ඔබේ අක්මාව ලෙඩ වී ඇති බව කියන සංඥා 6ක්

මත්පැන් පානය කළ අවස්ථාවකට පසු කිසියම් අවස්ථාවක ඔබේ අක්මාව පිළිබඳ කනගාටුවක් ඇති ඇති වූවා විය හැකිය. ඒ හැර මෙම අවයවය සඳහා ඔබ නිසැක වශයෙන්ම එතරම් අවධානයක් යොමු කරන්නට නැත.

ඔබේ සමට පසු සිරුරේ ඇති විශාලතම අවයවය අක්මාවයි. අක්මාව ඔබේ රුධිරයේ ඇති හානිකර සංඝටක පෙරා ඉවත් කරන අතර ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමට උදව්වෙයි. සමස්ත සිරුරේ නිරෝගීත්වය සඳහා නිරෝගී අක්මාවක් අවශ්‍ය කරන බව මෙම ඉතාම වැදගත් ක්‍රියාකාරකම් පෙන්වා දෙයි.

අක්මාව ආශ්‍රිතව සිරෝසිස්, හෙපටයිටිස්, විසප්පු, පිළිකා සහ ඇල්කොහොල් සම්බන්ධ රෝගාබාධ ඇති වෙයි.

ඔබ අක්මාවට හානිකර ඇල්කොහොල් භාවිත නොකරන අයකු වුවද ඇල්කොහොල් නොවන මේද ආශ්‍රිත අක්මා ආසාදන තත්ත්වයට (Nonalcoholic Fatty Liver Disease – NAFLD) ගොදුරු විය හැකිය. එය ඇමරිකාවේ පැතිරී ඇති අක්මා රෝග අතර ප්‍රමුඛ එකකි. ඇමරිකානු අක්මා පදනම පවසන ආකාරයට එරට 79 000-90 000ත් අතර NAFLD රෝගීන් පිරිසක් වෙසෙති. එය මෙම වටිනා ඉන්ද්‍රියට සීරෝසිස් වැළඳීමට හේතු විය හැකි අතර මේ නිසා අක්මා බද්ධයක් කිරීමට සිදුවිය හැකිය.

අධික තරබාරුකම, දෙවන කාණ්ඩයේ දියවැඩියාව සහ අධි කොලෙස්ට්‍රෝල් ආදී හේතු NAFLD තත්ත්වය ඇති වීමට හේතු වේ. කෙසේ වුවද NAFLD නිසා ඇති වන අක්මා රෝග තත්ත්වය වැළැක්වීමට සහ නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකිය. ඇමරිකානු අක්මා සංගමය පවසන පරිදි පහත සඳහන් දෑ අනුගමනය කිරීමෙන් NAFLD තත්ත්වයක් ඇති වීම වළක්වාගත හැකිය.

  • පළතුරු, එළවළු, ඇට වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර කෑම වේලට එකතු කරගන්න.
  • සීනි, සංතෘප්ත මේදය සහ ලුණු බහුල ආහාර සීමා කරන්න.
  • ඔබේ දෛනික කාල සටහනේ ව්‍යායාම සඳහා කාලයක් වෙන් කරන්න.
  • ඔබේ බර නිරෝගී මට්ටමේ රඳවා ගන්න.
  • දියවැඩියාව පාලනය කරන්න.
  • කොලෙස්ට්‍රෝල් අඩංගු ආහාර සීමා කරන්න.
  • ඇල්කොහොල් භාවිතයෙන් වළකින්න.

NAFLD තත්ත්වය ඇති වීමේ දී කිසිම රෝග ලක්ෂණයක් දක්නට නොලැබෙන නමුත් එය Nonalcoholic Steatohepatitis (NASH) තත්ත්වයට පත්විය හැකිය. NASH රෝග තත්ත්වය ඇති වූ විට රෝග ලක්ෂණ දැකගත හැකි අතර පහත දැක්වෙන රෝග ලක්ෂණ ඔබ තුළ දැකිය හැකි නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න. NASH රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් සිරෝසීස් …..වැනි බරපතළ රෝග තත්ත්ව ඇති විය හැකිය.

ඔබේ අක්මාව නිරෝගී නොවන්නේ යැයි ඔබ අනුමාන කරන්නේ නම් වෛද්‍යවරයකු ලවා රුධිර පරික්ෂාවක් මගින් රුධිරයේ ඇති නියම ප්‍රෝටීන සහ එන්සයිම ප්‍රමාණය හඳුනාගත හැකිය. එමගින් සිරුරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියයක් වන අක්මාව ආහාර ශක්තිය බවට පත් කිරීම සහ රුධිරයේ ඇති අහිතකර සංඝටක පෙරා ඉවත් කිරීම සිදු කරන්නේ දැයි හඳුනාගත හැකිය.

ඔබේ අක්මාව නිරෝගී තත්ත්වයේ නොමැති නම් මතු විය හැකි ලක්ෂණ 6ක් මෙසේය.

