මොළයේ ගෙඩි පිළිබඳ නොතකා නොහළ යුතු පූර්ව රෝග ලක්ෂණ 7ක්

ඕනෑම ප්‍රමාණයක හෝ ඕනෑම හැඩයක මොළයේ ගෙඩි හට ගත හැකි අතර ඒවාට ආවේනික රෝග ලක්ෂණ ද තිබේ.

“රෝග ලක්ෂණ තීරණය වෙන්නේ මොළයේ ගෙඩිය හට ගන්නා ස්ථානය අනුවයි.” Weill Cornell Brain and Spine Centerහි වෛද්‍ය තියොඩර් ස්වෝට්ස් පවසයි.

නිදසුනක් ලෙස ඔබේ මොළයේ බාහු සහ දෘෂ්ටිය පාලනය කරන කොටසේ ගෙඩියක් හට ගතහොත් දෑත් දූර්වල වීම හෝ පෙනුම අපැහැදිලි වීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බව වෛද්‍ය ස්වෝට්ස් පවසයි.

ඔබේ මොළයේ ඇති ඕනෑම සෛලයක් ගෙඩියක් බවට පත්විය හැකි අතර මොළය ඔබේ සිරුරේ සියලු කොටස් පාලනය කරයි. නැතහොත් සිරුරේ සියලු කොටස්වල තොරතුරු අනුවර්තනය කරයි. එහෙයින් මොළයේ ගෙඩියක් නිසා ඇති වන රෝග ලක්ෂණ මෙතෙකැයි කියා පැවසීම අපහසුය.

කෙසේ වුවද ඇතැම් රෝග ලක්ෂණ සෙසු ඒවාට වඩා පොදුය. ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේය.

ඔබට නිසි ලෙස යතුරක් ඇතුළු කොට යමක් විවර කර ගැනීමට අපහසු නම්, අවශ්‍ය තැන පා තැබිය නොහැකි නම්, සමබරතාව ආරක්ෂා කර ගැනීමට විශේෂ ආයාසයක් දැරිය යුතු නම් ඔබේ දෑත්, බාහු සහ දෙපා පාලනයේ යම් අපිළිවෙළක් ඇත්නම් එය රෝග ලක්ෂණයක් විය හැකි බව වෛද්‍ය ස්වෝට්ස් පවසයි. කතා කිරීමේ, ගිලීමේ  අපහසුතා සහ මුහුණේ හැඟීම් ප්‍රකාශන පාලනයේ ගැටලු ආදිය ඔබේ හිස ආශ්‍රිත යම් අසාමාන්‍ය තත්ත්වයක් පිළිබඳ සංඥාවක් විය හැකි බව ඔහු වැඩි දුරටත් පවසයි.

හිරිවැටීම

ඔබේ සිරුරේ හෝ මුහුණේ යම් කොටසක හැඟීම් හෙවත් වේදනාව නොදැනී යාම හෝ පාලනයේ අපිළිවෙළක් ඇත්නම් බෙහෙවින් සැලකිලිමත් විය යුතු දෙයක් බව වෛද්‍ය ස්වෝට්ස් පවසයි. විශේෂයෙන් ඔබේ කොඳු ඇට පෙළ සමග සම්බන්ධ වන මොළය කොටසෙහි ගෙඩියක් හට ගැනීම මෙවැනි රෝග ලක්ෂණවලට හේතු විය හැකිය.

මතකය හෝ සිතන ආකාරය වෙනස් වීම

මොළයේ හට ගන්නා ගෙඩි නිසා ඔබ ඇතැම් විට චිත්‍රපටවල දැක ඇති ආකාරයේ අසාමාන්‍ය හැසිරීම්, පෞරුෂ ලක්ෂණ ඔබ තුළ ඇති කළ හැකි බව වෛද්‍ය ස්වෝට්ස් පවසයි. මොළයේ ගෙඩියක් සහිත අය මතකය ගිලිහීම, වික්‍ෂිප්තභාවය හෝ සිතීමේ ගැටලුවලින් පීඬා විඳින බව ඔහු කියයි.

වමනය

ඔබට ආහාර අප්‍රියතාව සහ වමනය ඇත්නම්, විශේෂයෙන් මෙම තත්ත්වයට හේතු හඳුනාගත නොහැකි නම් එය මොළයේ ගෙඩියක් පිළිබඳ සංඥාවක් විය හැකි යැයි වෛද්‍ය ස්වෝට්ස් පවසයි.

 

දෘෂ්ටිය වෙනස් වීම

පෙනීම අපැහැදිලි වීම, පෙනීම ද්විත්ව වීම මෙන්ම පෙනීම අඩු වීම ද මොළයේ ගෙඩියක් සමග සම්බන්ධ විය හැකි බව වෛද්‍ය ස්වෝට්ස්ගේ අදහසයි. එසේම  මේ නිසා යම් යම් දෑ ඇසෙහි පාවෙන ආකාරයක් ද ඇස් නිලංකාර වීමක් ද ඇති විය හැකිය.

හිස කැක්කුම

හොඳින් හුස්ම ගන්න. හිස කැක්කුම අප බොහෝ දෙනා සිතන ආකාරයට, මොළයේ ගෙඩියක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නොවේ. “හිස කැක්කුම බෙහෙවින් විශාල මොළයේ ගෙඩියක් සමග ඇති විය හැකිය. කෙසේ වුවද එය සාමන්‍යයෙන් මුලින් මතු වන රෝග ලක්ෂණයක් නොවේ.” වෛද්‍ය ස්වෝට්ස් පවසයි.

ජානගත අසාමාන්‍යතා මොළයේ ගෙඩි හට ගැනීමට හේතු විය හැකි බව වෛද්‍ය ස්වෝට්ස් පවසයි. “කෙසේ වුවද මොළයේ ගෙඩි හට ගෙන ඇති බොහෝ දෙනාට එහි පූර්ව රෝග ලක්ෂණ හෝ අවදානම සාධක හෝ පිළිබඳ දැනුමක් නෑ.” ඔහු පැහැදිලි කළේය. දරුවන් සහ අවුරුදු 60 වැඩි වැඩිහිටියන් අතර මෙම රෝග තත්ත්වය වඩාත් වර්ධනය විය හැකි වුව ද ඕනෑම වයස් කාණ්ඩයක ඕනෑම අයකු ඊට ගොදුරු විය හැකි බව ඔහු වැඩි දුරටත් පවසයි.

බොහෝ දෙනා විශ්වාස කළ ද ජංගම දුරකතන ඒ සඳහා හේතුවක් නොවේ. ”ඒක බොහෝ දෙනා අතර පැතිරුණු වැරදි අදහසක්. ජංගම දුරකතන සහ මොළයේ ගෙඩි අතර සම්බන්ධයක් ඇති බව සනාථ කළ හැකි ප්‍රබල සාධක ලැබී නෑ.” ඔහු කියයි.

විශාල සහ උග්‍ර මොළයේ ගෙඩි සඳහා සැත්කම්, ඖෂධ, විකිරණ තරංග හෝ රසායනික චිකිත්සා මගින් ප්‍රතිකාර කළ හැකිය. සියලු මොළයේ ගෙඩි අනතුරුදායක නැත. “ බොහෝ මොළයේ ගෙඩි කුඩායි. ඒවාට ප්‍රතිකාර උවමනා නෑ. එවැනි මොළයේ ගෙඩියක් හමු වූ විට එය වර්ධනය වෙනවා ද වෙනස් වෙනවාද කියලා විතරක් පරීක්ෂා කරනවා.” වෛද්‍ය ස්වෝට්ස් පෙන්වා දෙයි.

(prevention.comහි පළව ඇති 7 Warning Signs Of a Brain Tumor You Should Know නම් ලිපියෙහි සිංහල අනුවාදයකි.)