මව්කිරි දීමෙන් මවට ලැබෙන වාසි මෙන්න

(මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රෝහාන් රත්නායක මහතා සමග doctor.lk පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි.)

දරුවාට මව්කිරි දී නිසා මවගේ සිරුර දුර්වල වෙනවාද?

මව්කිරී දීමෙන් මවගේ සිරුර කිසිසේත්ම දුර්වල නොවේ. දරුවා ලැබෙන කාල සීමාවේ කිරි ලබාදීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මේදය ලෙස සිරුරේ තැන්පත්වේ. මේ නිසා ශරීරය මහත් වීමක් දක්නට ලැබේ. ප්‍රසූතියෙන් පසු මව්කිරි දෙන විට මවගේ ශරීරයේ තැන්පත්ව ඇති  මේදය මව් කිරි සැදීමට උපකාරී වෙයි. එවිට මවගේ ශරීරය පෙර තිබූ තත්ත්වයට පත් වන නමුත් ශරීරය දුර්වල වීමක් සිදු නොවේ. රාත්‍රී කාලයේ කීප වතාවක් දරුවාට මව්කරි ලබා දුන්න ද උදෑසන මවට කිසිදු අපහසුතාවක් ඇති නොවන අතර මනා ප්‍රබෝධයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාව ලැබේ. රාත්‍රියට මව් කිරි දීමේ දී මවගේ ශරීරයෙන් හෝමෝන ශ්‍රාවය වීම මෙයට හේතු වේ.

මව්කිරි දෙන කාලයේ මව තම පෝෂණය ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද?

සාමන්‍ය පරිදි පෝෂණ ගුණ සපිරි සමබල ආහාර වේලත් ලබාගත යුතුය. එහි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේද, විටමින්, ඛණිජ ලවන, කැල්සියම්, යකඩ අඩංගු විය යුතුය. සාමාන්‍ය දිනකට වඩා වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ගත යුතුය. ආහාර පාලනය කිරීම සිදුකළ යුතු නැති අතර වෛද්‍යවරයා නියම කරන අමතර විටමින් වර්ගද ලබා ගත යුතුය. විටමින් වර්ග ස්වභාවික ආහාරවලින් ලබාගැනීම වඩාත් උචිත වේ. එසේම ආහාර සැකසීමේදී විටමින් හා අත්‍යවශ්‍ය පෝෂක කොටස් විනාශ නොවන ලෙස සකසාගත යුතුය. මවට යම් යම් අසාත්මිකතා ඇති කරවන ආහාර ඇත්නම් ඒවා ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මධ්‍යසාර, කැෆේන් අඩංගු ආහාර ලබා නොගත යුතු අතර පෝෂණය මෙන්ම මවගේ පවිත්‍රතාවය ද වැදගත්වේ.

මව්කිරී දීමේදි පියයුරුවල හැඩය වෙනස් වෙනවාද?

මව්කිරි දීමේදී නිවැරදි ඉරියව් අනුගමනය කරන්නේ නම් කිසිම ගැටලුවක් ඇති නොවේ. මව නිවැරදි ඉරියව්වක පිහිටීම සහ දරුවා නිවැරදි ආකාරයට තබා ගැනීම ද වැදගත්ය. ගර්භණී කාලයේ පූර්ව ප්‍රසවසායනවලදී ඒ සඳහා උපදෙස් ලබා දෙයි. එසේම නිවසට පැමිණෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අද අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.  

මව් කිරි දීම නිසා මවට කවරකාර හෝ ගැටලුවක් ඇති කරනවාද?

නැත. එහෙත් මව්කිරි ලබා නොදීම නිසා මවට අවැසි මානසික සුවතාව  ඇති නොවේ. හොඳින් කිරි දීමට මවගේ මානසිකත්වය බලපායි. කිරි දීම නිසා දරුවාගේ බඩගින්නට නිමෙනවා පමණක් නොව මව සහ දරුවා අතර මනා සන්නිවේදනයක් සහ බැඳීමක් ඇති වෙයි. දරුවාගේ ඇස් දෙස බලා ගෙන මව්කිරි දීම කළ යුතුය. ගීයක් ගයමින් හිස පිරිමැදිය යුතුය. එය දරුවාගේ මනෝ සමාජයීය සහ පෞරුෂ සංවර්ධනයට බලපායි.

ප්‍රසූතියෙන් පසු කලාතුරකින් සමහර අම්මලාගේ මානසික වියවුල්තාවක් ඇති වේ. මේවා සමහරක් මව්කිරී දීම තුළින් මඟහරවා ගත හැකිය. දරුවා හා මව අතර ඇති වන බැඳීම, ස්නේහය නිසා ශාරීරිකව පමණක් නොව මානසිකවද මව ප්‍රබෝධයෙන් තැබීමට බලපායි. එසේම මවට වැළඳීය හැකි සමහර රෝගී තත්ත්ව ද මව් කිරි දීම නිසා අඩු වී යයි.

 

පළමු මව්කිරි දරුවාට ලබාදීම වැදගත් වන්නේ ඇයි?

මවකට මුලින්ම එරෙන කොලෙස්ට්‍රම් යනුවෙන් හැඳින්වෙයි. එම කිරිවල විෂ බීජවලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිදේහ වැඩි වශයෙන් අන්තර්ගතව ඇත. එහි ප්‍රෝටීන බහුලව ඇති බැවින් දරුවාගේ පෝෂණයට වඩාත් වැදගත් වේ. මව්කිරි දරුවා නොයෙක් අසාත්මිකතාවලින් ආරක්ෂා කරයි. දරුවා රෝගවලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිය මව්කිරි තුළ ඇත.

උපදෙස්
ප්‍රජා වෛද්‍ය විශේෂඥ රොහාන් රත්නායක
මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය