වකුගඩු දන් දෙන්නේ මෙහෙමයි

මේ වන විට විවිධ හේතු නිසා වකුගඩු රෝග ව්‍යාප්ත වන අතර වකුගඩු බද්ධ කිරීමට සිදුවන අවස්ථා බොහෝය. ඒ සඳහා යම් පුද්ගලයකු වකුගඩු පරිත්‍යාග කළ යුතුය. එහෙත් සමාජය මේ පිළිබඳ එතරම් දැනුම්වත් නැත. මේ ඒ පිළිබඳ යාපනයේ ශික්ෂණ රෝහලේ වෛද්‍ය රංග වීරක්කොඩි මහතා සමග doctor.lk කළ සාකච්ඡාවකි.

වකගඩු බද්ධ කිරීම වැදගත් ඇයි?

ලංකාවේ වකුගඩු රෝගීන් ගේ ගණන දිනෙන් දින් වැඩි වෙනවා. මොවුන්ගෙන් ඉතාම අසාධ්‍ය වන අයට වකුගඩු බද්ධ කිරීම (transplantation) මගින් ඉතා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා වකුගඩු පරිත්‍යාගශීලීන් අවශ්‍ය වෙනවා.

වකුගඩු පරිත්‍යාග කළ හැක්කේ කෙසේද?

වකුගඩුවක් පරිත්‍යාග කරන්නා, දායකයා (donor) ලෙසත්, ලබන්නා ආදායකයා (recipient)ලෙසත් හඳුන්වනවා. ඔබත් වකුගඩු පරිත්‍යාග කිරීමට කැමති නම් එයට ක්‍රම දෙකක් තියෙනවා. පළමුවැන්න ඔබ ජීවත්ව සිටියදීම වකුගඩු පරිත්‍යාග කිරීමයි (Live donation). දෙවැන්න ඔබ මිය ගිය දිනෙක පරිත්‍යාග කිරීමයි (Deceased donation).

ඕනෑම අයකුට ජීවත්ව සිටිය දී වකුගඩු පරිත්‍යාග කළ හැකිද?

  • ජීවත්ව සිටියදී කරන වකුගඩු පරිත්‍යාග කිරීම්වලට මූලික සුදුසුකම් කිහිපයක් සම්පූර්ණ කළ යුතුයි.
  • වකගඩුදායකයා ශ්‍රී ලාංකික පුරවැසියකු වීම හෝ ආදායකයාට ඥාතීත්වයක් තිබීම.
  • වයස අවුරුදු 21-60 අතර වීම.
  • තීරණයක් ගත හැකි මානසික මට්ටමක පසුවීම.

ඒ වගේම මුදල් බලාගෙන කරන වකුගඩු පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් බවත් සිහිපත් කළ යුතුයි.

එලෙස වකුගඩු පරිත්‍යාග කිරීමට කරන සැත්කම් නිසා සංකූලතා ඇති වෙනවාද?

වකුගඩුවක් පරිත්‍යාග කිරීමේදී ශල්‍යකර්මයක් මාර්ගයෙන් වකුගඩුවක් ඉවත් කර ගන්නවා. එම ශල්‍යකර්මයකදී සිදුවන මූලික අවදානම් තත්ත්වවලට වකුගඩුදායකයා එකඟ විය යුතුයි. ශල්‍යකර්මයේ සංකූලතා සහ නිර්වින්දන සංකූලතා මේ අතර විශේෂයි. මා පුද්ගලිකව වකුගඩු බද්ධ කිරීම් 300කට පමණ සහභාගී වී තිබෙනවා. නමුත් එවැනි සංකූලතා මා දැක ඇත්තේ බොහොම අතළොස්සක් විතරයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීම නිසා දිගුකාලීන ආබාධ ඇති විය හැකිද?

