ඔබේ දරු පැටියාගේ ජීවිත අනතුරේ හෙළන ගෙදර දොරේ බඩු මුට්ටු

වතුර කේතලය, උණු වතුර බෝතලය, වීදුරුව ආදි බොහෝ දේ දරුවාට අනතුරුදායකය. එම උපකරණ ඔබේ දරුවාගේ ජීවිතය ක්ෂණිකව අනතුරට ලක් කළ හැකිය. දරුවාට දරුණු තුවාල සිදු කළ හැකි නැතිනම් මරු කැඳවිය හැකි එවැනි උපකරණ ගැන ඔබ දැනුම්වත් ද? මේ ලිපිය එවැනි උපකරණ සහ බඩුමුට්ටු කිහිපයක් පිළිබඳය.

නාන බඳුන

නාන බඳුන්, විශාල මාළු ටැංකි වැනි ජල රඳවන දරුවන්ට බෙහෙවින් අහිතකරය. සෙල්ලම් කරන වයසේ දරුවන් තුළ ජලය කෙරෙහි ඇති කැමැත්ත විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. දරුවා ඒ තුළට ඇද වැටිය හැකි නිසා  එවැනි තැන්වල දරුවන්ට තනිව සෙල්ලම් කිරීමට ඉඩ දීම බෙහෙවින් අනතුරුදායකය. එපමණක් නොව ඒවායේ ජලය දරුවා ගිලෙන මට්ටමක පවතී නම් එහි ඇති අනතුරුදායක බව කිසිසේත් අවප්‍රමාණ කළ නොහැකිය.

විදුලි කෙවෙනි සහ විදුලි උපකරණ

මෙම උපකරණ සෑම විටම දරුවාට ළඟා වීමට නොහැකි දුරින් තබන්න. විදුලි කෙවෙනි අසලට ළං නොවිය හැකි පරිදි දරුවන් තබන්න. දරුවාගේ දණ ගෑමේ, බඩ ගෑමේ පෙරළීමේ සහ ඇවිදීමේ ක්‍රියාවලිය සමග එවැනි අනතුරුදායක තැන්වලට ඉතාම පහසුවෙන් ළං වීමේ අවදානමක් ඇත.

රාක්ක‍

දරුවන් යම් යම් දේ  මතට නැඟීමට කැමතිය. පොත් රාක්ක, කුඩා කබඩ් ආදිය වෙත ඔවුහු වහා ආකර්ෂණය වෙති. මෙම රාක්ක පොළොවට සවිමත් ලෙස සවි වී නොමැති නම් ඉතාම පහසුවෙන් පෙරළී දරුවන්ට හානි කළ හැකිය. එහෙයින් මාපියන් මෙවැනි රාක්ක ආදිය දරුවන්ට පෙරළිය නොහැකි ආකාරයට තැබීමට වග බලා ගතයුතුය.

ජනෙල් ආවරණ රැහැන

සමීක්ෂණ වාර්තා අනුව1990-2015 කාලය තුළ 17 000කට ආසන්න දරුවන් ප්‍රමාණයක් ජනෙල් ආවරණ නිසා තුවාල ලබා ඇති අතර 300කට අධික ප්‍රමාණයක් මරණයට පත්ව තිබේ. බොහෝ මරණවලට හේතුව දරුවන් එම රැහැන්වල පැටලීම සහ ගෙල පැටලී හුස්ම හිරවීමය.

වෛද්‍ය ඕනෙල් පවසන පරිදි ජනෙල් ආවරණ රැහැනක දරුවකුගේ ගෙල සිර වුවහොත් හුස්ම හිරවීමට හෝ සිහි නැති වීමට විශාල ඉඩක් තිබේ. වැඩිහිටියකු පළමු විනාඩි 2-3 ඇතුළත වහා ක්‍රියාත්මක නොවුණහොත් ඒ වන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැකිය.

කේතලය

කේතලය සෑම නිවසකම බෙහෙවින් ජනප්‍රිය මුළුතැන්ගෙයි උපකරණයකි. දරුවකු අපරික්ෂාකාරී ලෙස එය අතපත ගෑමට ඇදීමට ගියහොත් ඔහු පිළිස්සීමේ විශාල අවදානමක් ඇත. මෙම උපකරණ තම දරුවන්ට කිසිදු හානියක් නොවන ආකාරයට භාවිතයට සහ නිවසේ තබා ගැනීමට දෙමාපියන් වගබලා ගත යුතුය.

තියුණු දාර සහිත ගෘහ භාණ්ඩ

දරුවන් සෙල්ලම් කරන විට ඇද වැටීම ඉතාම සාමාන්‍ය දෙයකි. එවිට දරුවන් නිවසේ ඇති ගෘහ උපකරණවල තියුණු දාර මතට ඇද වැටීමේ ඉහළ අවදානමක් තිබේ.

එහෙයින් එවැනි දාර කුඩා පුළුන් කොට්ට වැනි යමක් යොදා ආවරණය කළ යුතුය. දරුවන්ට ඇඳේ සිට හෝ උස් තැන්වල සිට බිමට පැනීම මාපියන් විසින් තහනම් කළ යුතුය. එසේම දරුවන් සෙල්ලම් කරන දුව පැන ඇවිදින ඉසව්වේ ඔවුන් පැටලී ඇද වැටිය හැකි කිසිවක් නොදැමීමට මාපියන් වගබලා ගැනීම වැදගත්ය.

ඖෂධ

දරුවන් බොහෝ විට ඖෂධ වර්ගවලට රස කැවිලි යැයි රැවටෙනු ඇත. දරුවාට ඒවා හඳුනා ගැනීමට හෝ එහි අවදානම හඳුනා ගැනීමට නොහැකිය.

එහෙයින් දරුවන්ට ළඟා විය නොහැකි ආකාරයට ඖෂධ ගබඩා කර තැබීමට වගබලගත යුතුය. එසේම දරුවන්ගේ ඖෂධ සහ වැඩිහිටියන්ගේ ඖෂධ එකිනෙකට ඈතින් ගබඩා කළ යුතුය.

වීදුරු කෝප්ප

දරුවා නොසැලකිල්ලෙන් වීදුරු හෝ මැටි කෝප්ප භාවිත කළ හොත් පිළිස්සිය හැකිය. එවැනි කෝප්පයක් බිඳුණ හොත් ඇති විය හැකි තත්ත්වය කිව යුතු නැත. එහෙයින් මාපියන් දරුවන්ට ප්ලාස්ටික් බඳුන් ලබා දිය යුතුය. නැතහොත් අදාළ බඳුන දරුවන් අතට නොදී මාපියන් අත රඳවා ගත යුතුය.

කුඩා උපකරණ සහ ආහාර වර්ග

නිවසේ ඇති බොත්තම්, බැටරි කෑලි වැනි දේවල් දරුවාට විවිධාකාරයෙන් අනතුරු කළ හැකිය. ළදරුවන් ඒවා ආහාර ලෙස වරදවා වටහා ගෙන ගිල දැමිය හැකිය. මේ නිසා දරුවන් මහත් කම්පනයට පත්විය හැකි අතර මාරාන්තික අනතුරු කළ හැකිය.

එසේම කඩල වැනි කුඩා කෑම ද දරුවාගේ උගුරේ සිරවිය හැකිය. දරුවන්ට එවැනි ආහාර කැවීමේ දී මාපියන් සැලකිලිමත් විය යුතුය.

(feedytv.comහි පළ වූ List of normal things in houses that can possibly put your children at fatal risks නම් ලිපියේ සිංහල අනුවාදයකි.)