ළමා මානසික රෝග හඳුනා ගන්නේ මෙහෙමයි

ළමා මානසික රෝග, ඒවා ඇති වීමට බලපාන හේතු සහ ඒවායේ ලක්ෂණ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය කේ.ඩී.පී. කුරුප්පු මහතා සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවකි.

 ළමා මානසික රෝග තත්ත්ව කියන්නේ මොනවාද?

ළමා මානසික රෝග  උපතින් ඇති වන රෝග තත්ත්ව සහ උපතින් පසුව වර්ධනයේ යම් යම් දුර්වලතා නිසා ඇති වන මානසික රෝග තත්ත්ව යනුවෙන් දෙකොටසකි.

උපතින් ඇති වන මානසික රෝග මොනවාද?

ජානමය වශයෙන් උපතින් ඇතිවන රෝග ඇති දරුවන්ගේ මනස සෙමින් වර්ධනය වේ. ඔවුන් ඉගෙනීමට රුචියක් නොදක්වයි. කියන දේ පිළිබඳ අවබෝධයක් නැත. නිතර කේන්ති යයි. නමුත් මෙම රෝගී තත්ත්වය ඇති දරුවන් සංගීතය රසවිඳීමට කැමතිය.

ඒ සඳහා බලපාන හේතු මොනවාද?

ගර්භණී අවස්ථාවේ මවගේ දුර්වල මානසික තත්ත්වය නිසා ඔටිසම් නම් මානසික රෝගී තත්ත්වය දරුවාට ඇතිවිය හැකිය. මව අත්විඳි යම් යම් මානසික ආතතීන් දරුවාගේ මනස වර්ධනය වීම අඩාල වීමට බලපෑ හැකිය. මෙම ඔටිසම් තත්ත්වය මුල් කාලයේ දී හඳුනාගත නොහැකිය. වර්ධනයත් සමඟ සමාජයෙන් කොන්වී, සමාජගත වීමට බියෙන් කාලය ගත කරයි නම්, නිතර නිතර කේන්ති යයි නම්, දරාගැනීමේ හැකියාව දුර්වල නම් ඔටිසම් රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගනී.

නමුත් මෙම රෝගී තත්ත්වය ඇති අයගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ වේ. මුල් කාලයේ ඉගෙනීමට ඉතා දුර්වල වුවත් මනස වේගයෙන් වර්ධනය වේ. ලෝකයේ බොහෝ නව සොයා ගැනීම් සිදු කළ විද්‍යාඥයන් මෙම රෝගී තත්ත්වයේ සිට ඇත.

එසේම ස්වභාවික උපතකදී උපත ප්‍රමාද වීමක් හෝ ඔළුව හිර වීමක් සිදුවුවහොත් ඔළුවට ඔක්සිජන් ගමන් නොකිරීම නිසා මොළයේ වර්ධනය අඩුවේ. එසේම පිත්තාශයෙන් නිපදවන පිත වැඩිවීම නිසා මුල් කාලයේදී ශරීරය කහ පැහැ ගැන්වීම සිදුවේ. මේ රෝගී තත්ත්වය නිසා මොළයට බලපෑම් ඇතිවේ. මේ රෝගී තත්ත්වයන් ජන හා උපතේ දී සිදුවන මානසික රෝගී තත්ත්වයන් වේ.

උපතින් පසු මානසික රෝග ඇති වන්නේ ඇයි?

දරුවා උපතින් පසුව මුහුණ දෙන පාරිසරික ගැටලු, මානසික ගැටලු, පෝෂණ ගැටලු නිසා දුර්වල මානසික තත්ත්වයක් ඇතිවිය හැකිය. විශේෂයෙන් පෝෂණ ඌණතා නිසා මානසික තත්ත්වය දුර්වල වේ. මොළයේ සියයට 70 ක් වර්ධනය වන්නේ මුල් මාස තුනේදීය. අවුරුදු 19 ත් 20 ත් අතර කාලයේ තවත් කොටසක් වර්ධනය වන අතර අවුරුදු 25 – 26 කාලයේදී මොළය වර්ධනය වී අවසාන වේ. මේ කාලයේ මොළයට අවශ්‍ය යකඩ, හිමොග්ලොබින් වැනි මූලික පෝෂණ පදාර්ථ අඩුවීම දුර්වල මානසික තත්ත්වයක් ඇති වීමට බලපායි.