වකුගඩු දායකයන් හට දීර්ඝකාලීන අතුරු ආබාධ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නෑ. පර්යේෂණවලින් පෙන්වා දෙන පරිදි අධිරුධිර පීඩනය ඇති වීමේ සුළු අවදානමක් නම් තිබෙනවා. ඒ හැර තනි වකුගඩුවක් ඇති කෙනෙක්ට විශේෂිත වූ සංකූලතා ප්‍රශ්න වීමට සුළු ඉඩක් තිබෙනවා. (උදා. ගලක් හිර වීම, පිළිකා ඇති වීම, අනතුරුවලට ලක්වීම). සාමාන්‍ය කෙනෙක්ට වඩා නිතර වෛද්‍ය අවධානයට ලක්වන නිසා, වකුගඩු දායකයන්ගේ රෝග කලින්ම හඳුනා ගත හැකි නිසා ඔවුන් සම වයසේ පුද්ගලයන්ට වඩා වැඩි කලක් ජීවත්වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.

පුද්ගලයකු වකුගඩු පරිත්‍යාග කිරීමට නුසුදුසු වීමට හේතු තිබෙනවාද?

ඔව්, පුද්ගලයෙක් වකුගඩු දායකයෙක් ලෙස පිළි නොගන්නා වෛද්‍ය හේතු තියෙනවා. පාලනය නොකළ අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩුවලින් දැනටමත් ප්‍රෝටීන් පිටවීම හෝ වෙනත් වකුගඩු රෝගයක් තිබීම, හෙපටයිටිස් හෝ HIV වැනි බෝවන රෝගයකින් පෙළීම හෝ බද්ධ කිරීමට අපහසු රුධිර නාල පිහිටීම වැනි හේතු නිසා යම් පුද්ගලයකු වකුගඩු පරිත්‍යාග කිරීමට නුසුදුසු පුද්ගලයකු වෙන්න පුළුවන්.

මියගිය විට වකුගඩු පරිත්‍යාගය සිදුවන්නේ කෙසේද?

මිය ගිය පසු වකුගඩු දන්දීම යනු ඔබේ මොළය හෝ හෘදයවස්තුව ක්‍රියාවිරහිත වන තත්වයක් යටතේදී (brain dead and cardiac dead) ඔබේ වකුගඩු ඉවත් කර ගැනීමයි. මේ අවස්ථා දෙකේදීම ඔබ නියත මරණයකට පත්වී ඇති නමුත් ඔබේ වකුගඩු මගින් තවත් රෝගීන්ට ජීවිතය ලබා දීමට හැකි වෙනවා. වකුගඩු වගේම සෙසු ශරීර අවයවයත් ඔබට මේ විදිහට පරිත්‍යාග කරන්න පුළුවන්.

මියගිය විට වකුගඩු පරිත්‍යාග කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

ඔබ මිය ගිය දිනෙක ඔබේ අවයව දන් දීමට කැමති නම් ඒ සඳහා ඔබේ කැමත්ත කලින් ප්‍රකාශ කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නොවුණොත් ඔබගේ නෑයන්ගෙන් ඒ සඳහා අවස්ථානෝචිතව කැමැත්ත ගැනීම දුෂ්කර ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඔබේ නීතිඥයා සමග එම ලියව්ලිවල පිටපතක් තබන්න පුළුවන්. නැතිනම් ජාතික අවයව දායකයින්ගේ ලේඛනයට (ජයවර්ධනපුර රෝහල) ඔබේ නම ලබා දෙන්නත් පුළුවන්. අවශ්‍ය කිසියම් හේතුවක් නිසා පසු අවස්ථාවක ඉන් නම ඉවත් කර ගැනීමට උවමනා නම් එයටත් අවස්ථාව තියෙනවා. ඔබට වකුගඩු දන්දීම ගැන වැඩි විස්තර ළඟම රෝහලේ වකුගඩු රෝග සායනයෙන් ලබා ගන්න පුළුවන්.

උපදෙස්

වෛද්‍ය රංග වීරක්කොඩි
යාපනය ශික්ෂණ රෝහල
යාපනය
සටහන
එම්. ජේ. නානායක්කාර