හෘදයාබාධ අවධානමෙන් මිදෙන්නේ මෙහෙමයි

අද වන විට අපේ සමාජයේ හෘද රෝග අවධානම බෙහෙවින් ඉහළ ගොස් තිබේ. අපේ ජීවන රටාව ඒ සඳහා ප්‍රමුඛ හේතුවකි. එහි ඇති අඩුපාඩු සකසා ගැනීම ඔස්සේ හෘද රෝග අවධානම බොහෝ දුරට අඩු කර ගත හැකිය. මේ ඒ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

හෘද රෝගයක් යනු කුමක්ද?

හෘද රෝග ඇතිවන්නේ  හෘදයේ කිරීටක ධමනිය අවහිර වීමෙනි. මෙම රුධිර නාල 70% තෙක් අවහිර වන තෙක් රෝගියාට කිසිදු දැනීමක් ඇති නොවේ. ඒ නිසා රෝගී තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට හැකියාවක් නැත.  පූර්ව හෘදයාබාධ ලක්ෂණ මතු නොකරම මිය යන අවස්ථා ද දක්නට ලැබේ.

වේදනාව ඇති වන්නේ රුධිරවාහිනී මත කොලෙස්ටරෝල් කැල්සියම් තැන්පත් වීම නිසා  රුධිර නාලයේ විශ්කම්භයෙන්  70% පමණ අවහිර වූ විටය.  ඒ නිසා ඇවිදින විට, වැඩ කරන විට පපුවේ වේදනවක් ඇති කරයි නම් ඒ හෘද රෝගයක පෙරනිමිති විය හැකිය.

ලංකාවේ  සිදුවන මරණ සඳහා හෘද රෝග කෙතෙක් දුරට හේතු වනවාද?

ලංකාවේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල ස්වභාවික මරණ ඇති විමට හේතුව හෘද රෝගයි. මෙරට දිනකට මරණ 250 පමණ සිදුවන අතර ඉන් 120 – 200 අතර ප්‍රමාණයක් සිදු වන්නේ හෘද රෝගවලිනි. දිනකට වකුගඩු රෝගයෙන් තිදෙනෙක් පමණ මිය යන අතර එමෙන් පනස් ගුණයක් පමණ හෘද රෝගවලින් මිය යති.

හෘද රෝග ඇති වන්නේ ඇයි?

උපතින් ඇති වන සංජානනීය හෘද රෝග සහ වැඩිහිටි අවස්ථාවේ නතුකර ගත් හෘද රෝග ලෙස හෘද රෝග කොටස් 2 කි. වැඩිහිටි අවස්ථාවේ සහ පූර්ව වැඩිහිටි අවස්ථාවේ සිදුවන ස්වභාවික මරණවලට ප්‍රධාන හේතුව වන්නේ  මෙම හෘද  රෝගයි. ජානමය හේතුවලට අමතරව පහත දැක්වෙන ආකාරයේ පාරිසරික හේතු නිසා ද හෘද රෝග ඇති විය හැකිය.

  • හරි ආකාරයව පාලනය නොකරන දියවැඩියාව (හෘද රෝගීන්ගෙන් 70% පමණ දියවැඩියා රෝගීන්)
  • හරි ආකාරව පාලනය නොකරන අධිරුධිර පීඩනය
  • අක්‍රමවත් ආහාර රටාව
  • අධික ලෙස සංතෘප්ත මේදය සහිත ආහාර ගැනීම
  • සක්‍රීය දුම්පානය (තමන් දුම් පානය) සහ අක්‍රීය දුම්පානය (අන් අය ගේ දුම ආග්‍රාහණය වීම)
  • මානසික ආතතිය
  • රැකියාවේ ගැටලු
  • ව්‍යායාම මදිකම
  • රුධිරයේ ජීව විදත්මකව සංයුතිය වෙනස් වීම

හෘදයාබාධ සඳහා ඇති ප්‍රතිකාර  ක්‍රම මොනවාද?

හෘදයාබාධයක් සඳහා තියෙන්නේ ඉතා අල්ප ප්‍රතිකාර කිහිපයකි. සියලු ප්‍රතිකාර කළ යුත්තේ රෝහලෙනි. ඒ මොහෝතේම රෝගී තත්ත්වය පරීක්ෂා කර හෘද වස්තුවේ රුධිර නාලවල තත්ත්වය පරීක්ෂා කළ යුතුය. වෛරස් ආසාදනයකදී හිතේ කම්පනයකදී  අධික තෙල් සහිත ආහාර ගත් අවස්ථාවල දී කොසේටරෝල් නිදිය පුපුරා යාම නිසා ලේ ගැලීමෙන් කිරීටක ධමනියේ සිදුර වැසී යා හැකිය.

හෘද රෝගියෙක්ට පැය 6 වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිකාර කළ යුතුය. ඒ සදහා ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වල පහසුකම් තිබිය යුතුයි. හෘද රෝග බහුල වී ඇත්තේ හෘද රෝගවල තෘතික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම අඩාල වී ඇති බැවිනි. හෘද වස්තුවේ ධමනි චිත්‍රයක් ගෙන පරීක්ෂා කර රෝගී තත්ත්වය තීරණය කළ යුතුයි. ඩයි පරීක්ෂණය සිදුකර වසරක් යන්නට පෙර බයිපාස් සැත්කම සිදුකරයි. හැම හෘද රෝග නිවාරණ ප්‍රතිකාර ක්‍රමයකම අරමුණ විය යුත්තේ ඉක්මනින් ප්‍රතිකාර ලබාදී හෘදයේ  කිරීටක දමනිය යථාවත් කිරීමයි. බයිපාස් සැත්කමින් හෝ ස්ටේන් දැමීමෙන් හෘදයේ මැරීගෙන යන මාංස කොටස නැවත ජීවත් කිරීම  හෘද රෝග සඳහා සිදුකරන ප්‍රතිකාරයේ  අවසාන ඉලක්කය විය යුතුය.

හෘද රෝග ඇතිවීම වළක්වාගත හැක්කේ කෙසේද?

ජානමය හේතු හැර සියලුම පාරිසරික සාධක පාලනය කළ යුතුයි. අධිරුධිර පීඩනය, දියවැඩියාව‍, ආහාර, දුම්පානය, මානසික ආතතිය පාලනය කළ යුතු අතර ව්‍යායාමවල නිරත විය යුතුය‍. ජානමය සාධක සහිත පවුල් ජාලයක සිටින පුද්ගලයන් පූර්ව වැඩිහිටි වියේදී හෘද රෝග සම්බන්ධ ජීව රසායන පරීක්ෂණ සිදුකරගත යුතුය. රෝග තත්ත්වය දැනගත් පසුව වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතුය. ජානගත ස්වභාවයෙන් හෘද රෝග වැළඳී ඇති පුද්ගලයන් පාරිසරික සාධකවලින් ඈත්විය යුතුය. මන්ද ජානමය සාධකය හා පාරිසරික සාධක එක් වූ විට අවධානම ඉතා ඉහළ යා හැකි බැවිනි.

ආරක්ෂා විය යුතු විශේෂ අවස්ථා මොනවාද?

හෘදයාබාධයක් වැළඳුන අයෙක් දෙවන හෘදයාබාධය  වැළඳීමෙන් ආරක්ෂා විය යුතුය. හෘද රෝග ඇති වීමේ ප්‍රධාන හේතු දෙක වන දියවැඩියාව (රුධිරයේ සීනි මට්ටම) හා  අධික රුධිර පීඩනය ඇති රෝගීන් නිසි ආකාරව ඒවා පාලන කළ යුතුය. මන්ද දෙවන හෘදයාබාධය ඇති වීමේ අවධානම වැඩි බැවිනි.

සාමාන්‍යෙයන් තුන්වැනි හෘදයාබාධයේදී රෝගියා මිය යයි. එසේ නොවුණහොත් නැවත නැවත ඇති වීමේ අවධානම වැඩිය. මේ නිසා වෛද්‍ය උපදෙස් නිසි ආකාරව පිළිපැදිය යුතුය. වෛද්‍යවරු රෝගී තත්ත්වය නිසි ආකාරව ගණනය කර ප්‍රතිකාර ලබාදිය යුතුය.

උපදෙස්

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ
හෘද සහ උරස් කුහර ඒකකය
ශික්ෂණ රෝහල
කරාපිටිය
ගාල්ල