මෙම රෝග තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?

මෙම රෝගී තත්ත්වය හඳුනාගත හැක්කේ වෛද්‍යවරයාට පමණි. උපතේ සිට මාස 3 ක් ඇතුළත ශරීර ලක්ෂණවලින් දරුවා දක්වන ප්‍රතිචාරවලින් වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය හඳුනාගනී. සෞඛ්‍ය වර්ධන සටහනට අනුව ප්‍රතිචාරාත්මක ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් වෛද්‍යවරයා මෙන්ම දෙමව්පියන් ද දරුවා පිළිබඳ අවධානය යොමුකළ යුතුය. මීට අමතරව අතේ ඇඟිලි විකෘති ස්වරූපයක් ගනී නම් නිතර හදවත් රෝග ඇතිවේ නම් ඒවා දුර්වල මානසික රෝගී තත්ත්වයක් ලක්ෂණ වේ.

දෙමව්පියන්ගේ චර්යා රටා මේ සඳහා බලපානවාද?

උපතින් පසුව ඇතිවන මානසික රෝගී තත්ත්වවලට සෘජුවම දෙමව්පියන්ගේ චර්යාව බලපායි. ළමයාට ප්‍රතිචාර දැක්වීම අඩුවීම “එපා“, “බැහැ“ ලෙස දරුවා සෘණාත්මකව උත්තේජය කිරීම, ළමයා බිය වැද්දීම ආදිය සිදුනොකළ යුතුය. දෙමව්පියන් අතර ඇති වන ගැටුම් දරුවාගේ මානසික තත්ත්වයට බලපායි. මුල් මාස 3 දී මොළයේ වැඩි ප්‍රමාණයක් වර්ධනය වන බැවින් දරුවාගේ මානසික සමබරතාව මේ මාස තුනේදී බෙහෙවින් වැදගත් වේ.

දරුවාගේ මානසික සමබරතාව පවත්වා ගන්නේ කෙසේද?

අභියෝගවලට මුහුණදෙන නිර්මාණශීලී දරුවෙකු බිහිවීමට නම් ඔහුට මානසික සමබරතාවක් තිබිය යුතුය. ඒ සඳහා,

 

  • අවශ්‍ය පෝෂණය ලබාදීම.
  • ආදරය, රැකවරණය ලබාදීම.
  • ධනාත්මකව උත්තේජනය කිරීම.
  • අපචාරවලින් වළක්වා ගැනීම.
  • ඉගෙනීම දීඅනවශ්‍ය ලෙස පීඩනයට පත්නොකිරීම.
  • අනවශ්‍ය බිය ඇති නොකිරීම.
  • කායික ක්‍රියාකාරම්කෙරෙහි යොමු කිරීම.
  • විනෝදාංශ කෙරෙහි යොමු කිරීම.
  • මානසික සැනසීම ලබාදීම.

යනාදිය වැදගත් වේ.

දරුවාගේ පෞරුෂ වර්ධනයට මෙම රෝගී තත්ත්වය බලපානවාද?

සැබැවින්ම, දරුවාගේ පෞරුෂ වර්ධනයට මෙම රෝගී තත්ත්වය බලපායි. දරුවාට අවශ්‍ය ආදරය සෙනෙහස නොලැබුණු විට මෙවන් මානසික රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙයින් පසුකාලීනව දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද සිදුවිය හැකිය. විශේෂයෙන් දෙමව්පියන් කාර්යබහුල වීම නිසා දරුවා කෙරෙහි අවධානය අඩුවීම දරුවාගේ මානසික වර්ධනයට බලපායි. මේ නිසා දරුවා ක්ෂණික උත්තේජනවලට යොමුවන අතර දුර්වල පෞරුෂයක් හිමි අයකු ලෙස සමාජගත වේ.

උපදෙස්

වෛද්‍ය කේ.ඩී.පී. කුරුප්පු
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය