දරු පැටියාට හෘද රෝග අවදානමක් තිබේ දැයි කල්තියා හඳුනාගන්නේ මෙහෙමයි.

ළමා හෘද රෝග සහ එහි ලක්ෂණ පිළිබඳ සමාජයේ බොහෝ දෙනා දැනුම්වත් නැත. එහෙයින් එම රෝග තත්ත්ව නොතකා හැරීම නිසා ජීවිත අවදානමක් පවා ඇති විය හැකිය. මේ ඒ පිළිබඳ බදුල්ල දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍ය ප්‍රමිලා රුක්මාලී මහත්මිය සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවකි.

ළමා හෘද රෝග ලෙස හඳුන්වන්නේ මොනවා ද?

හෘද වස්තුව ඉතාම සංකීර්ණ ඉන්ද්‍රියකි. මේ නිසා යම් යම් අවස්ථාවල ආබාධ හටගැනීම සිදුවේ. දරුවන්ගේ හෘද වස්තුව තුළ සිදුරු පැවතීම හෝ හෘදය තුළ ක‍්‍රියාත්මක නහර පද්ධතියේ ඇති රෝගී තත්ත්ව හෘද රෝගයක් ලෙස හැඳින්විය හැකිය. බොහෝ හෘද රෝග උපතින් ම ඇති වන අතර සමහර හෘද රෝග ඇති වන්නේ ඉපදීමෙන් පසුවය.

මෙසේ කුඩා කල හෘද රෝග ඇති වන්නේ ඇයි?

ළමා හෘද රෝග ඇති වන්නේ හෘද වස්තුව වර්ධනයේදී ඇති වින විවිධ වෙනස්කම් නිසාය. විශේෂයෙන් රුධිර සංසරණයේදී ඇති වන අක‍්‍රමිකතා හේතුවෙනි. උපතින් පසු හෘදයේ ක්‍රියාකාරිත්වය එය මව් කුසේදී ක‍්‍රියාකළ ආකාරයට වඩා වෙනස් වේ. මව් කුසේදී දරුවාගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්නේ මවගෙනි. ඒ නිසා කුස තුළදී  දරුවාගේ රුධිර සංසරණය නිසා ආකාරය පවත්වා ගැනීමට  හෘද වස්තුවේ සිදුරු පවතී. මව් කුසෙන් පැමිණි පසු හුස්ම ගනිද්දී ඒ සිදුරු වැසිය යුතුයි. එම සිදුරු නිවැරදි ලෙස නොවැසීම නිසා හෘදයේ  සිදුරු ඇති වේ. එසේම හදවත තුළ ක‍්‍රියාත්මක නහර පද්ධතියේ රෝග තත්ත්ව නිසාද හෘද රෝග ඇති විය හැකිය. කපාටවල රෝගී ත්වයන් හේතුවෙන් ද  හෘද රෝග ඇති විය හැකිය. ඊට අමතරව ළමා කාලයේ ඇති වන රෝගී තත්ත්වයන් වන රොමැටික් උණ, කවසාකි රෝගී තත්ත්වය සහ එන්ඩොකාඩයිටික් ආසාදන තත්ත්වය නිසා හෘද රෝග ඇති වේ.

හෘද රෝගයක් මවු කුස තුළ දී හඳුනා ගත හැකි ද?

සමහර විට මව් කුසේදී මෙකී රෝග තත්ත්වය හඳුනා ගත හැකිය. සෑම මවක්ම සති 18- 22 අතර කාලයක දී ඇනෝමලි ස්කෑන් පරික්ෂාවට ලක් කෙරේ. එහිදී කුස තුළ සිටින දරුවා පිළිබඳ බොහෝ දේවල් හඳුනා ගත හැකිවේ. නමුත් හෘද රෝග පිළිබඳ සියලු දේ හඳුනා ගැනීමේ හැකියාවක් නැත. බොහෝ විට හෘද රෝග තත්ත්ව හඳුනා ගන්නේ ඉපදීමෙන් පසුවය.

එම හෘද රෝගවල ලක්ෂණ මොනවා ද? 

  • හෘද වස්තුවේ ශබ්දය වෙනස්වීම
  • හුස්ම ගන්නා ආකාරය වෙනස්වීම
  • දරුවා අඬන ආකාරය වෙනස්වීම
  • හැඬීමේදී නිල් පැහැ ගැනීම
  • කිරි බීමේ අපහසුතා ඇති වීම
  • දරුවාගේ වර්ධනය අඩු වීම
  • නිතර පෙනහලු ආශ‍්‍රිත රෝග ඇති වීම
  • ශරීරය හොඳින් වර්ධනය වී තිබුණත් බර වැඩි නොවීම

ළමා හෘද රෝගියෙකුට ලබා දිය යුතු ප‍්‍රතිකාර මොනවා ද?

එකෝකාඩියග්‍රෑම් පරීක්ෂණය හා පැත් පරීක්ෂණය මඟින් හෘද රොගී තත්ත්වය තහවුරු කරගත් පසු ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

ශල්‍ය කර්මයක් සිදු කිරීම මූලික ප‍්‍රතිකාරයයි. නමුත් දරුවා කුඩා වන බැවින් ශල්‍ය කර්මයක් සිදුකිරීම අනතුරු දායක විය හැකිය. මේ නිසා බෙහෙත් මගින් තත්ත්වය පාලනය කර පසුව ශල්‍ය කර්මයකට යොමු විය හැකිය. හැකි තරම් ප‍්‍රමාද කර දරුවා තරමක් වැඩුණු පසු හෘද සැත්කමකට ලක් කිරීම වඩාත් සාර්ථක වේ. දරුවා හොඳින් වර්ධනය වූ විට ඇති විය හැකි අවදානම් සහගත තත්ත්වය අවම කරගත හැකිය. මෙවන් රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින දරුවෙක් නොකඩවා සායනවලට සහභාගී කරවිය යුතුය.

හෘද රෝගයක් වැළඳී ඇති දරුවකු රැක බලා ගත යුත්තේ කෙසේ ද?

රෝගයේ තත්ත්වය අනුව මෙය වෙනස් වේ. දරුවාට වැළඳී ඇත්තේ සාමාන්‍ය රෝගී තත්ත්වයක් නම්, දරුවා සාමාන්‍ය දරුවෙකු සේ රැක බලා ගත යුතුය. නමුත් දරුවාට වැළඳී ඇත්තේ සංකීර්ණ රෝගී තත්ත්වයක් නම් වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීම අනිවාර්ය වේ.

නිවැරදි වෙලාවට ඖෂධ ලබා දිය යුතුය. එසේම මෙම දරුවා කොන්කර පැත්තකට දමා තිබීම නොකළ යුතුය. බොහෝ දෙමව්පියෝ දරුවාගේ සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වයට බාධා කරමින් හැසිරෙති. දරුවා මානසිකව වෙහෙසිය යුතු නැත. රුධිර සංසරණ ක‍්‍රියාවලිය බාල වන බැවින් දරුවා කායිකව මහන්සි කළ යුතු නැත. හෘද රෝගයකින් පෙළෙන දරුවන් විශේෂයෙන් ක‍්‍රියාශීලී බවින් අඩු බැවින් දෙමාපියන් නිතර අවදානයෙන් සිටිය යුතුය.

උපදෙස්

වෛද්‍ය ප‍්‍රමිලා රුක්මාලි‍ෙ
ළමා රෝග ඒකක
බදුල්ල දිස්ත්‍රික් මහ රෝහල