  1. කහ පැහැ ගැන්වීම

ඔබේ සම, නියපොතු සහ ඇස්  කහ පැහැවීම අක්මාවේ රෝග තත්ත්වයක් පිළිබඳ හෙළිකරයි. මේ ආකාරයට එම ඉන්ද්‍රිය කහ පැහැ විමෙන් සංඥා කරන්නේ අදාළ රෝග තත්ත්වය සිරෝසීස් තත්ත්වයට පත්වෙමින් ඇති බව නිසා වහාම වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබාගත යුතුය.

  1. ශක්තිහීනතාව සහ මානසික ව්‍යාකූලත්වය

අක්මාව රෝගී වීම නිසා තෙහෙට්ටුව, අප්‍රාණිකත්වය සහ ශක්තිහීනතාව ඇති වෙයි. තෙහෙට්ටුව සමග අත්වැල් බඳ පැමිණෙන ඕක්කාරය, වමනය, පාචනය සහ ආහාර අරුචිය අක්මාව යම් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බවට ලැබෙන පළමු ඉඟිය වන අතර ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්ය. ඇමරිකානු අක්මා සංගමය ප්‍රකාශ කරන පරිදි ඔබේ මතකය, අවධානය සහ නින්ද සඳහා ප්‍රශ්න ඇති කිරීමට හේතු වන මෙම තත්ත්වය ඔබේ මොළය තුළ ද ඇති විය හැකිය. ඒ සඳහා ප්‍රතිකාර නොකළහොත් මානසික ව්‍යාකූලත්වයක් වුව ඇති විය හැකිය.

  1. ආහාර අරුචිය

ඕක්කාරය, වමනය සහ ආහාර අරුචිය ආදී සියලු රෝග ලක්ෂණ අක්මාවේ රෝගීත්වයක් සමග සම්බන්ධ වේ. වමනය සහ ඔක්කාරය නිසා රෝගියාගේ බර ද අඩු විය හැකිය. ආහාර ලබා ගත් විට කුස පිරුණු බව අඟවන්නේ ඔබේ සිරුරෙන් නිකුත් කෙරෙන ලෙප්ටින් නම් හෝමෝනය මගිනි. රෝගී අක්මාවක් ඇති අයකුගේ ලෙප්ටින් හෝමෝන නිකුත් වීම ඉහළ මට්ටමක පවතින අතර එය ආහාර අරුචිය ඇති වීමට හේතු වේ.

  1. අධි කොලෙස්ට්‍රෝල් සහ රුධිරය කැටි ගැසීම

ස්ථූලභාවය අධික ආතතියට මෙන්ම කොලෙස්ට්‍රෝල් මටටම ඉහළ යාමට හේතුවෙයි. එසේම මේ අක්මා රෝග තත්ත්වයක් පදනම් කරගෙන මතු වන රෝග ලක්ෂණ දෙකකි. වෛද්‍යවරයා නිතිපතා ඔබේ කොලෙස්ට්‍රෝල් මට්ටම පරික්ෂා කරනු විය හැකි අතර එහි

සාමාන්‍ය තත්ත්වයට වඩා වේගයෙන් රුධිරය කැටි ගැසීම ද සිරෝසීස් ඇතුළු වෙනත් අක්මා රෝගවලට සම්බන්ධ විය හැකිය.

  1. සමේ සංවේදීතාව සහ සමේ ගැටලු

සම යට ඉදිමීමක් (edema) නිසා සම කැසීම හෝ සමේ කැළැල් මතු වීම සිදු විය හැකිය. සම රතු පැහැයක් ගත හැකිය. දියවැඩියා රෝගියකුගේ අක්මාව අක්‍රිය වීමට ආසන්න නිසා සම තඹ පැහැ විය හැකිය.

  1. යට බඩ හෝ පාද ඉදිමීම

ඔබේ දෙපා පහළ කොටස් හෝ යටිබඩ ඉදිමීම අක්මාව රෝගීභාවයට පත්ව ඇති බවට සංඥාවකි. අක්මාව මැනවින් ක්‍රියාත්මක නොවන නිසා අදාළ ඉන්ද්‍රියවල දියර එකතු වීම ඊට හේතුවයි. මෙම ඉදිමුම සමට සහ අවට පටකවලට එල්ල කරන පීඩනය නිසා වේදනාකාරී විය හැකිය.

තරබාරු හෝ ස්ථූල රෝගීන්ගේ දෙපා හෝ යටිබඩ ඉදිමීම වෛද්‍යවරයා විසින් තරබාරුකම ලෙසම නැතහොත් එහි අතුරුඵලයක් ලෙස හඳුනා ගැනීම නිසා ඒ පසුපස ඇති සැබෑ හේතුව මගහැරී යා හැකිය.

ඔබේ අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී උපදෙස් ලබා ගන්න. යම් රෝග තත්ත්වයක් බරපතළ වූ පසු හඳුනාගෙන කරන ප්‍රතිකාරවලට වඩා එම තත්ත්වය මුල් අවස්ථාවේම හඳුනා ගෙන අවශ්‍ය පිළියම් යෙදීම සෑම අතින්ම යහපත්ය.

(www.powerofpositivity.comහි පළව ඇති 6 Signs You Have A Toxic Liver නම් ලිපියෙහි සිංහල අනුවාදයකි.)