමට පොල් වතුර

ව්‍යායාම කරන අතර හෝ පිපාසයක් ඇති වූ විට ඔබට තෝරා ගැනීමට ක්ෂණික පාන වර්ග සිය ගණනක් ඇත. එසේ නම් පොල් වතුර බොන්නේ ඇයි? ප්‍රථමයෙන්ම එය ඔබේ සෞඛ්‍යයට හොඳ ස්වාභාවික පානයකි. ක්ෂණික පාන වර්ගවලට සාපේක්ෂව පොල් වතුරෙහි ඇත්තේ අඩු සීනි, අඩු අම්ල සහ අඩු කැලරි ප්‍රමාණයකි. එහි ඉලෙක්ට්‍රොලයිට් නම් අයන සංඝටක බෙහෙවින් අඩංගු වෙයි. ඔබ ව්‍යායාම කරන විට හෝ ඔබට දහදිය දමන විට වතුරවලට වැඩි යමක් ඔබේ සිරුරෙන් පිටවෙයි. ඔබේ සිරුරට ජලය සමග ජලයට වැඩි යමක් වුවමනා වන්නේ එහෙයිනි. එම අවශ්‍යතාව පොල් වතුර සපුරයි.

සාමාන්‍ය ජලයේ, ක්‍රීඩා පානවල සහ පොල් වතුරේ ඇති සිරුර නැවත සජල තත්ත්වයට පත් කිරීමේ හැකියාව පිළිබඳ මැලේසියාවේ සිදු කළ පර්යේෂණයක දී පොල් වතුර ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී ඇත. එම පර්යේෂණය සඳහා විනාඩි 90ක් ව්‍යායාම කළ නීරෝගි පිරිමි 10 දෙනෙක් යොදා ගැනිණි. සෝඩියම් බහුල පොල් වතුර සිරුරට අවශ්‍ය ජලය නැවත ඉතා හොඳින් ලබා දෙනවා පමණක් නොව ඔක්කාරය, වමනය සහ බඩේ අමාරුව සඳහා ද කදිම බව අනාවරණය විය. 

පොල් වතුර පානය කිරීම බඩට පහසුවක් බව අනාවරණය කර ගත් සෙසු පර්යේෂණවල ප්‍රතිඵලවල සහ මෙම ප්‍රතිඵල එකිනෙකට සමානය. ව්‍යායාමවලට පසු සාමාන්‍ය ජලය, පැණි බීම සහ ක්‍රීඩා පාන බොන අයකුට වඩා පොල් වතුර පානය කළ අයකුට ඔක්කාරය සහ බඩ පිපීම වැනි අපහසුතා මතු වීම අඩුය.

පොල් වතුර අනතුරු වළකයි

ඇමරිකාවේ Loma Linda විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට අනුව පොල් වතුරෙහි ඇති සිරුර නැවුම් කිරීමේ සහ සජල කිරීමේ හැකියාව ක්‍රීඩා පිටියෙන් ඔබ්බට යයි. ඔබ කිසියම් අවස්ථාවක රෝහල්ගත වූයේ නම් සිරුරේ ජල මට්ටම ආරක්ෂා කර ගැනීමට බොහෝ විට සේලයින් ලබා දෙන්නට ඇත. එහෙත් නිසි ප්‍රමිතියක් සහිත සේලයින් සොයා ගත නොහැකි ප්‍රදේශයක රෝහලකට ඔබට යාමට සිදු වුවහොත් කුමක් කරන්නද? එම ප්‍රදේශය පොල් සහිත ප්‍රදේශයක් වුවහොත් ඔබ වාසනාවන්තය. ඔබ පිළිගත්ත ද නැත ද පොල් වතුර සිරුර විජලන තත්ත්වයට පත්වීමට එරෙහිව ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙයි.

මෙයට වසර කිහිපයකට පෙර ගිල්බට් දිවයින්වල කොලරා වසංගතය සහ බඩේ ආසාදනය නිසා පාචනය සහ විජලන තත්ත්වයක් ඇති විය. ලුණු ස්වල්පයක් මුසු කළ පොල් වතුර විස්මය ජනක ලෙස ආසාදිත පුද්ගලයාගේ සිරුර සජල තත්ත්වයට පත් කරන බව එහි දී අනාවරණය විය. සේලයින් වැනි සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට අපහසු අවස්ථාවක එය කදිම විකල්පයකි.

පොල් වතුර බොන්න

පොල් වතුර යනු සෝඩියම්, පොටෑසියම්, ක්ලෝරයිඩ්, කැල්සියම් සහ පොස්පරස් අඩංගු ස්වාභාවික ප්‍රබෝධ ජනක පානයකි. එය ඔබේ දත්වලට මෙන්ම සෞඛ්‍යය සඳහා ද කදිමය. ඊළඟ වාරයේ ඔබ පානය කරන්නේ පොල් වතුර ද ක්‍රීඩා පානයක් ද පැණි බීම ද යන්න තීරණය කිරීමට සිදු වන විට පොල් වතුර ම තෝරා ගැනීමට වගබලා ගන්න.

ඔබ පොල් වතුර තෝරා ගත්තේ නම් ඒ පිළිබඳ ඔබේ අදහස අපටත් කියන්න.